“පසුගිය වෙසක් උත්සවය නිමිත්තෙන් කළුතර බෝධි භාරකාර මණ්ඩලය රුපියල් ලක්ෂ 200ක් පමණ වැයකර ගිරිභණ්ඩ පූජාවක් (භාණ්ඩ කන්දක් එකවර පූජා කිරීම) පැවැත්වූවා. කළුතර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන 150ක් ශාසනාරක්ෂක බලමණ්ඩලවල නිර්දේශ මත තෝරාගෙන එම පූජාවට සහභාගි කරගත්තා. එක් විහාරස්ථානයකට අඩුපාඩු පවතින භාණ්ඩ වර්ග 100 බැගින් ලබාදුන්නා. වැසිකිළි පහසුකම් නැති දුෂ්කර විහාරස්ථානවලට වැසිකිළි 20ක් තනාදීමත් මෑතකදී කළා. එක් වැසිකිළියකට ලක්ෂ 4ක පමණ වියදමක් ගියා.” අපට එලෙසම පැවසුවේ කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ජනත් ගුණරත්න මහතායි. රජයේ අනුමත පුණ්‍යායතනයක් වන බෝධි භාරකාර මණ්ඩලය අපි මතුපිටින් දකිනවාට වැඩි සංවිධාන ව්‍යුහයක් සහිත ආයතනයකි.
දිනපතා කළුතර නගරය පසුකර යන එන වාහනවලින් ද කළුතර පුදබිමට පැමිණෙන වන්දනාකරුවන්ගෙන් ද එහි පිං පෙට්ටිවලට විශාල මුදලක් එක් රැස්වේ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ එම මුදල කළමනාකරණය කිරීමත් කළුතර බෝධි පිංබිම නඩත්තු කර පවත්වාගෙන යාමත් බෝධි භාරකාර මණ්ඩලය විසින් කරගෙන යනු ලබයි.
“මේ භාරකාර මණ්ඩලයට ස්ථිර සේවකයෝ 100කට අධිකව ඉන්නවා. ඊට අමතරව තාවකාලික පදනම මතත් පිරිසක් සේවයට ගන්නවා. පූජනීය ස්ථානය අතුගෑමට පමණක් 60 දෙනෙක් සහභාගී කරගන්නවා. පෝය දිනකට 3000ක් පමණ මෙහි සිල් සමාදන් වෙනවා. පසුගිය වෙසක් දවසේ 7000ක් සිල්ගත්තා. මේ හැම දෙනාටම දානය, වැසිකිළි පහසුකම්, ජල පහසුකම් සැලසීම අපගේ වගකීමක්.” ජනත් මහතා වැඩිදුරටත් අප සමඟ කීවේය.
කළුතර බෝධිය දිවයිනේම ප්‍රකට පිංබිමක් ලෙස සංවර්ධනය වූයේ පසුගිය සියවසක කාලය තුළය. බෝධි භාරකාර මණ්ඩලය දිස්ත්‍රික්කය පුරා පුණ්‍ය කටයුතුවල යෙදෙමින් බුදුදහමේ පුනර්ජීවනයක් ඇති කිරීම අරමුණ කරගෙන සිටී. අභිධර්ම පන්ති, ධර්ම දේශනා, භවනා වැඩසටහන්වලට අමතරව පිරිවෙන් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පොත් ලබාදීම, ශිෂ්‍යත්ව ලබාදීම, දුෂ්කර විහාරස්ථානවල අලුත්වැඩියා කිරීම්, නඩත්තු කටයුතු සඳහා ආධාර කිරීම, භික්ෂූන් වහන්සේලාට වෛද්‍යධාර ලබාදීම, ආදාහන උත්සව සඳහා ආධාර ලබාදීම ආදී වැඩකටයුතු රාශියක් ඉන් ඉටු කේරේ.
ඒ අතර බොහෝ දෙනා කළුතර බෝධියට බාරහාර වෙති. තම ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට බෝධි පූජා පවත්වති. ඒවාට ද බෝධි භාරකාර මණ්ඩලයේ සහයෝගය ලැබේ.
