2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

ඩෙංගු! විසෙන් විස නැසීම

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 357

මාරාන්තික වසංගතයක් බවට පත්ව ඇති ඩෙංගු මේ වනවිට මිනිස් ජීවිත 300කට වැඩි සංඛ්‍යාවක් බිලිගෙන හමාරය. පසුගිය මාසය අවසන් වනවිට රජයේ රෝහල්වලට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 123070 කි. ඩෙංගු මර්දනය සඳහා විවිධ උප්පරවැට්ටි මේ වනවිටත් යොදවමින් පවතී. 

මෙතෙක් ලෝකයේ කිසිම රටක මේ රෝග කාරක වෛරසයට එරෙහි එන්නතක් හෝ ඖෂධයක් සොයාගෙන නැත. ඒ හේතුවෙන් දැන් ඩෙංගු වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම මෙයට එරෙහි ප්‍රධාන මෙහෙයුම බවට පත්ව තිබේ.

මැලේරියා පාඩම

ලංකාව තුළ මැලේරියා රෝගය සාර්ථකව මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇත. එහිදී සිදුකරන ලද්දේද එයට හේතුකාරක වන පරපෝෂිතයාගේ ගහනය රට තුළ පාලනයකට ලක් කිරීමයි. රෝගීන් හට ක්විනින් පෙති ලබාදී ඔවුන් තුළ පරපෝෂිතයා වර්ධනය වීම වළක්වන අතරම රෝගීන් වෙන්කර තැබීම මගින් ඔවුන් තුළ ඇති පරපෝෂිතයන් තවදුරටත් මදුරුවන් තුළට ඇතුළුවීම වළක්වන්නට කටයුතු කර තිබුණි.  ධුමායනය, කීට වර්ධන ස්ථාන විනාශ කිරීම, මදුරු කීට ආහාරයට ගන්නා සතුන් පරිසරයට එක්කිරීම, අවට පිරිසුදු කිරීම, දඩ ගැසීම වැනි අනෙකුත් මදුරු මර්දන කටයුතුද ක්‍රියාත්මක වූ අතර වඩාත් වැදගත් අයුරින් බලපෑවේ රටතුළ පරපෝෂිත ඝනත්වය ඉහළ යාමට නොදී පාලනය කර එය ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීමට ගත් උත්සාහයයි. ඩෙංගු රෝගය මර්දනයේදී මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුව ඇත්තේ වෙනත් ආකාරයකටය. හේතුව ඩෙංගු වෛරස නසන ක්විනින් බඳු ඖෂධයක් නොමැතිකමය.

කඩා පනින යතුරුපැදි හමුදාව

රජය මැදිහත්වීමෙන් මදුරු මර්දනය සඳහා විවිධ වැඩපිළිවෙළ රැසක් හඳුන්වා දෙනු දක්නට ලැබේ. මහජන ආරක්ෂක පනතේ වගන්තිවල පිහිට සොයායන්නට දැන් ඒ අනුව කටයුතු කර තිබේ. කොළඹ නගරය තුළ ඩෙංගු මර්දනයට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් 40 දෙනෙකුගෙන් යුතු කඩා පනින යතුරුපැදි හමුදාවක් ඇති කිරීම යෝජනා කර ඇත්තේ ඒ අනුවය. නොසැලකිලිමත් ලෙස නීති විරෝධි ලෙස අපද්‍රව්‍ය බැහැර කරන්නන් මෙන්ම ඩෙංගු බෝකරන ස්ථාන වැටලීම එහි අරමුණයි. කුණු හිතුමතේ ඉවත්කර දමන්නන් කොටුකර ගන්නට CCTV කැමරා ආධාරයට ගන්නටද යෝජනාකර තිබේ.

ජෛව තාක්ෂණය

ඩෙංගු වෛරසය සහිත මදුරු ගහනය අවම කිරීම වසංගතය තුරන් කිරීම සඳහා ඇති එකම සහ හොඳම ක්‍රමය බව දැන් ලෝකය පුරා පිළිගත් මතයයි. ඒ අනුව ජෛව තාක්ෂණය මගින් වඳ බවට පත්කළ මදුරුවන් පරිසරයට මුදා හැරීම පිළිබඳ පරීක්ෂණ ලෝකයේ රට රටවල මේ වන විටත් ක්‍රියාත්මකය. මෑතකදී අමෙරිකාවේ එම මදුරු ගහන ස්වභාවික පරිසරයට එක්කරමින් සිදුකරන පර්යේෂණ අරඹන්නට යෙදුණි.

