“අපි ඇඳුම් ඇඳගෙන පිරිත්තුව (පිරිත් නූල) සත්ත කරලා බලිමඩුවේ වැඩ පටන් ගත්තා. තාත්තයි මායි යුගයට කවි කියනවා. බලි ශාන්තිකර්මය බලන්න ආපු අය ආශාවෙන් බලාගෙන ඉන්නවා. තාත්තත් එක්ක ම හරි හරියට කවි කියනවා. එතැන හිටපු පුංචිම එකා මමනේ. මිනිස්සු මගේ දිහා ආදරයෙන් බලාගෙන ඉන්නවා මට පේනවා. ශාන්තිකර්මය පාන්දර අවසන් වුණා. මේන් බලිගෙදර අයිතිකාරයා උදේ මීහරෙකකුට කුවිතාන්සියක් ලියාගෙන ඇවිත් මට ගෙනත් දුන්නා. මම කවි කියපු හැටි ගැන සතුටුවෙලා මට මීහරකකු තෑගි දෙනවා කියලා තමයි ඒ කුවිතාන්සිය දුන්නේ. අපි එදා ඒ හරකා ගෙනාවේ නෑ. අවුරුදු කීපයකට පස්සේ මීහරකා අරන් යන්න බලකරනවා. අරන් යන්නේ නැත්තම් විකුණලා සල්ලි අරන් යන්න කියලා පණිවිඩ එව්වා. පස්සේ මම ඒ හරකා විකුණලා සල්ලි ගත්තා.
ඔය වගේම මොරගොල්ලාගම, රක්වාන කියන ගමේ තිබුණ බලිමඩුවකදිත් මට කිරි එළදෙනක් තෑගි දුන්නා. ඔය මම කුඩා කාලයේදි. බලි අඹන කටයුත්ත නම් මට බෑ. කවි කීව එක තමයි කළේ. නැටුම් ඉගෙන ගත්තට පස්සේ බලි තොවිල් ශාන්තිකර්මවලට ගියේ නෑ.
අනුරාධපුරයේ තිබ්බා වීරක්කොඩි පිරිවෙණ කියලා එකක්. ඒ පිරිවෙණේ තිබුණ පිංකමක අපි කණ්ඩායම් දෙකක් විවරණ නැටුම් නැටුවා. ඒ පිරිවෙණේ නායක හාමුදුරුවෝ කලාව ගැන දන්නවා. එදා හිටපු හාමුදුරුවරු කලාවට ආදරය කළා. ඒ පිරිවෙණේ දවස් තුනක් පිංකම තිබ්බා. අන්තිම දවසේ උදේ ඒ දායක පිරිසක් කැවුම් හදාගෙන ඇවිත් අපේ ගුරුන්නාන්සේගේ පුතාගෙයි මගෙයි අත් තැව්වා. අපිව බදාගෙන ඉම්බා. ඒ තරම් හොඳට අපි බෙර ගහලා, කවි කියලා නටලා තියෙනවා. ඒ සතුටට තමයි අපේ අත් තැව්වේ. ඕවා පුරාණ සිරිත්. ඔව්වා තමයි අපි ලබාපු ප්‍රසංශා”
බලි තොවිල් වැනි ශාන්තිකර්ම, පන්තේරු නැටුම් වාගේ අපේ ඉපැරැණි සංස්කෘතිකාංග අද දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් නේද... ඒ ගැන ඔබ හිතන්නේ මොනවාද?
“එදා මිනිස්සු අද තරම් කාර්යබහුල නෑනේ. අපි ගොවිතැන් බත් කරන ගමන් තමයි මේ කලාව කළේ. අනික සල්ලි හම්බකිරීමටත් කරපු එකක් නෙමෙයිනේ. ඊළඟට අද විනෝදය ලබන ක්‍රමත් වෙනස්නෙ. එදා ගම්වල සල්ලිබාගේ තිබුණ අයගේ විවාහ මඟුලක් යෙදුණාම මඟුල් දවසේ රෑ නැටුම් කණ්ඩායමක් ගෙනත් නැටුම් ඉදිරිපත් කරවනවා.
මඟුල් ගෙදරට එන නෑදෑයන්, හිතමිතුරන් සතුටු කරන්න තමයි එහෙම කළේ. රෑ දහයට විතර පටන් ගත්තාම එළිවෙනකම් නැටුම් සෙල්ලම් කරනවා. ඔය මඟුල් ගෙවල්වල නටද්දි හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා. නැටුම් බලන අය හොඳටම සතුටු වුණොත් නැට්ටුවන්ගේ, බෙරකරුවන්ගේ ළඟට ඇවිත් රුපියල් දෙකේ, පහේ කොළ හැට්ට කටුවකින් අමුණලා අර අයගේ ඇඳුම්වල එල්ලනවා. මම විවාහ වෙච්ච දවසෙත් මගේ ගුරැන්නාන්සේ ඒ වාගේම නැටුමක් සූදානම් කරලා තිබුණා. මම බැන්ද බිරියගේ ගෙදරත් නැටුමක් තිබුණා.
