2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

මරදානේ - කොටුවේ කෝච්චි නැවැත්වූ මකුණෝ

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 161

දුම්රිය සේවාවෙහි සුළු වෙනස්වීමක් සිදුවුවද එය ජන ජීවිතවලට ඉතා තදින්ම බලපානු ලබයි. දිනපතා දුම්රියෙන් සිය රාජකාරි ස්ථානයට වාර්තාකරන ජනතාවට දුම්රියෙහි ඇතිවන සුළු ප්‍රමාදයක් වුවද නොරුස්සන්නේ එබැවිනි. පසුගිය සෙනසුරාදා දිනයේ ද දුම්රිය නියාමකවරුන්ගේ තාවකාලික වර්ජනයක් ක්‍රියාත්මක විය.  එය වර්ජනයක් නොව විරෝධතාවක් ලෙස දැක්වීම වඩාත් නිවැරදිය. දුම්රිය නියාමක මහතුන්ගේ රාජකාරි නේවාසික ස්ථානවල මකුණන් බෝවී සිටීම මෙම වර්ජනයට හේතුව වී තිබිණ.

මරදාන කොටුව යන ප්‍රධාන දුම්රිය ස්ථානවල නියාමකවරුන්ගේ විවේක ස්ථාන මකුණන් විසින් ආක්‍රමණය කර ඇති බවට පැමිණිලි ලැබී තිබුණේ කාලයක සිටමය. එපමණක් නොව පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ මෙන්ම අලුත්ගම දුම්රිය ස්ථානය ද මකුණන්ගේ රාජධානි වී ඇති බවට දුම්රිය නියාමකවරුන්ගෙන් අවස්ථා ගණනාවකදීම පැමිණිලි ද ලැබී ඇත. ඒ අනුව බලනකල මුළු දුම්රිය දෙපාර්තමේන්තුවම මෙවැනිම මකුණන්ගේ ආක්‍රමණයට හසු වී හමාරය.
පසුගිය සෙනසුරාදා දිනයේ මකුණන් නිසා දුම්රිය නියාමකවරු පැය කිහිපයකට සිදු කළ මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය වීමට තිබූ දුම්රිය ගමන් අරඹා තිබුණේද ප්‍රමාද වෙමිනි. සෙනසුරාදා රාජ්‍ය සේවයේ නිවාඩු දිනයක් බැවින් බොහෝ පිරිසක් දුම්රියේ ගමන් කිරීමට නොසිටිය ද පාසල් නිවාඩු සමය ආරම්භ වීමත් සමඟ සැලකියයුතු මගීන් පිරිසක් දුම්රියේ ගමන් කිරීමට පැමිණ සිටියහ. එකවරම කඩාපාත්වුණු මෙම සිදුවීම නිසා ඒ සියලු මගීහු මහත් අපහසුතාවයට පත් වූහ. මෙබදු සිදුවීම්වලදී මහජනයාගේ පැත්ත ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වන්නේ නැත. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

මෙම සිදුවීමෙන් අනතුරුව බොහෝදෙනා දුම්රිය දෙපාර්තමේන්තුව ගැන කතා කරන්නේ මහත් වූ කලකිරීමෙන් යුතුවය. අප දන්නා හැටියට දුම්රිය නියාමකවරුන් මේ පිළිබඳව පැමිණිලි ගණනාවක්ම අදාළ නිලධාරින්ට ලබා දී තිබේ. නමුත් අදාළ බලධාරින් ඒ කිසිවක් සැලකිල්ලට ගෙන නැත. කාලයක සිට තිබූ ප්‍රශ්නයක් පුපුරා ගොස් වර්ජනය ක්‍රියාත්මක වී ඇත්තේ ඒ අනුවය. වර්ජනයක් කරනාතුරුම බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ නැතිනම් එය ඉතා විශාල අයහපතකි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙම මකුණන් පිළබඳ සිද්ධිය එක අතකින් බලනවිට හාස්‍යය උපදවන සිදුවීමක් බඳුය. මේ දෙපාර්තමේන්තුව රටේ දෙවැනි හෝ තෙවැනි සේවක සංඛ්‍යාවක් ඇති රාජ්‍යය ආයතනය ද වේ. එහි සේවා අතිරික්ත පවා ඇති බව දෙපාර්තමේන්තුවේ බලධාරීහු සෑම දිනකම පාහේ පවසති. සුබසාධනය වෙනුවෙන් මේ ආයතන සඳහා සැලකිය යුතු මුදලක් වෙන්වෙයි. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් විවේකාගාරයක සිටිනා මකුණන් ඉවත් කිරීමට ඒ කිසිවකින් උදව්වක් නොලැබීම සැබවින්ම  හාස්‍යය උපදවන සුළුය.

මෙයට තෙවසරකට පමණ පෙර ඇඳන් මත මකුණන් සිටීම නිසා නින්ද නොයන බව පවසමින් දුම්රිය රියදුරෙක් දුම්රිය ධාවනයෙන් වැළකී සිටියේය. එහිදී ද දෙපාර්තමේන්තුව අදාළ රියදුරුට එරෙහිව පරීක්ෂණයක් සිදුකිරීම විනා එම සිදුවීම ගැන සොයා බැලුවේ නැත. එදා එම සිදුවීම සොයාබලා ක්‍රියාමාර්ග ගත්තේ නම් පසුගියදා මෙම සිදුවීම වාර්තාවීමට ඉඩ නොතිබිණි.

