2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

ඉඟිනිමිටිය වනසන ගොවි මුදලාලිලා

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 195

කුඩාමඩගල කඳුවලින් ආරම්භ වී කහල්ලපල්ලේ කැලේ අභය භූමියෙන් පෝෂණය වන මී ඔය සැතැපුම් හැට හතක් දුර ගෙවා ගොස් පුත්තලමෙන් මහ මුහුදට වැටෙයි. මේ මී ඔය ඉඟිනිමිටිය ප්‍රදේශයේදී හරස් කොට ඉඟිනිමිටිය ජලාශය ඉදිකොට තිබේ. ජලාශය  පිහිටි බිම ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයට අයත් වන අතර ජලාශයෙන් පෝෂණය වන ගොඩමඩ ඉඩම් නවගත්තේගම, ආණමඩුව හා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටා තිබේ.
කුඹුරු ඉඩම් අක්කර 8000ක් පමණ පෝෂණය කිරීමට ශක්‍යතාවක් ඉඟිනිමිටිය ජලාශයට තිබුණත් ඊට අයත් රක්ෂිතයේත්, වතුර අඩුවන විට ජලාශය තුළත් සිදුවන විපරිත ක්‍රියා නිසා යට කී අරමුණු ඉටුකර ගත හැකිද යන ප්‍රශ්නය ජනතාව තුළ දැන් ඇති වී තිබේ.

ඉඟිනිමිටිය එච්.එක.ඒ. ගම්මානයේ පදිංචි එල්.පී.ඩී. සිමෝති ගොවි මහතා ඒ සම්බන්ධයෙන් කීවේ මෙවැනි කතාවකි.
ජලාශය ඉදිකරලා අවුරුදු කීපයක් ගත වුණාට පස්සේ මී ඔය දෙපස අනවසර වගා සුළුවෙන් ආරම්භ වුණා. ඊට පස්සේ වැව් රක්ෂිත තුළටත් මේ අනවසර වගා ආවා. මේ වනවිට වැවේ වතුර අඩුවෙන්ඩ අඩුවෙන්ඩ වැව ඇතුළෙත් වගා කරනවා. මහා පරිමාණයෙන් අද මේ අනවසර වගා සිදු වෙනවා. මම හිතන්නේ මේ වනවිට වැව් රක්ෂිතය හා වැව ඇතුළේ අක්කර තුන් හාරසීයක් වගා කරනවා.

වැව ඇතුළේ පොඩි පොඩි දූපත්වල කැලෑව ගිනි තියනවා. ආං.... අර පේන්නේ අදත් කැලෑවට ගිනි තියලා. එහෙම තමයි වගාවලට බිම් එළියකර ගන්නේ. එහෙම නැත්නම් වල් නාශක යොදලා ළවල්ල මරනවා. ඊළඟට ට්‍රැක්ටර් දාලා හානවා. වළවල් කපනවා. වගාවට ජලය මැෂින් දාලා පොම්ප කරනවා. ඒවාගේ වතුර මැෂින් තිහ- හතළිහක් තියෙනවා. ඊළඟට වගාවන්ට කෘමි නාශක රසායනික පොහොර යොදනවා. හරිම විපරිත වැඩ තමයි අද මේ වැව හා රක්ෂිතය තුළ සිදුවන්නේ.

මේ ක්‍රියාවල අහිතකර ප්‍රතිඵල ගැන අපට විස්තරයක් කළේ ඉඟිනිමිටිය ඔට්ටුකුලම යාය දහය ප්‍රදේශයේ පදිංචි කේ.එම්. මුහන්දිරම් ගොවි මහතාය. 

අනවසර වගා කටයුතු සඳහා පස බුරුල් කළාම වර්ෂා කාලයට ඒ පස් සෝදගෙන ජලාශයට එනවා. රොම් මඩ වැවේ තැන්පත් වීමෙන් වැව ගොඩ වෙනවා. රසායනික පොහොර හා කෘමිනාශක, වල් නාශක, රසායනික පොහොර යොදන විට ඒවා වැව් ජලයට මිශ්‍ර වෙනවා. ජලය දූෂණය වෙනවා. අපේ ගම්වල ගොඩාක් දෙනෙක් මේ වැවේ වතුර තමයි අද බීමට ගන්නේ. පානීය ජල ව්‍යාපෘතියේ ළිඳත් හිඳිලා. ඒ නිසා වැවෙන් ජලය පොම්ප කරලා පානීය ජලය ව්‍යාපෘථියට වතුර සපයනවා. වකුගඩු රෝගය ඇතුළු නොයෙකුත් ලෙඩ රෝගවලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ජලාශය යටතේ ඉන්න නිත්‍යනුකූල ගොවියෝ අපි. ඒත් අද අපේ කුඹුරුවලට වතුර නෑ. අනවසර වගාකරුවෝ පොම්ප දාගෙන වැවෙන් වතුර ගහලා හොඳට වගාව කරනවා. ඊළඟට වැවේ ධීවර කටයුතු කරන අයටත් පීඩාවක් කෘමි නාශක ඇතුළු රසායනික දේවල් භාවිතය නිසා. ඒ විෂ වැව් වතුරට එකතු වුණාම මාළු මැරෙනවා. බෝවීමක් නෑ. හැම දෙනාටම වෙන්නේ අහිතකර ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නටයි.

