2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

මීගමුවේ ඩෙංගු ඇප් එක

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

දිවයින පුරා ඩෙංගු රෝගීන් තවමත් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතී. ඒ අතර මීගමුව නගරය තුළ ‍ඩෙංගු මර්දනය කිරීමේ සුවිශේෂී වැඩසටහන් පෙළක් මේ වෙද්දී නගරය පුරා ව්‍යාප්ත කොට ඇත. ඒ අතර විශේෂ ඩෙංගු ඇප් එකක් මඟින් ප්‍රදේශය පුරා ව්‍යාප්තව සිටින රෝගීන් පිළිබඳව දත්ත ලබා ගැනීම සුවිශේෂී කරුණක් ලෙස සැලකිය හැක. අද වෙද්දී දිවයින පුරා බොහෝ රෝහල්වල ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් නේවාසික ප්‍රතිකාර ගන්නා අතර ඇතැම් රෝහල්වල ඉඩ පහසුකම් නොමැතිකමින් බොහෝ රෝගීහු අසරණ තත්ත්වයටද පත්ව සිටිති.

මේ අතර වරින් වර වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් ජීවිතත් මරණයත් අතර ජීවත් වූ ඇතැම් රෝගීහු තවත් අසරණ වූහ.
ලෝකය පුරා රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක පැතිර ගොස් ඇති මෙම මාරාන්තික රෝගය අද වෙද්දී ශ්‍රී ලංකාවට වැඩි බලපෑමක් එල්ල වූ රෝගයක් ලෙස වාර්තා වේ.

රට පුරා මෙවැනි තත්ත්වයක් වෙද්දී මීගමු නගරයේ සුවිශේෂී සිදුවීමක් දක්නට ලැබුණි. එනම් ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා මීගමුව ප්‍රදේශයේ සැවොම එක්වී කරනු ලබන ඩෙංගු මර්දන කිරීමේ වැඩසටහනයි. එහි මූලිකත්වය ගෙන කටයුතු කරනුයේ ස්වදේශී කටයුතු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතාය.

ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවා ජනාධිපතිතුමා මර්දනය සඳහා උපදෙස් ලබලා දුන්නා. ඒත් අද වෙද්දී ඩෙංගු වර්ධනයක් මිස මර්දනයක් වෙලා නැහැ. මේකට ප්‍රධානම කාරණාව තමයි පළාත් පාලන ආයතන වශයෙන් මේකට නායකත්වය දෙන්න මන්ත්‍රීවරුන් නැතිකමයි. ඒ නිසා මේ ප්‍රශ්නය එන්න එන්නම වැඩිවුණා. නමුත් අපි ඒකට පියවරක් විදියට විශේෂයෙන් ප්‍රධාන ඇමතිතුමා සහ ජනාධිපති කාර්ය සාධක බලකාය උපදෙස් මත මීගමුවේ නායකත්වය මට දෙන්න තීන්දු කළා. දැන් ඒ කාර්යභාරය එදිනෙදා මා ක්‍රියාත්මක කරනවා. මේ වෙද්දි පසුගිය සති දෙක වෙද්දී අපි මීගමුවේ ප්‍රතිශතයක් විදියට අපි ඩෙංගු රෝගීන් වර්ධනය අඩු වේගෙන යනවා. මේ වැඩසටහන දැන් පටන්ගෙන සති තුනයි  
මේ සම්බන්ධව දේශය අදහස දැක්වූ නිමල් ලංසා මහතා එසේ අදහස් දැක්වීය.

මෙයට පෙර මීගමුව නගර සභාවේ දුම් ගහන මැෂින් හතක් තිබිණි. එයින් හතරක් කැඩී ඇත. නිමල් ලංසා නියෝජ්‍ය ඇමතිගේ මාර්ගයෙන් අද වෙද්දී මීගමුව නගර සභාවට දුම් ගසන මැෂින් තිහක් දක්වා වැඩි වී ඇත. මීට අමතරව වාහනය ඇතුලේ තබා දුම් ගසන මැෂින්  තුනක් අද වෙද්දී මීගමු නගර සභාව සතුව පවතී. මේ නිසා මෙම වැඩසටහන මඟින් එක දිනක මීගමුව නගරයම ආවරණය වන පරිදි දුම් ගැසීමක් සිදු කෙරේ. එමඟින් බොහෝ මදුරුවන් හා මදුරු කීටයන් විනාශ කිරීමේ සාර්ථක මෙහෙයුමක් මීගමුව ප්‍රදේශය පුරා ව්‍යාප්තව ඇතැයි දැනගන්නට ලැබිණි.