අද වාගේ එදා මඟුල් ගෙවල්වල බොන්ඩ දුන්නේ නෑ. බෑන්ඩ් ගැහුවේ නෑ. හරි අහිංසක විදිහට නෑදෑයන් හිතවතුන් එකතු වී ඒ සතුට භුක්ති වින්දා. ඒ වාගේම තමයි ඒ කාලේ වැදියක් කංකාරිය, හැන්ඳෑ කඩවර කංකාරිය වාගේ ශාන්තිකර්ම අවුරුද්දකට වතාවක් ගම්වල හැම ගෙදරකම පවත්වනවා. එදා ජනගහනය අඩුයි. පහසුකම් නෑ. රෝග පීඩා, අපල උපද්‍රව ආදියට පිහිට ලබාගන්න තමයි මේ ශාන්තිකර්ම කළේ.
අද ඉතින් නැටුම් ඉගෙන ගත්තට වැඩක් නෑ කියලා විශ්වාසයකුත් තියෙනවා. ඒකත් ඇත්ත. මම මගේ පුතාට මේ ශිල්පය ඉගැන්වුවා. බෙල්වුඩ් ආයතනයට යැව්වා. එයා සාමාන්‍ය පෙළ විභාගයත් පාස්. ගුරුපත්වීම්වලට ඉල්ලුම් කළා. ඒකවත් හරි ගියේ නෑ. ඉතින් අපටත් මේ කලාව එපාවෙලා තියෙන්නේ. ඔය වාගේ ගොඩාක් හේතු නිසා තමයි මේවා අභාවයට ගිහින් තියෙන්නේ.
ඉස්සර මේ ශිල්පීන්ට නම්වර, ගම්වර පවා ප්‍රදානය කරලා තියෙනවා. හොඳ දක්ෂ ශිල්පීන්ට තමයි ඒවා දුන්නේ. රංගාධිපති, ශිල්පාධිපති, සුද්ධ විරුදුවලාගේ, සිංහල විරුදුවලාගේ, පංච නාදලාගේ වාගේ නම්වර දීලා තියෙන්නේ අතිදක්ෂයන්ට. පස්සේ කාලයක මේ නම්වර ඒ පරම්පරාවටම පෙළපත් නාමය වුණා.
නායක හාමුදුරුවරු, වලව්කාරයන්, ප්‍රභූවරැන් එකතුවෙලා තමයි එදා මේවා දීලා තියෙන්නේ. ඔය අතිදක්ෂ ශිල්පීන්ට සවරම් හා රිදී කයිපු පරිත්‍යාග කරලා තියෙනවා. (සවරම්) කියන්නේ හේවිසිකාරයන්ගේ දවුලේ පටියක් බඳිනවා. (සවරම් පටිය) කියන්නේ ඒකට. ඒක සම්මානයක් දුන්නා වගෙයි. ඔය පටියේ රිදී කැටයම් දාපු කයිපුවක් (දවුලට ගහන කෝටුව) එල්ලලා තියෙනවා නම් මුලින් දුන්න සම්මානයේ අගය තවත් වැඩි වෙනවා.”
“ශ්‍රී ලාංකික සංස්කෘතික අනන්‍යතාව ලොවට පසක් කරමින් සම්ප්‍රදායික උඩරට නර්තන කලාව සුරක්ෂිත කරමින් මතු පරපුරට දායාද කරන්නට වෙසෙස් මෙහෙවරක නිරත” යන වගන්තිය යටතේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් 2006 වර්ෂයේදි එස්.ඩබ්ලිව්.එච්. සයිමන් මහතාට ස්වර්ණ ජයන්ති සම්මානයෙන්ද, ගල්ගමුව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළ එවකට සංස්කෘතික අමාත්‍යවරයාව සිටි දිවංගත ලක්ෂ්මන් ජයකොඩි මහතා අතින් උපහාර සම්මානයක්ද, ත්‍රෛනිකායික එක්සත් භික්ෂු බල මණ්ඩලය, ඒකාබද්ධ උත්තරීතර මහා සංඝ සභාව, ත්‍රෛනිකායික එක්සත් භික්ෂු පෙරමුණ, ලංකා ශාසනික භික්ෂු බෞද්ධ මහා සභාව එක්ව (මානව හිතවාදී නර්තන කලා විභූෂණ, දේශකීර්ති ගෞරව නාම) උපාධියද පිරිනමා ඇත.
“වසන්ත කලායතනය” නමින් කලායතනයක් පවත්වාගෙන යමින් ගැමි දරුවන්ට නර්තන ශිල්පය කාලාන්තරයක් පුහුණු කරමින් මතු පරපුරටද අපේ සංස්කෘතිය, කලාව උරුම කරදීමට මහත් මෙහෙවරක නිරත වූ, සුවිසි විවරණ පූජා රටා ගෙත්තමෙහි නිපුණයකු වූ එස්.ඩබ්ලිව්.එච්. සයිමන් නම් වූ මේ ගැමි කලා ශිල්පියාට (ආයු බෝ ආවඩා)යි පතමින් මම ඔහුගෙන් සමුගත්තෙමි.
කතාව හා සේයාරූ - ගල්ගමුව නිහාල් ජයවීර