කුකුළු කර්මාන්තයේ නියැලෙන්නන් මින් කලකට ඉහත දී මුහුණපෑ ගැටලුව වූයේ කුකුළු කෑමවල මිල ගණන් ඉහළ යාමයි. එම ගැටලුව යම්තාක් දුරකට සමතයකට පත්ව තිබෙද්දී අද වන විට කුකුළු කර්මාන්තයේ බිත්තර නිෂ්පාදකයන්ටද පාරට බසින්නට සිදු වී ඇත. ඒ බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් වූ ගැටලුවක් මතය. මෙම බිත්තර නිෂ්පාදකයන්ගේ ඉල්ලීම වී ඇත්තේ ලෝකයේ දියුණු රටවලින් දැනටමත් තහනම් කර ඇති බැටරි කේජ් ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ද තහනම් කළ යුතු බවය.
මේ සඳහා පසුගියදා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය හෙට්ටිපොළ නගරයේ දී විරෝධතාවයක්ද දැක්වූ අතර එම විරෝධතාවය සඳහා හේතු වූයේ ග්‍රාමීය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්වූ රැස්වීමකදී බැටරි කේජ් ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ඉදිරි වර්ෂ පහක කාලයක් ලබාදීමට අමාත්‍ය පී. හැරිසන් මහතා එකඟතාවයක් දැක්වීමයි.
ඉන්දියාව ඇතුළු ලෝකයේ රටවල් රැසක තහනම් කර ඇති බැටරි කේජ් ක්‍රමය ලංකාවට හඳුන්වා දී ඇත්තේ මෙයට වසර දහයකට පමණ පෙරය. මෙම ක්‍රමයේදී අඩු ඉඩ ප්‍රමාණයක කිකිළියන් වැඩි ප්‍රමාණයක් රඳවන අතර ලබාදිය යුතු ආහාර ප්‍රමාණයද සාපේක්ෂව අඩුය. එමෙන්ම මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ අඩු සේවක ප්‍රමාණයකි. නිදසුනක් ලෙස ගත් විට සාමාන්‍ය ආකාරයට සේවකයන් 30 ක් අවශ්‍ය වන තැනට බැටරි කේජ් යටතේ අවශ්‍ය වන්නේ සේවකයන් හතර පස්දෙනකු පමණි. එක් අතකින් මෙය වාසි සහගත බව පෙනුණද මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ කූඩුවල සතුන් විඳින හිංසනයයි. ලෝකයේ බොහෝ රටවල් බැටරි කේජ් ක්‍රමය තහනම් කර ඇත්තේ ද මෙහි ඇති හිංසනීය බව නිසාමය.
මේ වන විට බැටරි කේජ් ක්‍රමය පවත්වාගෙන යන නිෂ්පාදකයන්ගේ සංඛ්‍යාව 18 ක් පමණ වන අතර සෙසු බිත්තර නිෂ්පාදකයන්ගේ සංඛ්‍යාව 600 කි. බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් අද වන විට ගැටලුවක් මතු වී ඇත්තේ ද මෙම බැටරි කේජ් ක්‍රමය පවත්වාගෙන යන නිෂ්පාදකයන් නිසාය.
මතු වී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“බිත්තර නිෂ්පාදනය කියන්නේ ග්‍රාමීය මට්ටමින් ආව කර්මාන්තයක්. අපි දැන් අවුරුදු 20 – 25කට ඉහත දී තමයි මෙම ව්‍යාපාරය ආරම්භ කළේ. අපට රටට අවශ්‍ය කරන ප්‍රමාණයට බිත්තර නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබුණා. අවස්ථා දෙක තුනකදී පමණයි අපට රටින් බිත්තර ගෙන්වීමට සිදුවුණේ. නමුත් මේ බැටරි කේජ් ක්‍රමයත් එක්ක බිත්තර නිෂ්පාදනයේ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවුණා.
