2017 ජුලි 15 වන සෙනසුරාදා

කුරුලු කූඩු - පුංචි විල් වෙල්යාය එක්ක සීගිරිය විලේජ් අසිරිය

2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00282

මීට අවුරුදු 1500කට පමණ පෙර කාලයේදී කාශ්‍යප රජුට සැඟවී සිටින්නට උපකාරී වූ සීගිරිය හා බැඳුණු පැරැණි කතා රාශියක් තිබෙනවා. ඒ විවිධ පුරාවෘත්ත රැසක් සමඟින්. මේ ඓතිහාසික පදනම වගේම අද වනවිට සීගිරිය කියන්නේ සොබාදහමට රිසි ඕනෑම සංචාරකයකුගේ හද ඇදබැඳ ගන්න තැනක්. එවන් සංචාරකයකුට ලෝක උරුමයක් එහෙමත් නැත්නම් ලෝකයේ අටවැනි පුදුමය ලෙස සැලකෙන සීගිරිය හොඳින් නිරීක්ෂණය කළ හැකි තැනක් තමයි සීගිරිය විලේජ් හෝටලය. 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශීය ගම්මානයක අත්දැකීම ඔබට සමීප කරවන සීගිරිය විලේජ් හෝටලය ආරම්භ වන්නේ 1980 තරම් ඈතකදීයි. අක්කර 26ක් පුරා පැතිරෙන හෝටල් බිමේ තේමා හයකින් නිමැවුණු කාමර 120ක් පවතිනවා.

කින්ග්ස් ආබර් (රාජකීය ලතා මණ්ඩපය) තේමාවෙන් යුත් කාමර 20ක් බලකොටුවක හැඟීම ජනිතවන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. තවත් කාමර 40ක් අවුරුදු හා ගඟ අද්දර යනුවෙන් නම් කර ඇත්තේ ගැමි ජීවිතය හා කෘෂිකර්මාන්තය හා බද්ධ වන අයුරිනුයි.

මීට අමතරව කින්ග් ෆිෂර් (පිළිහුඩුවා), ටෙම්ප්ල්(පන්සල) හා පැඩි (වෙල්යාය) යනුවෙන් තවත් කාමර 60ක් ගම්මානයේ ජීවිතයට හා සොබාදහමට සමීපවන ලෙස ඉදිරිපත් කර තිබෙනවා. කින්ග් ෆිෂර් කාමර කුරුලු කූඩු, කුඩා විලක් ආදියෙන් හැඩ වෙද්දී ටෙම්ප්ල් කාමර තුළින් බෞද්ධ ගැමි සම්ප්‍රදාය ඉස්මතු කෙරෙනවා. පැඩි තේමාවෙන් කාමර ආසන්නයේ කුඩා වෙල්යායක්, පඹයෙක් සහිතව තවත් අපූර්ව අත්දැකීමක් සමීප කෙරෙනවා. 

ගැමි පරිසරයක්, කුඩා ගෘහයන් ආකාරයේ කාමර නිමැවුමක් ඇති හෝටලයේ නූතන සුඛෝපභෝගී සෑම අංගයක්ම පාහේ අන්තර්ගත වීමත් විශේෂත්වයක්. මිනිබාර්, තේ සහ කෝපි මැෂින්, කේබල් ටීවී, ඩිවීඩී, සියුම් පසුබිම් සංගීතය වැනි බොහෝ දෑ මෙහි ඇතුළත්. 

හෝටලයේ ප්‍රධාන අවන්හල පිහිටා තිබෙන්නේ හෝටල් භූමියේ මැදට වන්නටයි. එහිදී උදේ, දිවා සහ රාත්‍රී භෝජන බුෆේ ක්‍රමයට වගේම මෙනුපත ඔස්සේ තෝරාගැනීමටත් ඉඩ පවතිනවා. මීට අමතරව pool bar, Lounge bar සහ cluster bar යනුවෙන් තවත් ආහාර සහ විශේෂයෙන්ම පාන වර්ග ලබාගත හැකි ස්ථාන තිබෙනවා. 

හෝටලයේ නවාතැන් ගෙන සිටින අතරතුර දී කුරුල්ලන් නැරඹීම, ටෙනිස්, පිහිනුම් තටාකය, ආයුර්වේද සම්බාහනය, ඇවිදීමේ මංතීරු, බයිසිකල් පැදීම, ළමා උද්‍යානය, වනාන්තරයේ ඇවිදීම ආදී බොහෝ දෑ කළ හැකියි. ඒ වගේම සීගිරියට අමතරව පොළොන්නරුව, දඹුල්ල, පිදුරංගල, රිටිගල වැනි ස්ථානවලටත් බොහොම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. මින්නේරිය, කවුඩුල්ල හා හුරුළුවැව උද්‍යානවල සෆාරි සවාරිවලටත් යා හැකියි. විශේෂයෙන්ම The Gathering ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙන ලෝකයේ 6 වැනියට විශාලතම සතුන් එකතුවීම විදිහටත් සැලකෙන අලි රංචුගත වීමේ අවස්ථාව නැරඹීමටත් මේ එළඹී තිබෙන්නේ සුදුසුම කාලයයි. සෑම වසරකදී ජුලි සිට සැප්තැම්බර් මාස අතරේදී මේ වනාන්තර තුනේම සිටින අලින් සහ මැදිරිගිරිය, සෝමාවතිය, කටුකලියාව හා වස්ගමුවේ සිටින අලි සියලුදෙනාම පාහේ මින්නේරිය ජලාශය අසලට එකතුවන්නේ එළඹ තිබෙන්නේ ඉඩෝරය නිසායි.  

♦ සනත් වීරසූරිය