ජංගම දුරකථනය යනු අද කාලයේ නැතිවම බැරි තාක්ෂණ උපකරණය යැයි කීම නිවැරදිය. හුදෙක් ඇමැතුම් ලබාගැනීමේ උපකරණයක සිට එය කෙටි පණිවුඩ යැවීම, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, ශ්‍රව්‍ය පටිගත කිරීම්, අන්තර්ජාලය, පරිගණක කටයුතු වැනි බොහෝ දෑ එක මිටට ගත් උපකරණයකි. ජංගම දුරකථනයේ ඉතිහාසය දෙස හැරී බැලීමේදී එහි පියා ලෙස හැඳින්වෙන්නේ මාටින් කූපර් ය. ඒ මෝටරෝලා සමාගම වෙනුවෙන් රාත්තල් හතරහමාරක් බරුති ජංගම දුරකථනයක් නිපදවමිනි.
එහෙත් ජංගම දුරකථනයේ ඉතිහාස පොත අලුත් කරවන සොයාගැනීමක් පසුගියදා ඔස්ට්‍රියාවෙන් වාර්තා විය. එනම් මැටියෙන් තැනූ ජංගම උපකරණයක් වැනි යමක් ඔස්ට්‍රියාවේ කළ පුරාවිද්‍යා ගවේෂණයකදී සොයාගැනීමය. එහි කාල නිර්ණය කළ පුරාවිද්‍යාඥයන්ට අවබෝධ වූයේ එය 13 වැනි සියවසට අයත් බවය. එහි තවත් විශේෂ ලක්ෂණයක් වූයේ සුමේරියානු හෙවත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරය යුගයට අයත් කූඤ්ඤාක්ෂර එහි දක්නට ලැබීමයි.
මෙම කෞතුක වස්තුවේ අපූර්වත්වය වන්නේ 90 දශකයේ හා 2000 දශකයේ මුල් භාගයේදී වෙළෙඳපොළට නිකුත් වූ ජංගම දුරකථනයකට සෑම අතින්ම සමාන ස්වරූපයක් එහි තිබීමයි. ජංගම දුරකථනයේ තිරය යැයි සැලකිය හැකි කොටසේ සුමේරියානු අක්ෂර දක්නට ලැබෙන අතර ඉන් පහළ ‘මෙනු’ බටනය ඇතුළු ජංගම දුරකථනයක දක්නට ඇති සාමාන්‍ය යතුරු සියල්ලක්ම පාහේ දක්නට ලැබේ. ජංගම දුරකථනයක යතුරු පුවරුවේ යතුරු සංඛ්‍යාව 9කි. මෙහිද යතුරු ගණන 9කි.
කෙසේ නමුත් සුමේරියානු අක්ෂර අවබෝධ කරගැනීමට පවතින නොහැකියාව හේතුවෙන් මෙම අරුම පුදුම ජංගම දුරකථනය ගැන බොහෝ තොරතුරු තවමත් අබිරහසකි.
හඳුනානොගත් පියාසර යාත්‍රා සහ ඒ හා බැඳුණු පිටසක්වල ජීවින් ගැන තොරතුරු සොයායන්නන් පවසන්නේ මෙම සොයාගැනීමත් සමඟ පෘථිවිය හා පිටසක්වල ජීවීන් අතර සබැඳියාවක් ගැන තොරතුරු හෙළිදරව් වන බවය. එනම් 13 වැනි සියවසේදී දියුණු පිටසක්වල ජීවින් පිරිසක් පෘථිවියට පැමිණ ඇති බවත් මෙසේ සොයාගත් ජංගම දුරකථනය එවැනි පිටසක්වල ජීවි කොටසකට අයත් වූවක් බවත් සඳහන් කරමින් අලුත් මතයක් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම මතයට තවත් සහායක් ලෙස ඔවුහු ඉපැරණි ඊජිප්තු සිතුවම් කලාව ආශ්‍රිත උදාහරණද ගෙනහැර දත්වති. එනම් ඊජිප්තු හා පැරැණි යුරෝපීය චිත්‍රවල ජංගම දුරකථන හා ලැප්ටොප් පරිගණක යැයි අනුමාන කළ හැකි සිතුවම් රැසක් පවතී. මේ නිසා පිටසක්වල ජීවින් හා පෘථිවිය අතර වාර්තා නොවූ ඉතිහාසයක් පවතින බවටද මේ සියලු සාධක ඔස්සේ අදහස් ඉදිරිපත් වෙමින් පවතී.
Ancient Code වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙම සොයාගැනීම හා බැඳුණු අරුම පුදුම කාරණා දෙකකි. ඉන් පළමුවැන්න වන්නේ වර්තමාන ඔස්ට්‍රියාව හා පැරැණි මෙසපොතේමියාව (වත්මන් ඉරාකය හා ඉරානය) අතර පවතින කිලෝ මීටර දහස් ගණනක දුරස් බවය. එනම් සුමේරියානු අක්ෂරවලින් යුත් මෙවැනි දෙයක් ඔස්ට්‍රියාවෙන් හමුවීම අතිශය පුදුම සහගත දෙයකි. අනෙක් පුදුමයට කාරණය වන්නේ මෙම කෞතුක වස්තුව සෑම අයුරිකින්ම වර්තමාන ජංගම දුරකථනයට සමාන වීමය.
“අපිට අනුමාන කළ හැක්කේ මෙවැන්නක්. අතීතයේ සිටි යම් අයෙක් නූතන ජංගම දුරකථනයක් වැනි සන්නිවේදන උපකරණයක් දැක තිබෙනවා. අනතුරැව එම සන්නිවේදන උපකරණය ඒ සැටියෙන්ම මැටියෙන් නිර්මාණය කළා” එම වෙබ් අඩවිය තම අවසාන නිගමනය ඉදිරිපත් කරන්නේ එලෙසිනි.
♦ රජිත