මෙම මදුරුවන් වැඩිවශයෙන් දක්නට ලැබෙන්නේ කාණුවල යන අපිරිසිදු වතුර වළවල්වල නොව ගෙවල් ඇතුළේ සහ පිරිසිදු වතුර ආශ්‍රිතවය. මේ නිසා‍ මේ සඳහා ප්‍රායෝගික ක්‍රියාකිරීමට අවශ්‍ය දත්ත නොමැතිව මෙම කටයුත්ත සාර්ථකව කිරීමට නොහැක. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මීගමු රෝහලෙන් අවශ්‍ය දත්ත ගෙන කටයුතු කළද එයද සාර්ථක නොවිණි.

මේ අතර මොවුන්ට අවශ්‍ය කරන දත්ත නිසියාකාරව ලබා ගැනීමට මීගමුවේ පදිංචි පරිගණක ඉංජිනේරුවකු වූ සම්පත් ගොඩමුල්ල මහතාගේ සහයෝගය ලැබුණි. මේ අනුව නිමල් ලංසා මහතාගේ ඉල්ලීම පරිදි සම්පත් ගොඩමුල්ල විසින් මීගමුව ඩෙංගු රෝගීන් සඳහා ඇප් එකක් නිර්මාණය විය.

මේ අනුව මීගමුව නගරයේ සියලු නිවාස මෙම ඇප් එකට ඇතුළු කර ඇත. මේ නිසා මීගමුව කොට්ඨාස භාරව සේවය කරන මහජන සෞඛ්‍ය නිලධාරීන් එකොළොස්දෙනාටම නිමල් ලංසා මහතා විසින් අයි පෑඩ් එකොළහක් ලබා දෙනු ලැබීය.  එමඟින් තමන්ට බාර සියලුම මීගමු නිවාසවලට ගොස් එම නිවාසවල සිටින ඩෙංගු රෝගීන් පිළිබඳව තොරතුරු සොයාබලා එම දත්ත මෙම ඇප් එකට ඇතුළත් කිරීම මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ වගකීමකි. එහිදී රෝගියාගේ නම, ලිපිනය, වයස, ඩෙංගු රෝගය වැළඳුණු දිනය, ස්ත්‍රී පුරුෂ භාවය ආදිය ඇතුළත් කළ යුතුය.

මෙම ඇප් එක මඟින් මීගමුව ප්‍රදේශයේ සිටින රෝගීන්ගේ සත්‍ය තොරතුරු ලබාගත හැකි අතර එමඟින් රෝගීන් වැඩිවශයෙන් ව්‍යාප්ත වූ ආකාරය ඇතුළු සියලුම තොරතුරු ලබාගැනීමටද හැකියාව ඇත. එමඟින් මහජන සෞඛ්‍ය නිලධාරීන් ප්‍රදේශවල නිවාසවලට ගොස් එම නිවස තුළම සිට අදාළ දත්ත සටහන් කිරීම තුළින් මෙය සාර්ථක වෑයමක් ලෙස සඳහන් කළ හැක. මේ වෙද්දී මීගමුවෙන් ඇරඹුණු වෑයම ලංකාව පුරා ව්‍යාප්ත කිරීමෙන් ඩෙංගු රෝගීන් පිළිබඳ සත්‍ය තොරතුරු හා ව්‍යාප්ත වන ආකාරයත් එම ව්‍යාප්ත වීමේ අඩුවැඩි වීමත් ලබා ගත හැකිවීම මෙම ඇප් එකේ සුවිශේෂී කාරණයයි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00