ඉන් එක පැත්තක් තමයි මෙහිදී සතුන්ට වන හිංසනය. බැටරි කේජ් ක්‍රමයේදී අඩි දෙකක ඉඩක සත්තු 6 දෙනෙක් ඉන්නවා. බෙල්ට් ක්‍රමයට කෑම දාලා ඉස්සරහ හොටෙන් කෑම කනවා, වතුර බොනවා. පිටිපස්සේ බිත්තර දානවා. තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක සතාට හැරෙන්නවත් ඉඩ නෑ. මේ සතුන් හය දෙනාගෙන් හතර දෙනෙක් නිදියද්දි දෙන්නකුට ඇහැරිලා ඉන්න වෙනවා. ඒ ඉඩ මදි නිසා. හය දෙනාටම නිදියන්න බෑ. ඉතින් මේ සතා මාස තුනක් හදලා තමයි කූඩුවට දාන්නේ. ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සෙයි එළියට අරගෙන විකුණන්නේ. අවුරුදු දෙකක් කූඩුව ඇතුළෙ ඉන්නවා. මේ සතා එළියට ගනිද්දි කකුල් වලින් ඇද්දොත් කකුල් කැඩෙනවා සියයට 30ක විතර. තට්ටෙන් ඇදලා ගත්තොත් තට්ටක් සියයට 25 – 30 අතර ප්‍රමාණයක කැඩෙනවා. මොකද මේ සතුන්ට ඒක ඇතුළෙ කිසිම ව්‍යායාමයක් නැහැනෙ. කොහොමත් මේ ක්‍රම දෙකින් එකකට තමයි සතාව එළියට ගන්න වෙන්නේ. මේ නිසාම ලෝකයේ අනෙකුත් රටවල මැක්ඩොනල්ඩ්, ෆුඩ්සිටි වැනි කිසිම දේකට මේ සතුන්ගේ මස් ලබාගැනීම තවත්වලා තියෙනවා. හිල්ටන් එකෙත් ලබන අවුරුද්දේ ඉඳලා මේක තහනම් කරනවා. ලෝකෙ ගොඩක් රටවල තහනම් කළාට පස්සෙ දැන් අවුරුදු දෙකක වගේ ඉඳලා යකඩ බරට බැට්රි කේජ් ගෙන එන්නට කණ්ඩායමක් පුරුදු වෙලා ඉන්නවා. මේවට පරිසර බලපත්‍රයක්වත් නෑ. ෆාම් කියලා තමයි ගෙනත් තියෙන්නේ.
සාමාන්‍යයෙන් කේජයක දිග අඩි 400ක්ද, පළල අඩි 50ක්ද වන අතර මේවාට සතුන් 30000 – 80000 දක්වා ඇතුළු කරන අවස්ථා තියෙනවා. මෙතනදී සිද්ධවෙන පරිසර හානිය ගත්තොත් සතුන් 30000 ක් සිටින විටදී එම සතුන්ට කිලෝග්‍රෑම් 3000ක ආහාර අවශ්‍ය වෙනවා. ඒ 3000න් කිලෝග්‍රෑම් 2200 ක් විතර ජරාව තමයි පහළට වැටෙන්නේ. අවුරුදු දෙකක් යද්දි මේවා තෙතමනය සහිත ලොකු කන්දක් ලෙස සැකසෙනවා. ඉහඳ මැස්සො දුගඳ දැනෙනවා කිලෝමීටර් භාගයක් විතර යනකන්. ඒ වගේ ෆාම් ලංකාවේ හතරක් පහක් විතර තියෙනවා. පරිසර වශයෙන්ද මෙය විශාල ගැටලුවක්. ලෝකයේ මේවා තහනම් කරන්නට එයත් එක හේතුවක්. මේ සතා තනිකරම වෛරයකින් තමයි මේවා තුළ ඉන්නේ.
අනිත් දේ තමයි රජය කියනවා ලක්ෂ දහයකට රැකියා දෙනවා කියලා. මේ බැටරි කේජ් එකකට සත්තු තිස්දාහකට සේවකයන් අවශ්‍ය වෙන්නේ තුන්දෙනයි. එහෙම වුණාම කොහොමද රැකියා ප්‍රශ්නෙ විසඳෙන්නේ. අපි සත්තු 30000 ක් බිම හදද්දි ඒ සඳහා සේවකයන් 20 ක් අවශ්‍ය වෙනවා. වයඹ පළාත ගත්තම රැකියා ප්‍රශ්න සියයට 80ක්ම වාගේ විසඳිලයි තියෙන්නේ ෆාම් ක්ෂේත්‍රයේ. ඒ වගේම සියයට 57ක්ම බිත්තර නිෂ්පාදනය කරන්නෙත් වයඹ පළාතෙ.