♦ ඉතිහාසය
කළුතර බෝධිය පුදබිම උඩමළුව හා පහත මළුව යනුවෙන් කොටස් දෙකකි. ජනප්‍රවාද පවසන්නේ උඩමළුවේ බෝධිය ශ්‍රී මහා බෝධියේ දෙතිස්ඵලරුහ බෝ ශාඛාවක් බවයි. පසුව එම බෝධිය අසල ගංගාතිලක නම් විහාරයක් ගොඩනැංවිණි. පෘතුගීසිහු කළුතර යටත් කරගෙන ගංගාතිලක විහාරය වනසා දමා බලකොටුවක් ගොඩනගා ඇත. බෝධි වෘක්ෂය අදත් දක්නට ලැබේ. කෙසේ වුවත් මෙම පුවත සනාථ කෙරෙන පුරාවිද්‍යාත්මක සාධක නම් ලැබී නැත.
පහත මළුවේ පිහිටි බෝධිය 15 වැනි සියවසේ දී වික්‍රම පාණ්ඩ්‍ය නම් රජෙකු විසින් රෝපණය කළ බව ජනප්‍රවාද පවසයි. උඩමළුවේ පිහිටි බලකොටුව නිසා බෞද්ධයන් පහත මළුව බෝධිය වන්දනා කිරීමට පටන්ගත් බව පැවසේ.
♦ පුංචි සන්දනායකගේ ධෛර්යය
බ්‍රිතාන්‍ය පාලකයෝ දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගය ඉදිකරමින් සිටියහ. වර්ෂ 1871 වනවිට මොරටුව තෙක් දුම්රිය මාර්ගය ඉදිකර අවසාන විය. එය කළුතර තෙක් දීර්ඝ කළේ 1877දීය. කළුතර දුම්රියපොළක් ඉදිකර දුම්රිය ස්ථානය ද විවෘත කෙරිණි. එවකට කළුතර සිටි සුදු ඒජන්තවරයා වූ බ්‍රෝඩ්හෝස්ට් පහත මළුවේ බෝධිය දුම්රිය පාලමට අවහිරයක් යයි පවසමින් කැපීමට තීන්දු කළේය.
බෝධි වෘය බේරාගැනීමට ගිය අය කූඩුෙව්
ඒ වනවිටත් සන්දනායකගේ පුංචි සිඤෝ නම් වයෝවෘද්ධ උපාසක මහතෙක් බෝධිය වටා පිරිසිදු කර එය ස්වේච්ඡාවෙන් රැකබලා ගත්තේය. බෞද්ධ බැතිමතුන් ආගමික වතාවත් සඳහා එහි පැමිණියහ.
මේ අතර බෝධිය රුකබලා ගන්නා සන්දනායකට සුදු ඒජන්තගේ නියෝගය ලැබිණි. ඒ අනුව ඔහු පුද පූජා භාණ්ඩ ද සමඟ බෝධිය කැපීමට පෙර එතැනින් ඉවත් විය යුතුය. සන්දනායක අතින් දැන්වීම් කිහිපයක් ලියා නගරයේ තැන් තැන්වල ඇලෙව්වේය. බෝධි වෘක්ෂය කැපීමට නියමිත දිනයේ බෞද්ධයන් විශාල පිරිසක් ඒ අසලට රොක් වූහ. රැස්ව සිටි පිරිස ඉවත් කිරීමට පොලීසිය ගත් උත්සාහය ද නිෂ්ඵල විය. කිහිපදෙනකුට පොලිස් කූඩුවේ ලැගීමට ද සිදුවුණත් බෝධිය නිරුපද්‍රිතව බේරුණි.
පසුව සන්දනායක කළුතර ප්‍රාදේශීය මණ්ඩලයේ සභාපති එච්.එම්. කැමරන්ගේ අවසරය මත ආගමික කටයුතු සඳහා බෝධි වෘක්ෂය සහ අවට සුළුඉඩක් ලබාගත්තේය. ඒ වෙනුවෙන් අවුරුද්දකට රුපියලක බද්දක් ප්‍රාදේශීය මණ්ඩලයට ගෙව්වේය. ඊට පසු සන්දනායක බෝධිය වටා රාත්‍රියට ලන්තෑරුම් දැල්වීම ආරම්භ කළේය. කුඩා මඩුවක් ද ඒ අසල තැනූ අතර මල් පහන් ද දැල්වීමට ස්ථාන ද වෙන් කෙරිණි.
