ඛනිජ තෙල් භාවිතය ගැන ලෝකය පුරා අලුත් ආකල්ප පැතිරෙන බව සඳහන් කළ යුතුය. වසර 2030 වනවිට පෙට‍්‍රල් භාවි කිරීම සියයට පනහකින් අඩු කරන්නට අෙමරිකාව යෝජනා කර තිබේ. පැරිස් සම්මුතිය අනුව යමින් වසර 2050 වන විට ඩීසල් හා පෙට‍්‍රල් වාහන පරිහරණය සම්පූර්ණයෙන් නතර කළ හැකි වෙතැයි අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් පහක් ඉලක්ක කර ඇත. ජපානයේ ටොයොටා සමාගම තවත් දශක දෙකහමාරක් ඇතුළත එන්ජිමක් සහිත වාහන නිපදවීම සම්පූර්ණයෙන් නතර කරන බව දැනට නිවේදනය කර තිබේ. ඉදිරි වසර කිහිපය තුළ ඛනිජ තෙල් භාවිතය පැවැතිය හැකි තත්ත්වය ගැන යම් අදහසක් මෙයින් පළවෙයි. ශ‍්‍රී ලංකාව මෙම අභියෝගයට සූදානම් ද?
මාස හතරකට පමණ කලින් එනම් අප්‍රේල් අවසන් සතියේ මෙවැනිම වර්ජනයක් සිදු විය. ඒ ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමට විරුද්ධවය. එහි ආයෝජනයට ඉන්දියාව කැමැත්ත දක්වා තිබුණු අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති එම යෝජනාව බරපතළ විරෝධයකට ලක් කළේය. ඉන්දියානු ආයෝජනය අත්හිටුවන ලෙස බලකරමින් තෙල් බෙදාහැරීම වර්ජනය කළ අතර එහි ප‍්‍රතිඵලය වූයේ ආයෝජනය තාවකාලිකව යටපත් වීමය. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ නිර්මාණය කළ එකකි. දෙවැනි ලෝක යුද්ධය කාලයේ ජපානය එතැනට බෝම්බ හෙලා ඇත. පසුව රටට ප‍්‍රයෝජනයක් නැති හෙයින් එය එපමණ අවධානයට ගැනුණේ නැත.
ඛනිජ තෙල් වෘත්තීය සමිති මෑත කාලය තුළ දෙවැනි වතාවට ද ඉන්ධන බෙදාහැරීම නතර කර වර්ජනයක යෙදෙන්නේ මන්ද? හම්බන්තොට වරාය සහ අනුබද්ධ තෙල් ටැංකි සංකීර්ණය චීනයට පැවරීම නතර කරන ලෙස එයින් බලකර සිටියි. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවැරීම නතර කරන ලෙස හා අබලන් තත්ත්වයේ ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ප‍්‍රතිසංස්කරණය යන ඉල්ලීම් තුන වර්ජකයන් ඉදිරිපත් කර තිබේ. වර්ජනය හේතු කරගෙන ඉන්ධන හිඟයක් මතු වූ අතර ඉන්දියන් ඔයිල් සමාගමේ පිරවුම්හල් අසල දිග වාහන පෝලිම් දැකගත හැකි විය. ජන ජීවිතයට දුෂ්කරතා මතු වූ අවස්ථාවේ දී ඛනිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බව රජය නිවේදනය කළේය. කොළොන්නාව බෙදාහැරීමේ අංගනය ත‍්‍රිවිධ හමුදාවේ ආරක්ෂාවට යටත් වූ අතර වහාම වැඩට පැමිණෙන ලෙස සේවකයන්ට දැනුම්දීමට රජය පියවර ගත්තේය. අනතුරුව විශාල අරගලයක් හට ගැනින. තර්ජන ගර්ජන පහරදීම් ගැන චෝදනා ප්‍රතිචෝදනා නැගිනි. එවැනි පසුබිමක සිටියදී හම්බන්තොට වරාය ඇතුළු ප‍්‍රදේශය චයිනා මර්චන්ට් සමාගමට පැවරීම සඳහා වූ සංශෝධිත බදු ගිවිසුම කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.