ලංකාවේ දිනකට බිත්තර පරිභෝජනය කරන්නේ ලක්ෂ 65 යි. මේ වෙද්දි බිත්තර ලක්ෂ 80 ක් නිෂ්පාදනය වෙනවා. සාමාන්‍යයෙන් අපේ එක් ගොවියකුට උපරිම වශයෙන් සත්තු 5000 යි හැදිය හැක්කේ. මෙයාලා එකසැරේට සත්තු 85000 ක් දැම්මම වෙළෙඳපොළට බිත්තර 85000 ක් එනවා. මේ අතරට තවත් බැටරි කේජස් එකතු වුණොත් බිත්තර නිෂ්පාදනය වන ප්‍රමාණය ලක්ෂ ගණනකින් ඉහළ යනවා. මෙහිදී වෙළෙඳපොළේ බිත්තර අතිරික්තයක් ඇතිවුණාම බිත්තරවල මිල ගණන් පහළ යනවා.
බැටරි කේජ් ක්‍රමයේදී එක බිත්තරයක් නිෂ්පාදනය කරන්නට යන්නේ රුපියල් 9 ක් වැනි මුදලක්. අපිට රුපියල් 11.20 ක් වැය වෙනවා. අද වෙළෙඳපොළේ බිත්තර මිල රුපියල් 10 – 11 අතර ප්‍රමාණයකයි තියෙන්නේ. ඒ නිසා අපේ දුප්පත් ගොවියාට මේ ව්‍යාපාරය කරගෙන යන්න බෑ. ඒ නිසා ඔවුන් මේ ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා. ඒ නිකන්ම නෙවෙයි, ණයකාරයකුත් වෙන ගමන්.”
අපගේ ආහාර වේලට බිත්තරයක් යන්න අමුතු දෙයක් නොවේ. සමහරු දවස ගණනේ බිත්තර පරිභෝජනය කරති. විශේෂයෙන්ම කුඩා දරුවන් හටද බිත්තර ලබාදීම සිදුකෙරේ. එලෙස අප සියලු දෙනාම ආහාරයට ගන්නා බිත්තර අප වෙත ලැබෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවේ. එහෙත් බැටරි කේජ් ක්‍රමය දෙස බැලීමේදී බිත්තර සපයන කිකිළියන් අවුරුදු දෙකක් තිස්සේ කූඩුවල සිරවී විඳින වේදනාව ගැන ඔබ මඳක් හෝ සිතා තිබෙනවාද? මෙමගින් බිත්තර වැඩි වශයෙන් නිෂ්පාදනය වන බව සැබෑවකි. එහෙත් එලෙස අපට බිත්තර ලැබෙන්නේ සිර වූ කිකිළියන්ගෙනි.
කෙසේ වෙතත් සරත් රත්නායක මහතා පවසන පරිදි මෙම බැටරි කේජ් ක්‍රමය නිසා සතුන් හිංසනයට පත්වනවා පමණක් නොව සාමාන්‍ය ආකාරයට බිත්තර නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් 600කගේ පමණ රැකියා අනතුරේ හෙළා ඇත. එවැනි තත්ත්වයකදී ඔවුන් යටතේ වැඩ කරන සේවකයන් හටද යනඑනමං නැති වී ඇත.
මේ සම්බන්ධයෙන් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පවසා තිබුණේ බිත්තර නිෂ්පාදකයන් සියල්ලන් හටම සහන ලබාදෙන වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද බැටරි කේජ් ක්‍රමයේදී සතුන්ට සිදුවන හිංසනයන් පෙන්වා දී ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයද මේ කෙරෙහි යොමු වී ඇත.
♦ හේමමාලා කුමාරි රාජකරුණා