ඊට පසු 1891 දී සන්දනායක උපාසක තවත් දායකයන්ගේ ද සහයෝගයෙන් මෙම ස්ථානයේ භික්ෂූන් වහන්සේට ස්නානය කිරීමට ස්ථීර නාන කාමරයක් තනා ගැනීමට අවසර ඉල්ලීය. උප දිසාපතිවරයා එම ඉල්ලීම බස්නාහිර පළාත් දිසාපතිට යොමුකළ අතර එය ප්‍රතික්ෂේප කෙරුණි. ඔහු යළිත් විශාල පිරිසකගේ අත්සන් සහිතව පෙත්සමත් උප දිසාපතිවරයාට යොමුකළේය. නමුත් තීන්දුවේ වෙනසක් නොවීය. පසුව කළුතර බෞද්ධ සංගමය 1894 දී යළිත් මේ පිළිබඳව පෙත්සමත් යොමු කළේය. නමුත් මේ ස්ථානය පෞරාණික නොවන බවත් එම ඉල්ලීමට ඉඩදිය නොහැකි බවත් ඉංග්‍රීසි ආණඩුවේ නිගමනය විය.
බෝධියට පඬුරක් දමා යායුතුයයි නීතියක්
මේ අතර 1896 නොවැම්බර් 26දා යළිත් උපදිසාපති බ්‍රේඩ්හොස්ට් බෝධිය කැපීම සිදුකරන බවට ආරංචියක් පැතිර ගියේය. එදින කළුතරට විශාල පිරිසක් රැස්වූහ. සන්දනායක අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළ අතර බෝධිය නොකපන බවට ඉංග්‍රීසි ආණ්ඩුව පොරොන්දු විය. 1897 සැප්තැම්බර් 20 දින බෝධිය අසල වූ පූජා භාණ්ඩ පොලීසිය විසින් ඉවත් කළේය. තාවකාලික ගොඩනැගිල්ල කඩා දැමුණි. නමුත් ජනතාව සිටියේ නොසන්සුන්වය. මේ නිසා එවකට ආණ්ඩුවේ ඒජන්ත වූ එන්.ආර්. එල්යස් සැදෑහැවතුන්ට බෝධි වෘක්ෂය වැඳපුදා ගැනීමට හැකිබව සඳහන් දැන්වීමක් ප්‍රදර්ශනය කළේය.
♦ ගම්මන්පිල උපාසක
ක්‍රමයෙන් යළිත් බෞද්ධයෝ ඉංග්‍රීසින්ට යටි සිතෙන් බණිමින් බෝධියට වඳින්නට වූහ. මේ අතර ලංකාවේ බෞද්ධයාගේ ආගමික කටයුතු කෙරෙහි සහනශීලී පිළිවෙතක් අනුගමනය කරන ලෙස එංගලන්තයෙන් යටත්විජිත භාර ලේකම්ට උපදෙස් ලැබිණි. 1920 දශකය වනවිට ගම්මන්පිල නම් උපාසක මහතෙක් බෝධියේ පුදපූජාවලට දායකත්වය සැපයීය. තාවකාලික මල් අසුන් හා පූජා භාණ්ඩ තැබීමට ස්ථානයක් ද ඉදිකෙරිණි. බෞද්ධයෝ බෝධින්වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණියහ. කළුතර නගරයක් ලෙස දියුණුවන අතර බෝධිය පූජනීය ස්ථානයක් ලෙස ප්‍රකට විය.
♦ තරුණ නීතිඥයෙක්
වර්ෂ 1921 දී කළුතර අධිකරණයට බලපිටියෙන් තරැණ නීතිඥයෙක් පැමිණියේය. ඔහු පසුව නයිට් නාමයකින් ද පිදුම් ලැබූ සිරිල් ද සොයිසාය. ඔහු දිනපතා බෝධිය වන්දනා කළ අතර ගම්මන්පිල උපාසක තැනට පොල්තෙල්, හඳුන්කූරු මිලදී ගැනීමට මුදල් ද පරිත්‍යාග කළේය. වර්ෂ 1939 වනවිට ඔහුෙග් මූලිකත්වයෙන් පහත මළුවේ දාගැබ සහ ගඟ අසල බුදුමැදුර තැනීම ආරම්භ කෙරෙණි. ශ්‍රීමත් සිරිල් ද සොයිසා බස් සේවයක් ආරම්භ කළ අතර එම බස් රථ කළුතර පසුකර යන සෑම අවස්ථාවකම බෝධියට පඬුරක් දමා යායුතුයයි නීතියක් ද පැනවීය. පසුව අනෙක් වාහනත් කළුතර බෝධියට පඬුරක් දමා ගමනට සෙත් පැතීමට පුරුදු විය. අද වනවිට ආගමික භේදයකින් තොරව කළුතර පසුකර යන සෑම වාහනයක්ම පාහේ බෝධියට පඬුරු දැමීමට පුරුදුව ඇත. ලංකාවේ පිංකැට පඬුරුවලින් වැඩිම ආදායමක් ලබන පූජනීය ස්ථානය ලෙස කළුතර බෝධිය සැලකේ.
