2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

මහ පාරෙදි කොටුකරගත් තෙල්වත්තේ සතියා

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

තෙල්වත්තේ සතියා නමින් ප්‍රසිද්ධ ඔහු උප්පැන්නයේ සඳහන් ආකාරයට තොම්මාදුර අජිත් මෙන්ඩිස්ය. තෙල්වත්ත ප්‍රදේශයේ ඉපදී ගැටවර වියේදීම නාහෙට නාහන චණ්ඩිකම් කළ ඔහු දකුණේ පාතාලයේ කෙරුම්කරුවෙකි. තෙල්වත්තේ සතියා නොහොත් තොම්මාදුර අජිත් මෙන්ඩිස් හා ඔහුගේ ගෝලයකු නීති විරෝධී ගිනි අවියක්ද සමඟින් ගාල්ල මීටියාගොඩ ඩෙස්පෙට්ගමදී පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ විශේෂ වැටලීමකින් පසුවය.

“තෙල්වත්තෙ සතියා මේ ටිකේ මීටියාගොඩ පැත්තේ කරක් ගහනවා.... කොහේ හරි රොබරියක් දෙන්න ලෑස්ති වෙනවා වගේ.... මිනිහා ළඟ වෙපන් එකකුත් තියෙනවා...”

මේ තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය වෙත ලැබුණේ හදිසියේමය. එම ඒකකයේ ස්ථානධිපති පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය සහ උපස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.එච්.කේ. සංගීත් ඇතුළු පිරිස වහාම තොරතුරු සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුම්වත් කළහ. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් එම්.ආර්. ලතීෆ් මහතා බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතාට උපදෙස් දී තිබුණේ වහාම අදාළ වැටලීම සිදුකරන ලෙසය.

තෙල්වත්තෙ සතියා පිළිබඳ තොරතුරු ලැබී තිබුණේ ඉකුත් 4 වැනි සිකුරාදා පෙරවරුවේය. ඒ මොහොතේම ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිස කොළඹ පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පරිශ්‍රයෙන් පිටත්වූයේ මීටියාගොඩ ප්‍රදේශයට ගමන් ගන්නටය.

ඔත්තුකරුගේ තොරතුරට අනුව ගමන්ගත් නිලධාරීන් රැගත් රථය මීටියාගොඩ ඩෙස්පෙම්ගම පසුකර යන්නට ධාවනය කරමින් මාර්ගය ආසන්නයේ වූ ක්‍රීඩා පිටියක් අසළට පැමිණියා පමණය. ඩෙනිම් කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසුණු අයෙක් රබර් සෙරෙප්පු දෙකක් පැළැඳ මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් සිටියේය. ඔහුගේ ගමන තුළ කිසිදු බියක් හෝ චකිතයක් නොමැත. කලබල නොවූ නිලධාරීහු ඈත තියා පැමිණෙමින් සිටි පුද්ගලයා අධ්‍යයනය කරමින් සිටියහ. ඔත්තුකරුගේ විස්තරවලට අනුව මේ පැමිණෙමින් සිටින්නේ තෙල්වත්තේ සතියා බවට සැකයක් නොතිබිණි. වහා සූදානම් වූ නිලධාරීන් රථයෙන් බැස්සේ සීරුවෙනි. ක්ෂණයකින් ක්‍රියාත්මක වූ නිලධාරීන් හමුවේ සතියාට හැරෙන්නට හෝ ඉඩක් නොතිබිණි. ඒ මොහොතේම පරිශ්‍රමයකින් තොරවම අත්අඩංගුවට ගත් තෙල්වත්තේ සතියාට යටත්වීම හැර කළ හැක්කක් නොවීය.

වැඩි වෙලාවක් නොගත් නිලධාරීහු සිය අනන්‍යතාව පැහැදිලි කොටදී ප්‍රශ්න කරන්නට වූහ. “කෝ උඹේ ළඟ තියෙන වෙපන්? කොහෙද හංගලා තියෙන්නේ....?”

කෙළින්ම සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ තෙල්වත්තේ සතියා මොහොතක් නිහඬව සිටියද තවදුරටත් මුනිවත රකින්නට නොහැකි බව තේරුම්ගෙන කරුණු කියන්නට විය.

“ඉස්සරනම් මගේ ළඟ වෙපන් එකක් තිබුණා. හැබැයි දැන් නෑ.... ඒක මම බටපොළ පැත්තෙ කොල්ලෙකුට විකුණලා රුපියල් 180,000ක් ගත්තා. දැන් ඒක එයා ළඟ ඇති...”