ඉඟිනිමිටිය පොල්වත්ත පදිංචි ආර්. සයිමන් ගොවි මහතා

මේ ජලාශය හා එහි රක්ෂිත කොටස් අයත් වෙන්නේ ගල්ගමුව, අඹන්පොළ හා කොටවෙහෙර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ජලාශයෙන් පෝෂණය වන කුඹුරු හා ගොඩ ඉඩම් අයත් වන්නේ අණමඩුව මැතිවරණ ආසනයට. අනවසර වගා සිදුවන්නේ ඒ රක්ෂිතවල. එක් ගොවියකු අක්කරයේ සිට අක්කර පහ හය දක්වා වගා කරනවා. වැඩිපුරම වගා කරන්නේ වට්ටක්කා හා පැණි කොමඩු. ඊට අමතරව එළවළු වර්ගත් වගා කරනවා. ඒ අය කියන්නේ කන්න දෙක තුනකින් වගාවක් නැති නිසා ජීවත් වෙන්න වැව් තාවුල්ලේ වගා කරනවා කියලා. එතකොට අපි අහන්නේ ඊට කලින් වගා කළේත් මේ හේතුව මතද කියලා.

ජේ. අජිත් නුවන් රණසිංහ මහතා ඉඟිනිමිටිය ජනපදයේ දෙවැනි පරපුරේ සාමාජිකයෙකි.

වැව් තාවුල්ලේ හා වැව සිඳෙන විට වැව ඇතුළෙන් වගා කරන්නේ දුප්පත් ගොවියෝ නෙවෙයි. ගොවි ව්‍යාපාරිකයෝ. සාමාන්‍ය ගොවියකුට වතුර මැෂින් තියාගෙන අක්කර ගණන් ඔහොම වගා කරන්න හයියක් නෑ, බීජ, පොහොර, රසායනික ද්‍රව්‍ය මිල අධිකයි. කුලියට දාගෙන කරවන්නේ. පොඩි මිනිස්සුන්ට එහෙම බෑ. කවුරැ කළත් වැවට කරන්නේ මහා අපරාධයක්.

සමහර අය අත්ට්‍රැක්ටර්වලට පොම්ප හයිකරගෙන තමයි වතුර ගහන්නේ. ඒවා තියෙන තැනම මාස ගණන් තියෙනවා. ටකරන් වහපු වාඩි හදාගෙන ස්ථිර ලෙසම පදිංචි වෙලා ඉන්නවා. වගා බිම් වටා කටුකම්බි ගහගෙන. මේවා දකිනකොට අපට හිතෙන්නේ මේ අනවසර වගා නෙවෙයි කියලා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම සේවකලාට, පොලීසියට ඇයි මේවා නතර කරන්න බැරි. අත්අඩංගුවට ගන්න බැරි ඇයි. එහෙම නොකරන විට අපට හිතෙන්නේ නිලධාරීන්ගේ සහයෝගයක් මේ අනවසර වගාකරවැන්ට තියෙනවා කියලා. මේ අනවසර වගා නිසා ඉඟිනිමිටිය ජලාශය, ඉන් පෝෂණය ලබන ජනතාව පමණක් නොව වන සතුන්ද තර්ජනයට ලක්ව ඇති බව අසන්නට ලැබිණ.