හම්බන්තොට වරාය වෙනුවෙන් ගත් ණය පියවීම කරගත නොහැකි හෙයින් වාසිදායක ආයෝජනයක් වශයෙන් එය චීනයට පවරන බව වත්මන් ආණ්ඩුව ප‍්‍රසිද්ධ කළේය. හම්බන්තොට වරාය පළමු අදියරට අෙමරිකානු ඩොලර් මිලියන 450 ක් වැය කරන ලද අතර එයින් සියයට අසූ පහක් චීන එක්සිම් බැංකුව සපයන ලද ණය බව සඳහන් කළ යුතුය. මෙයට අමතරව අෙමරිකානු ඩොලර් මිලියන 70 ක් වියදම් කර තෙල් අංගනයක් ද ඉදිකර ඇත. දෙවැනි අදියර වෙනුවෙන් වැය කරන ලද මුදල අෙමරිකානු ඩොලර් මිලියන 802 කි. මෙම අති විශාල ණය හා ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලිය රටට දරාගත නොහැකි බරක් වී ඇති අතර පාඩු ලබන වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවරීමෙන් රටේ ආර්ථිකය ණය උගුලෙන් ගලවා ගත හැකි බව වත්මන් ආණ්ඩුවේ ස්ථාවරයයි.
මෙම ආයෝජනයට ඉඩ නොලැබෙන අන්දමට අති විශාල විරෝධයක් මෙම වසරේ මුල් භාගයේ පැවති අතර හම්බන්තොට යුද පිටියක ස්වභාවය ගත් බව ජනතාවට අමතක නැත. චීනයට හම්බන්තොට පැවරීමට එරෙහිව විරුද්ධවාදී දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති මෙහෙයවීම පිටුපස විදේශ රටක බලපෑම් පැවැති බව නිල නොවන තත්ත්ව පෙන්වයි. එයට හිලව්වක් වශයෙන් ත‍්‍රිකුණාමලයේ තෙල්ටැංකි සංකීර්ණ ඉන්දියාවට පවරන යෝජනාවේ දී විදේශ බලවේග අනියම් අන්දමින් අතපොවන ලද බව සැලකිය හැකිය. නැවත වතාවක් හම්බන්තොට වරාය ඇතුළු භූමිභාගය සම්බන්ධ චීන යෝජනාව සංශෝධනය කර ඉදිරිපත් වන විට වක‍්‍ර ආකාරයේ තර්ජනයක් පැමිණ තිබේ. ඛනිජ තෙල් වෘත්තීය සමිති හා විරුද්ධ මතධාරී දේශපාලන පක්ෂ වල හැසිරීම අනුව ත‍්‍රිකුණාමලය හා හම්බන්තොට යන ආයෝජනවල චීන හා ඉන්දීය අභ්‍යන්තර ගැටුමක් පවතින බව පොදු ජනතාව විනිශ්චය කළහොත් එය වරදක් නොවෙන්නට ඉඩ තිබේ. නමුත් යෝධයන් ගේ ආයෝජන සංග‍්‍රාම අභිමුවෙහි මෙරට ජනතාව බරපතළ උගුලකට හසුවී තිබේ.
1991 වසරේ දී මේ හා සමාන තත්ත්වයක් අෙමරිකානු හඬ වෙනුවෙන් ඉඩම් පැවරීමේ දී සිදුවූ බව සඳහන් කළ යුතුය. අෙමරිකානු තානාපති කාර්යාලය ඉරණවිල ප‍්‍රදේශයේ හෙක්ටයාර් 16.6 ක ප‍්‍රදේශයක් වසර විස්සකට බදු ගත් අතර එය පැවරීමට එරෙහිව රට තුළ විශාල විරෝධයක් පැන නැංගේය. වසර ගණනාවක් උද්ඝෝෂණ පැවති අතර උත්සන්න වූ අවස්ථාවක පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් එක් අයෙකු මරුමුවට පත්විය. මෙම දේපොළ වෙනුවෙන් වසරකට ඇමරිකානු ඩොලර් 40,000 ක් ගෙවන ලද නමුත් වසර 2020 දී බදු ගිවිසුම අවසන් වෙන්නටත් කලින් අෙමරිකානු රජය එය අත්හැර දැමූයේ මෑතක දීය. කාලයක් ඇමරිකාවට ඉතාම වටිනා දේපොළක් නමුත් අද ඉරණවිලට වටිනාකමක් නැත. හම්බන්තොට වරාය ආශි‍්‍රත ප‍්‍රදේශය හෝ ත‍්‍රිකුණාමලය චීන වරාය තෙල් ගබඩා සංකීර්ණය ගැනද අනාගතය එවැනි අවසානයක් වෙන්නට බැරි නැත.