පර්යේෂකයින්ගේ නවතම උත්සාහය මදුරුවාගේ අණුක සැකැස්මේ වෙනස්කම් හරහා රෝගයට එරෙහිව සටන් කිරීමයි. ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයින්ගේ උත්සාහය පිරිමි ඊඩිස් මදුරුවන්ගේ පුරුෂ ශක්තිය අහිමි වන ලෙස ජාන සැකසුම වෙනස් කිරීමයි. මෙහිදී ඔවුන්ට ගැහැණු සතුන් සමඟ සංවාසයේ යෙදිය හැකි නමුත් එමගින් පැටවුන් බිහිවීමක් සිදු නොවෙයි. පරිණත අවධියට පත්වීමට පෙර බිහිවන පැටවුන් මියයාම සිදුවෙයි. මේ නිසා මදුරු ගහනය සීඝ්‍රයෙන් අඩුවෙයි. මේ සම්බන්ධ මූලික අත්හදා බැලීම් මලයාසියාව තුළ සිදුවන අතර පර්යේෂණයේ සාර්ථක භාවය මෙන්ම කාර්යක්ෂම බව හා ආරක්ෂිත බව මෙහිදී විශේෂ අවධානයට ලක් කර ඇත.

ජාන විද්‍යාත්මකව වෙනස් කරන ලද (Genetically Modified) මදුරුවන් සම්බන්ධ  පර්යේෂණ ආරම්භ වූයේ මීට වසර විස්සකට පමණ පෙරදීය. එහෙත් ඉබි ගමනේ පැමිණි එම අධ්‍යයනවලට නව පණක් ලැබුණේ මෑතකදීය. අමෙරිකානු ඩොලර් මිලියන 38ක පමණ වැයවන ආයෝජන ව්‍යාපෘතියක් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ආරම්භ කිරීම මෙහි ප‍්‍රධාන අවස්ථාව විය. මෙම ව්‍යාපෘතියේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමක්  ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන්  පසුගිය මැයි මාසයේදී ජිනිවා නුවරදී පවත්වන්නට යෙදුණි.

සංවාසයේ යෙදිමට පෙර සරුභාවය ඉවත් කරන ලද කෘමීන් මුදාහැරීමේ උපාය මීට වසර 50කට පෙර සිටම භාවිතා කරන ලද්දකි. මෙමගින් කෘමි ගහනය කැපී පෙනෙන ලෙස පහත වැටෙයි. ගුවතමාලාව, මෙක්සිකෝව සහ අමෙරිකානු එක්සත් ජනපදය තුළ සෑම සතියකම පළතුරු මැස්සන් බිලියන 02ක් පමණ විකිරණ ක‍්‍රමය මගින් නිසරු භාවයට පත්කර පරිසරයට මුදා හැරීම සිදු කරයි. මෙම පැරැණි උපාය සහ නව ක‍්‍රමය අතර වෙනස වන්නේ ජාන කීටුව වෙනස් කිරීමෙන් කෘමීන් නිසරු භාවයට පත් කිරීමයි. මෙය වඩා දියුණු ක‍්‍රමවේදයයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඊඩීස් මදුරුවා දුර්වල තත්ත්වයට පත්වෙයි. OX513 නම් තනි ජානය වෙනස් කිරීමෙන් මෙම ප‍්‍රතිඵල ළඟා කර ගැනීමට අපේක්ෂිතය. 
ජෛව තාක්ෂණය බඳු මිල අධික උප්පරවැට්ටි සඳහා ඉඩනැති අපට දැන් නැවතත් පිහිටට ඇත්තේ ස්වභාවික ජෛව මර්දන උපක්‍රමයන්ය.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ මොනැෂ් සරසවිය මගින් 2011 වසරේ සිට හඳුන්වාදී ඇති Walbachia බැක්ටීරියාව යොදාගනිමින් සිදුකරන මර්දන ක්‍රමවේදය දැන් අපේ රටේද ක්‍රියාත්මක කිරීමට කටයුතු අරඹා තිබේ. 

♦ සුගත් පී. කුලතුංගආරච්චි