මේ තොරතුරුත් සමඟ නිලධාරීන් බටපොළ ප්‍රදේශයට ගියේ සතියාගේ මිතුරා රත්තරන් හන්දි රවීන්ද්‍ර තුෂාර (33) සොයාගෙනය. නිලධාරීන්ගේ උපායකට අනුව අතරමගදී කොටුකරගත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගිනි අවිය තමා සතුව ඇති බවත් එය සිය නිවසේ සඟවා තිබෙන බවත් හෙළි කළේය. ඒත් සමඟ නිලධාරීන්ගේ අරමුණ වූයේ සැකකරුවන් දෙදෙනාද කැටුව පෙර කී නිවෙසට යාමටය.

කලබලයෙන් තොරව නිලධාරීන්ගේ මෙහෙයවීමට අනුව කටයුතු කළ ඔහු නිවසේ ගිනි අවිය සඟවා ඇති ස්ථානය පෙන්වූයේය. එහි තිබුණේ මිලිමීටර් 38 වර්ගයේ ගිනි අවියක මැගසීනය ක්‍රියාත්මක කළ හැකි විදේශීය රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියකි. එයට භාවිතා කරන ජීව උණ්ඩ 5ක්ද ඔහු සන්තකයේ තිබී ඇත. අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා අජිත් මෙන්ඩිස් නොහොත් තෙල්වත්තේ සතියා ගිනි අවිය හා උණ්ඩ සමඟ ඔහුගේ ගෝලයාද මීටියාගොඩ පොලීසිය වෙත බාර කරනු ලැබූහ.

දකුණේ පාතාලයේ ඝාතන, වෙඩිතැබීම්, කොල්ලකෑම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ තෙල්වත්තේ සතියා හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙකි. ඒ සඳහා මුදල් උපයා ගැනීමට ඔහු සතු පාතාල බලය නොඅඩුව යොදා ගත්තෙකි. මොහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් හා ධනවත් පුද්ගලයන්ගෙන් රුපියල් දහස් ගණනින් මුදල් කප්පම් වශයෙන් ලබාගෙන තිබුණි. ඔහුට ඇති බිය නිසා ඒ පිළිබඳ කිසිවකු හෝ පොලීසියට පැමිණිලි කරන්නට හෝ මුදල් නොදී මඟහරින්නට උත්සාහ ගෙන නැත. මුදල් කොල්ලකෑමට අමතරව රත්‍රං පැළඳ යන ස්ත්‍රීන් හෝ පුරුෂයන් පිළිබඳ අවධානයෙන් සිට ඔවුන් සතු ස්වර්ණාභරණ කොල්ලකෑමද තෙල්වත්ත සතියාට හුරුපුරුදුය. ඒ සියල්ල නොකඩවා සිදුකර තිබුණේ හෙරොයින් පානයට මුදල් සෙවීමටය.

මීට වසර දහයකට පමණ ඉහතදී බලපිටිය පාලම මතදී යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා විය. එය තෙල්වත්ත සතියාගේ ප්‍රහාරයක් බවට සැක කෙරේ. එහිදී තංගුලි නමින් හැඳින්වූ අයකු ඉලක්කය වී තිබූ අතර ඔහු සමඟ යතුරුපැදියේ පසුපස ගමන් කළ අහිංසක තරුණයෙක්ද ඝාතනයට ලක්විය. 2003 වර්ෂයේදී පමණ බුරුසුවා යන අයට වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන්නේද තෙල්වත්තේ සතියාය. එය ඝාතනයට ලක්වූ බුරුසුවාගේ බිරිය, සැමියා හා අමනාපයෙන් සිට තෙල්වත්තේ සතියාට බාර කළ කුලී මිනීමැරුමකි. පසුකලෙක සතියා සිය ගෝලයකු වූ නැට්ටා සමඟ එක්වී කපිල නැමැත්තකු ඝාතනය කිරීමේ වරදට වසර ගණනාවක් මහඋළුගෙදර ලැග්ගේය.

මාස කීපයකට ඉහතදී අහංගම ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ ප්‍රියන්ත තෙල්වත්තේ සතියාගේ මාමා බව කියයි. එය පොඩි ලැසීගේ කල්ලිය විසින් සිදුකළ එකකි. තෙල්වත්තේ සතියා පාතාලයට පණ දෙමින් හෙරොයින් පානයට ඇබ්බැහි වුවද මේ වනවිට වාර්තා වෙන්නේ ඔහුගේ විවාහක බිරිය හෙරොයින් අලෙවි ජාවාරමේ නිරත වෙමින් සිටින බවය.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00