කැබිනට් මණ්ඩලය අනුමත කරන ලද හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුම අනුව එය රාජ්‍ය පෞද්ගලික හවුල්කාර ආයෝජනයකි. වසර අනූ නමයකට එය චයිනා මර්චන්ට් සමාගමට බදු දෙන අතර එයින් අෙමරිකානු ඩොලර් බිලියන 1.4 ක් උපයා ගත හැකි වෙතැයි ආණ්ඩුව කියා තිබේ. වරාය අයිතියෙන් සියයට තිහක් වරාය අධිකාරියට අයත්වන අතර පැවරෙන්නේ සියයට තිහක් පමණක් බව කැබිනට් වාර්තාව උපුටා දක්වමින් වරාය අමාත්‍යවරයා මාධ්‍ය වලට කියා තිබේ
වරාය පහසුකම සහිත හෙක්ටයාර් 1,115 ක කොටසක් චයිනා මර්චන්ට් සමාගමට බදු දීමට නියමිත බව අනාවරණය වෙයි. මෙම ආයෝජනය වෙනුවෙන් අලුත් ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ සෙනසුරාදාට නියමිතව තිබුණ අතර වරාය මෙහෙයුම් හා ඉදිරි පැවැත්ම වෙනුවෙන් පාර්ශව දෙකටම කොටස් හිමි සමාගම් දෙකක් ද ස්ථාපිත කෙරේ. නව ගිවිසුම අත්සන් කළ වහා යෝජිත මුදලින් සියයට දහයක් ගෙවිය යුතු අතර සියයට තිහක් මාස තුනක් තුළ හා ඉතිරි සියයට හැට මාස හයක් ඇතුළත ගෙවා අවසන් කළ යුතුය. පසුගියදා පැවැති කොළඹ ආර්ථික සමුළුවේ දී ද මෙරට ප‍්‍රධාන ව්‍යවසායකයන් මෙම වරාය ගිවිසුම ගැන අවධානය යොමු කරනලද අතර රජයේ පාර්ශවයෙන් සහභාගී වූ නියෝජිතයන් පෙන්වා දුන්නේ වසරක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් හා පසුව එය අමෙරිකානු ඩොලර් බිලියන 2.1 දක්වා ආයෝජනය විය හැකි බවය.
මෙම පසුබිම තිබිය දී බ්ලූම්බර්ග් ආර්ථික වාර්තා ජූලි 26 දා දහවල් අනාවරණය කළේ හොංකොං කොටස් වෙළඳ පොළෙහි ලැයිස්තුගත චයිනා මර්චන්ට් සමාගම එම කොටස් වෙළඳපොළට ආයෝජන වැදගත්කමකින් යුතු හම්බන්තොට වරායෙහි කොටස්වලින් සියයට 85 ක් අමෙරිකානු ඩොලර් මිලියන 993.7 කට මිලදී ගැනීමට යෝජිත බවය. එහි ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක් වැය කරන බව නිල වශයෙන් දන්වා ඇති බව එහි දැක්වෙයි. කැබිනට් තොරතුරු හා බ්ලූම්බර්ග් වාර්තා අතර ඇති වෙනස කුමක්ද යන්න පැහැදිලි නැති නමුත් 2016 වසරේ දී මෙරටට ලැබී ඇති සෘජු විදේශ ආයෝජන ප‍්‍රමාණය සලකා බලන විට මෙම ආදායම රටට විශාල ශක්තියකි. එම වසරේ දී රටට ඇමරිකානු ඩොලර් මිලියන 450 ක ආයෝජන ලැබුණ අතර එය අනුව සලකන විට හම්බන්තොට වරාය ආයෝජනයෙන් පමණක් එය මෙන් තෙගුණයක පමණ ආදායමක් රටට උපයා ගත හැකිය.
