2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

කොළඹ පැත්තේ පුංචි පුංචි ලන්ච් කඩ

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 264

කන්තෝරුවල වැඩ කරන කඩෙන් කන හැමෝටම දවල් ආහාර වේල කියන්නෙ ගොඩක් හිතන්න සිද්ධ වෙන දෙයක්. ඉතින් අපිත් හිතුවා කොළඹ පොඩි රවුමක් ගහලා දවල්ට කෑම ගන්න තියෙන පොඩි කඩ කිහිපයක් ගැන ලියන්න කියලා. 

අපි මුලින්ම ගියේ කොල්ලුපිටියේ වාලුකාරාම පාරේ Little Food Cabin කියලා බෝඩ් එකක් ගහලා තිබුණු කඩේකටයි. එතැන බැදපු මාළු කෑම එකේ ඉඳන් බ්ලැක් පෝක් කරි දක්වා ලොකු පරාසයක දවල් කෑම ලබාදෙනවා. මම එයාලාගේ චිකන් කෑම එකක් රස බැලුවා. රස හොඳයි ඇත්තටම. හැබැයි එයාලා හදලා තිබුණු සමහර බීම වර්ග නම් ටිකක් අපිරිසිදුවටයි මට පෙනුණෙ. 

මම ඉන්පස්සේ ගියේ ගංගාරාමය පන්සල දිහාවටයි. ගංගාරාම පන්සලෙන් බොහොම අඩු මුදලට ලබාදෙන මේ කෑම එකෙත් හොඳ රසයක් තියෙනවා. අඩු මුදලකට රසවත් කෑම එකක් එතැනදී ගන්න පුළුවන්. අනික පන්සලේම උයන පිහන නිසා පිරිසිදුකම ගැනත් ලොකු ගැටලුවක් නැහැ. 

ගංගාරාමය ළඟම හුණුපිටිය වැව පාරේ ලොරියක ඉඳන් දවල් කෑම වෙළෙඳාම් කරන ශාන්තව මට මුණගැහුණා. ඔහු ළඟ රුපියල් සියයේ සිට ඉහළම බත් පර්සල් තිබුණා. විවිධ නම්වලින් විවිධ මිල ගණන් යටතේ ඒ කෑම දකින්න ලැබුණා. කොහොම වුණත් එතැන බටර් කේක් එක නම් තරු පහේ හෝටලයක බටර් කේක්වලටත් වඩා රසවත්!
මගේ ඊළඟ නවාතැන වුණේ ඒ අසලම තඹ වහලක් සහිත බත් කඩයක්. හැබැයි කොළඹ තියෙන පරණම ෆ්‍රයිඩ් රයිස් කඩයක් විදිහට මෙතැන ප්‍රසිද්ධයි. දවල් කාලයට විතරක් විවෘත වෙන මේ කඩේ බත් එකක් සාමාන්‍යයෙන් මිලෙන් අඩුයි. මෙතැන වැඩකරන සේවකයෝ කොච්චර වේගවත් ද කියනවා නම් ඔබේ ඇණවුම බැඳලා ඔතලා දෙන්න ඔවුන්ට මිනිත්තුවක් වත් වැයවෙන්නෙ නෑ. 

♦ ධනූ
සේයාරෑ | You’re My Favorite