දුම්රිය සේවයේ වර්ජන විරෝධතා මෙන්ම ඇතැම් පසුබැසීම් ද සිදුවන්නේ පරිපාලනයේ කටයුතු නිසි ලෙස නොකිරීමෙන් බව ජනතාව චෝදනා කරති. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ ද දුම්රිය ප්‍රමාදවීමය. මේ සියලු සිදුවීම් තුලින්ම පීඩාවට පත්වන්නේ මහජනතාවය. මෙවැනි සුළු ප්‍රශ්නයක් විසඳීමට පවා කටයුතු නොයෙදීම තමන්ගේ කරපිටින් යැවීම ගැන දුම්රිය මගීහු දැඩි ලෙස කනස්සල්ල පළ කරති. මුදල් ගෙවා ලබාගන්නා සේවය මකුණන් නිසා අහිමිවීම පිළිගත නොහැකි කරුණක් බව ද ඔවුහු කියති. 

පසුගිය සෙනසුරාදා ඇති වූ මෙම සිදුවීම පිළිබඳව අපි දුම්රිය නියාමක සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළෙමු. 

දැනට අවුරුදු ගණනක ඉඳන්ම මෙම මකුණු කරදරය දුම්රිය නියාමකවරුන්ගේ රාජකාරි නේවාසික ස්ථානවල මෙන්ම දුම්රිය රියදුරන්ගේ විවේකාගාරවල දිගින් දිගටම පවතින දෙයක්. මේකෙදී අපි අවස්ථා ගණනකදී කිව්වා බෙහෙත් ගහන්න කියලා. එය දුම්රිය රියදුරු මහතුන්ගේ විවේකාගාර තුළ සිදුකළත් නියාමකවරුන්ගේ විවේකාගාරවල එය එලෙස සිදු වූයේ නැහැ. ඇත්තටම බෙහෙත් ගැහුවත් එය නිසි ආකාරයෙන් සිදු වී නැහැ. බෙහෙත් ගහලා සතියක් යන්න කලින් ආයේ මකුණන් එනවා. ඇත්තටම නියාමකවරුන්ට ලැබෙන වේලාවේ විවේකයක් ගන්න බැරුව තිබුණේ මෙම ප්‍රශ්නය නිසා. මෙය මරදාන විතරක් නෙවෙයි රඹුක්කන, මහනුවර, නාවලපිටිය, අනුරාධපුරය, අලුත්ගම යන සියලුම නවාතැන් බංගලාවල තියෙන ප්‍රශ්නයක්.

ඇත්තටම මේ මරදාන දුම්රිය විවේකාගාරවල ප්‍රශ්නය මතුවුණේ දෙපාර්තමේන්තුවෙන්. මකුණන්ට බෙහෙත් ගහනවා කිව්වත් එය සිදු නොකර කල් ඇද ඇද තිබීමේ තත්ත්වය නිසයි. ඉතිං අපේ සාමාජිකයන් වෘත්තීය සමිති නිලධාරින් හැටියට අපට දෝෂාරෝපණය එල්ලකරනවා. අන්තිම විසඳුමක් ලෙස තමයි අපි මෙහෙම එදා දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගත්තේ.

දැන් මෙහෙම පොඩි දේකටත් වර්ජනය කරන එක හරිද?? එමගින් ජනතාව නේද අපහසුතාවයට පත්වෙන්නේ?
ඇත්තටම මෙය ස්ට්‍රයික් එකකට යන්න ඕන කාරණාවක් නෙවෙයි. නමුත් මේක දැන් දෙපාර්තමේන්තුවට නිලධාරීන්ට කියලා කියලා කරන්නෙම නැත්තන් අපිට කරන්න වෙන කිසිවක් නැහැ. ඒ වෙලාවේ අපි නියාමකවරුන් වැඩකරන්නේ නැතිවෙනකොට දුම්රිය ප්‍රමාද වෙනකොට දෙපාර්තමේන්තුවේ ඉන්න බලධාරීන් ඉක්මනින් ඇවිත් ඒ වෙලාවෙම කටයුතු කරන්න පුළුවන්නම් ඇයි මේක වර්ජනයක් තරම් දේකට යනකම්ම හිටියේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී. පී. පී. ආරියරත්න

ඇත්තටම මෙම මකුණු උවදුර හැම දුම්රිය ස්ථානයකම තියනවා. නමුත් අපි ඒ සියලු මකුණන් ඉන්න ස්ථානවලට බෙහෙත් ගහනවා. මීට කලින් අපි බෙහෙත් ගහලා ඒ දුම්රියවල සේවය කරන නියාමකවරුන්ගේ, රියදුරන්ගේ නිල නිවාස වසා තැබුවේ නැහැ ඔවුනට ඉන්න ස්ථාන නැති නිසා. නමුත් අපි දැන් ඒ අයට ඉන්න තාවකාලික නැවතුම් ස්ථාන සකස්කරලා ඒ මකුණන් ඉන්න නේවාසිකාගාරවලට බෙහෙත් ගහලා වසා තබා තියෙන්නේ. මේ අයට අවශ්‍ය සියලු පහසුකම් ඉදිරියේදී ලබාදෙන්න අපි කටයුතු කරනවා.

ඒ සියලු කාරණා අනුව බලනවිට අපට පෙනෙන්නේ මකුණන් විසින් දුම්රිය ප්‍රමාදකළ ලොව පළමු අවස්ථාව මෙය විය යුතු බවයි. මෙවැනි ආයතන කාර්යක්ෂම මහජන සේවාවක් කරන්නේ කොහොමද යන්න මගී ජනතාව සිතනු බව නොඅනුමානය. ඇතැම් නිලධාරීන් නිසි කලට වේලාවට සිදුකළ යුතු වැඩ අතපසු කිරීම මගින් වෙනදා මෙන්ම බැටකන්නේ මහජනතාවමය. 

♦ හසිත් අංජන