2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

වික්ටෝරියා හිරිකඩ මැද සොඳුරු පාරාදීසය

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශය අද වනවිට ක්‍රීඩා ක්‍රියාකාරකම්වලට වඩාත් ජනප්‍රිය වෙලා තියෙනවා. ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාවන් තුනක් වන ක්‍රිකට්, රග්බි සහ ගොල්ෆ් කියන ක්‍රීඩා තුන සඳහාම පහසුකම් වික්ටෝරියා ජලාශය අවට පල්ලෙකැලේ ප්‍රදේශයේදී දකින්න පුළුවන්. ඒ තමයි පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ පිහිටි මහනුවර ත්‍රිත්ව විදුහල් රග්බි පිටිය සහ වික්ටෝරියා ගොල්ෆ් උද්‍යානය. ලෝකයේ හොඳම ගොල්ෆ් පිටි සියය අතරටත් අයත් වන මේ වික්ටෝරියා ගොල්ෆ් පිටිය දකුණු ආසියාවේ අංක එක ලෙස සැලකෙනවා. 

වික්ටෝරියා ජලාශයත්, හුළු ගඟත් නිසා අසීමාන්තික සොබා සුන්දරත්වය රැගත් මේ ප්‍රදේශයේ ඉදිවුණු මුල්ම හෝටලයක් ලෙස සෙරන්ඩිබ් සිග්නේචර් රෙසෝට් (Serendib Signature Resort) හඳුන්වන්න පුළුවන්. මහනුවරට අයත් අතීත සම්ප්‍රදාය වගේම දුම්බර මිටියාවතට හිමි ගැමි සුන්දරත්වයක් කදිමට මුසු කරගනිමින් තමයි මේ අපූරු හෝටලය නිර්මාණය කර තිබෙන්නෙ.

සැබෑ ශ්‍රී ලාංකේය බව වගේම දුම්බර සංස්කෘතිය හෝටලය තුළින් නිරූපණය කරන නිසා තමයි සිග්නේචර් රෙසෝට් නමින් හෝටලය නම් කළෙත් යැයි එහි කළමනාකාර අධ්‍යක්ෂ ධනංජය රත්නායක මහතා පවසනවා.

හරිතවත් අක්කර තුනක භූමියක පැතිර පවතින හෝටලයට මහනුවර නගරයේ සිට මිනිත්තු 30ක් ඇතුළත ළඟාවෙන්න පුළුවන්. හෝටලය ඉදිකර තිබෙන්නේ එහි තිබූ කිසිදු ගසක් කපා දැමීමකින් තොරව වීමත් විශේෂත්වයක්. එනම් සොබාදහම හා අනුගත වන ආකාරයට එය ඉදිකර තිබෙනවා. ඒ වගේම නුවර සංස්කෘතිය විදහා දක්වමින් ලාක්ෂා සහ පිත්තල නිර්මාණත් හෝටලය පුරා දකින්න පුළුවන්.

මෙහි මුළු කාමර සංඛ්‍යාව 20ක්. ඉන් 11ක් ඩියුලක්ස් පන්නයේ ද්විත්ව කාමරයි. තවත් 5ක් ඩියුලක්ස් ත්‍රිත්ව කාමර. සාමාන්‍ය පන්තියේ කාමර 4කුත් එහි පවතිනවා. මීට අමතරව එළිමහන් පිහිනුම් තටාකයක්, විල දෙසට යොමුවුණු නැරඹුම් වේදිකාවක්, සුවිසල් ආහාර මැදිරියක් ඇතුළු බොහෝ පහසුකම් සංචාරකයන්ට හිමිවෙනවා. සෑම කාමරයකම කුඩා සඳලු තලයක් පවතිනවා. ඒවා අසල පිහිටි විල දෙසටත්, පිහිනුම් තටාකය දෙසටත් දුම්බර කඳුකරය දෙසටත් යොමු වී තිබෙනවා.

හෝටලයේ ආහාරපානවලදී ප්‍රමුඛතාව හිමිවන්නේ දේශීය සහ විශේෂයෙන්ම උඩරට ආහාරවලට වුණත් තරු පන්තියේ ආහාර පවා මෙහිදී ලබාගන්න පුළුවන්. ඒ වගේම සංචාරකයින්ගේ කැමැත්ත පරිදි බාබකියු ආහාරවේල් පවා ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

සෙරන්ඩිබ් සිග්නේචර් රෙසෝට්හි නවාතැන් ගන්නා සංචාරකයන්ට පෙර කී ආකාරයේ ක්‍රීඩා අත්දැකීම්වලට අමතරව කුරුල්ලන් නැරඹීම, කඳු නැගීම වගේම බඹරකන්ද පර්වත විහාරය, වික්ටෝරියා - රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ නැරඹීම, දුම්බර කඳු යාය තරණය කිරීම ආදී බොහෝ ක්‍රියාකාරකම්වල නිරත විය හැකියි. ඒ නිසා මධුසමය වෙනුවෙන් හොඳ තැනක් ගැන හිතන අයට මේ තැන වඩාත් ගැලපේවි. 

♦ සනත් වීරසූරිය

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00