හම්බන්තොට වරාය අති විශාල ණය බරක් සහ එය රටට පාඩු ගෙන දෙන ව්‍යාපෘතියක් බවට චෝදනා නැගෙන විට හිටපු ජනාපධිති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් පෙබරවාරි මාසයේ දී නිකුත් කරන ලද පිළිතුර ද මෙහි දී වැදගත්ය. ඔහුට අනුව වරාය ඉදිකිරීමෙන් පසු ණය ගෙවන අන්දම ගැන සැලැස්මක් තිබුණ අතර එය රටට බරක් නොවේ. වරාය හතළිස් වසරකට බදු දෙන අතර එයින් ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක් උපයා ගෙන සියයට අසූව හා විස්ස පදනම මත දෙපාර්ශවය එක්ව ණය ගෙවන හා ඉඩම් හෙක්ටයාරයක් වශයෙන් බදු පවරා අවුරුද්දකට ඇමරිකානු ඩොලර් 35,000 ක් වශයෙන් ද හම්බන්තොට වරායෙන් පටවන සෑම කන්ටේනරයකින් ම ඇමරිකානු ඩොලර් 2.5 බැගින් ආදායම් උපයන වැඩපිළිවෙළක් තිබුණ බව එහි දැක්වෙයි. අයවැය යෝජනා මගින් වරාය හා ගුවන් තොටුපොළ කලාපය නිදහස් ප‍්‍රදේශ බවට ප‍්‍රකාශයට පත් කරන ලද අතර චීනයේ එක මාවතක් එක තීරුවක් වැඩසටහන යටතේ ආසියාව ඔස්සේ යුරෝපයට යන නැව් මාර්ගයට සම්බන්ධ කිරීමෙන් රටට හොඳ අවස්ථා උපයාගත හැකිව තිබුණ බව වැඩිදුරටත් දක්වා තිබුණි.
කෙසේ නමුත් මෙම වාද විවාදවල කෙළවරක් තිබිය යුතුය. වර්ජනය රටේ ආර්ථිකයට උත්තරයක් නොවේ. දින දෙකක් ඉන්ධන බෙදාහැරීමේ වර්ජනය ආර්ථිකයට විශාල අවාසියකි. ගමනා ගමනය සීමා වූ අතර නිෂ්පාදන ක‍්‍රියාවලියට බාධා සිදුවිය. හම්බන්තොට හා ත‍්‍රිකුණාමලය වශයෙන් මර්මස්ථාන ඇපයට ගෙන ජන ජීවිතය අඩාල කිරීම කිසිසේත් සුදුසු නැත.
තවත් දශක දෙක තුනක් අවසානයේ දී ලෝකය පුරා ඉන්ධන වලට පවතින ඉල්ලුම පහත වැටෙන බවට මුලින් කරන ලද සඳහන් කිරීම් අඟවයි. තෙල් ටැංකි වල අයිතිය ගැන සටන් කරන නමුත් අවසානයේ දී රටට ඉතිරි වෙන්නේ මොනවාදැයි හිතා බැලීම සුදුසුය. ආණ්ඩුව, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ පොදු ජනතාව තමන් මෙහෙයැවෙන තරම සම්බන්ධයෙන් නියම අවබෝධයක පිහිටිය යුතුව තිබේ. ජාත්‍යන්තරයේ බලවත් රටවල උපායෙහි නොගැලී රටට වඩා සුදුසු යෝජනා ඉක්මනින් ක‍්‍රියාත්මක කළ යුතුය.
ජාත්‍යන්තර ස්වභාවය අනුව ලෝකයේ නොයෙක් රටවල් තමන්ගේ න්‍යාය පත‍්‍රය අනුව වැදගත් සන්ධිස්ථාන තෝරා ගනී. ආයෝජනයටත් වඩා උපාය මාර්ගික වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරයි. බලවත් රටවල් තීරණගන්නා සහ හැසිරෙන ආකාරයෙන් සම්පූර්ණයෙන් මිදෙන්නට ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටවල් වලට හැකියාවක් නැත. ගොදුරක් නොවී අභිමානවත් තීරණ ගන්නේ කෙසේදැයි විමසිලිමත්වීම ආණ්ඩුවක වගකීමකි.ගාමිණී සරත් ගොඩකන්ද
සේයාරූ | සුමුදු හේවාපතිරණ
කුෂාන් පතිරාජ