♦ පහළ මළුවේ දාගැබ
බෝධි වෘක්ෂය අසල පිහිටි මෙය කුඩා දාගැබකි. මෙහි වැඩකටයුතු 1942 වර්ෂයේදී නිම කෙරිණි. සිරිල් ද සොයිසාගේ බස්රථ සේවයෙන් ලද ආදායම සහ බැතිමතුන්ගේ ආධාර එකතු කර මෙම දාගැබ සහ බුදුමැදුර ඉදිකරවා තිබේ.
♦ බෝධි භාරකාර මණ්ඩලය
නේවාසික භික්ෂූ වාසයක් හෝ විහාරාධිපති භික්ෂූන් වහන්සේ හෝ නැති කළුතර බුදබිම පාලනය වන්නේ බෝධි භාරකාර මණ්ඩලයේ කැපවීමෙනි. එය පිහිටවන්නේ වර්ෂ 1951 නොවැම්බර් 7දාය. එහි පාලන භාරකාරත්වය සිරිල් ද සොයිසා සහ නීතිඥ වී.වී. සොයිසා දැරුවෝය. වසර දෙකකට පසු උඩමළුව හා පහතමළුව ඇතුළු බෝධි පරිශ්‍රය බෝධි භාරකාර මණ්ඩලයට පවරා දෙනුලැබුයේ අග්‍රමාත්‍ය සර් ජෝන් කොතලාවල විසිනි. මෙහි වත්මන් සභාපතීත්වය දරන්නේ අජිත් ද සොයිසා මහතා වන අතර දේශබන්දු තිලක් ද සොයිසා ලේකම් පදවිය දරයි.
♦ වටදාගෙය
අද කළුතර නගරයේ සංකේතය බවට පත්ව ඇත්තේ ඈතට සුදිලෙන මහ දාගැබයි, වටදාගෙයක් සහිත මෙම දාගැබට මුල්ගල තබන ලද්දේ 1964දීය. අඩි 7150ක වර්ග ඵලයකින් යුත් මෙහි විෂ්කම්භය අඩි 95.4කි. වට ප්‍රමාණය අඩි 335කි. උසින් අඩි 185කි. වටදාගෙය සැලසුම් කළේ කීර්තිමත් ඉංජිනේරැ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහයි. එය ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකේ. වටදාගෙය මැද කුඩා දාගැබක් ද එය වටා බුද්ධ ප්‍රතිමා හතරක් ද ඉදිකර තිබේ.
♦ ශ්‍රීමත් සිරිල් ද සොයිසා
සුප්‍රකට නීතිඥයෙක් මෙන්ම සැදෑහැවත් බෞද්ධයෙක්ද වූ සිරිල් ද සොයිසාගේ නම කළුතර සහ දැඩිව බැඳී තිබේ. කළුතර බෝධි භාරකාර මණ්ඩලය දියුණු කිරීමට අමතරව තවත් පිංකම් රුසක් ද ඔහු අතින් ඉටුවිණි. කළුතර බාලිකා විද්‍යාලය හා කළුතර විද්‍යාලය ඇරඹීමය. කතරගම විශ්‍රාම ශාලාවක් ඉදිකිරීම ඒ අතරින් කිහිපයකි. 1978 ජනවාරි 2 දින මොලොවින් සමුගත් ඔහුගේ ප්‍රතිමාවක් කළුතර බෝධි පරිශ්‍රයේ ඉදිකර තිබේ.
♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I සමන්ත ප්‍රදීප් විල්තෙර