නිකවැරටිය වන ජීවී කාර්යාලයේ ප්‍රධානි අයි.එම්.ජී. සෙනවිරත්න මහතා කීවේ වන සතෙකුට වැවට වතුර ටිකක් බොන්ඩ එන්න ක්‍රමයක් නැති බවයි. විශේෂයෙන් මේ තත්ත්වය දැඩිව බලපා තිබෙන්නේ වන අලීන්ට. නිකවැරටිය කොට වෙහෙර ප්‍රදේශවල වනාන්තරවල සිටින වන අලීන්ට වතුර බීමට ඇති එකම ජලාශය ඉඟිනිමිටිය වැව. මේ ප්‍රදේශවල ගම්වදින අලීන් පළවා හරින්නෙත් ඉඟිනිමිටිය රක්ෂිත වනයට. ඒ රක්ෂිතයේ හිටපු වන අලීන් හතළිහක් විතර නැවත ගම්මාන වෙත එන්න පටන් අරන්. හේතුව වතුර බීමට හා ආහාර ගැනීමට වැවට බැසීමට නොහැකි වීම.
ගිනි අවි තියාගෙන වැවට දිය බීමට එන අලීන්ට වෙඩි තියෙනවා. රෑකටවත් එන්ඩ බෑ. පැල් රකිනවා. දැනට පැල් විසිපහක් විතර තියෙනවා. තවත් පැල් හදනවා. අපි පසුගියදාක වැටලීමක් කරලා නීති විරෝධි ගිනි අවි දෙකක් අත්අඩංගුවට ගත්තා.

ඉඟිනිමිටිය වාරි මාර්ග ඉංජිනේරු දිල්රුක් හෙට්ටිආරච්චි මහතාගෙන්ද මේ පිළිබඳව විමසුවෙමු.

මේ ජලාශයේ අක්කර අඩි 59000ක ජල ධාරිතාවයක් රදවා ගන්න පුළුවන්. මේ වනවිට ජලාශයේ තියෙන්නේ අක්කර අඩි 7200ක පමණ ජල ධාරිතාවයක්. අක්කර 4000ක පමණ බිමකට ජලය පිරෙනවා. මුල් කාලේ සිට මේ අනවසර වගා සුළු වශයෙන් තිබිලා තියෙනවා. දැන් මේක මාෆියාවක් වෙලා. මහා පරිමාණ සල්ලිකාරයෝ මිනිස්සු කුලියට දාලා කරන ව්‍යාපාරකයක් වෙලා. වැව් ඉස්මත්තේ හා වැව ඇතුළේ ඉඩම් විකුණන ජාවාරමකුත් වෙනවා කියලා දැනගන්න තිබෙනවා.

වැව අයිති වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නම් ඇයි මේවා නතර නොකරන්නේ කියලා හැමෝම අහනවා. මේ සම්බන්ධයෙන් මුලින් හිටපු ඉංජිනේරුවරුත් අදාළ ආයතනවලට මේ ගැන ලියලා තියෙනවා. අනවසර වගා නතර කරන්න කියලා. ඒ වගාකරුවන්ට දැනුම් දීලා තියෙනවා. මමත් 2014 අවුරුද්දේ සිට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලදී මේ ගැන කතා කරලා තිබෙනවා. කොටවෙහෙර, ගල්ගමුව, අබන්පොළ, ආණමඩුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට පොලිස්ස්ථානාධිපතිවරුන්ට, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරුන්ට වන ජීවි වන සංරක්ෂණ නිලධාරින්ට, මධ්‍යම පරිසර අධිකාරියට, වයඹ පළාත් පරිසර අධිකාරියට අදාළ දේශපාලනඥයන්ට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒත් මේ නීති විරෝධි වගාකරුවන්ට එරෙහිව නීතිමය පියවර අරන් නෑ. මේක නතර කරන්න පොලිස් බලතල අපට නෑ. නිලධාරීන්ගේ හිඟයකුත් තියෙනවා. අපට ඉන්නේ එක සහකාර ඉංජිනේරුවරයෙක් විතරයි. ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේක පහසුවෙන් නතර කරන්න පුළුවන්.

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගිකා පතිරාජ මහත්මියගෙන් මේ ගැන විමසූ විට කී කතාවයි මේ.

වැව ආරක්ෂා කර ගන්න ඕන වාරි මාර්ග දෙපාර්තමේන්තුව තමන්ගේ භූමිය ආරක්ෂා කර ගැනීම ඒ අයගේ වගකීමක්. අනවසර වගා ඉවත් කිරීමට ගැසට් එකෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බලතල දීලා තියෙනවා. ඔය අනවසර වගා කරන්නෙ දැන් අවුරුදු විස්සක තිහක සිට. ඒ කොහොම වුණත් මම තව සැරයක් වාර්තාවක් කැඳවා තිබෙනවා අපේ කොටසේ වගා කරන බිම් ප්‍රමාණයයි, වගාකරන බෝගයි, වගා කරන පුද්ගලයන් ගැන තොරතුරුයි. ඒ වාගේම ඒ වගාවන් කරන පුද්ගලයන්ට අයින් වෙන්න කියා ග්‍රාම නිලධාරින් හරහා දැනුම් දෙනවා. එසේ නොකළොත් ඒ අයට එරෙහිව අධිකරණයේ නඩු පවරනවා. 

♦  ගල්ගමුවේ නිහාල් ජයවීර