2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

කරක්ගෙඩි අරං වැවට බැහැලා මුළුමස් ඇල්ලූ ඇන්.ඇම්.

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 886

පුරාණ හත් කෝරළයේ වැව් ගම්මානවල ඇත්තන්ගේ ජනසම්මත සිරිත් - විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, ඇවතුම් - පැවතුම්, කල්කිරියාවෙන් එව්වා මෙව්වා ගැන අද ඉන්න ඇත්තන්ට තියෙන්නේ ඇබිත්තක් වෙච්ච දැනුම් තේරුමක්නේ. ඇයි ඉතිං මෙව්වා පතක පොතක ලියැවිලා තියෙනවාත් අඩුයිනේ. ඔව්වා මෙව්වා හින්දා පුරාණ වැව් ගම්මානවල ඇත්තන්ගේ වගතුග, අරවා - මේවා ගැන දන්නා කියන ඇත්තකු ගැන විපරම් කොරන්ඩ කල් ගත්තේ බොහෝම කාලයකට ඉස්සර ඉඳලා. ඔය අල්ලපනල්ලේ තමයි කන්තෝරුව ගමේ ගම්මුලාදෑනී ඇත්තෝ වෙච්ච අපේ බන්දුල නවරත්න මලයා වැව් ගම්මානවල පුරාණ කයිකතන්දර දන්නා කියන ඇත්තකු ගැන හෝඩුවාවක් දුන්නේ.

බන්දුල නවරත්න මලයා දුන්නු අයිරුව ඔස්සේ මම ඇහැටුවැව, දිවුල්ග‍නේ ගම්මානෙට අඩි තැබුවේ ඒ ඇත්තෝ හොයාගෙන. මඟදි මුලිච්චි වෙච්ච කීප දෙනෙකුගෙන් (අප්පු මාමා) ගේ ගේ තියෙන ඉසව්ව ගැන විපරම් කරලා ඇහුවා. දිවුල්ගනේ වෑ කන්ද පාමුල උන්දෑ පැලපදියම් වෙලා ඉන්න විත්තිය ටක්කෙටම දැනගෙන මම ඒ ගෙට ගොඩවුණා. (අප්පු මාම) කීවත් මුන්දැගේ හරි නම ඇන්.ඇම්.අප්පුහාමි. උන්දෑ දැන් තලතුනා වයසේ ඉන්නේ. ඕං මං අද ගමේ ඇත්තන්ගේ රස කතා අහන්ඩ උන්දෑ තමයි එකතුපහදු කරගත්තේ.

උන්දෑ එක්කලා හාවටහූවට යන්ඩ කලින් මේ වැව් ගම්මාන ගැන ඩිංගිත්තක් ලියන්ඩ ඕන කියලා හිතුණා. මීට අවුරුදු සීයකට හමාරකට ඉස්සර හත් කෝරළයේ ඇත්තන් වැව් ආස්සරය කොරගෙන තමයි ගම්මාන හදාගෙන තිබුණේ. එක පොදියට ගෙවල් හදා තිබුණ නිසා ඒකට ගම්මණ්ඩිය කියලා කීවා. වැව පාමුල වෙල් යාය. වෙල් යාය පැත්තකින් ගම්මණ්ඩිය. ඒ වාගේ ගම්මණ්ඩි දෙක තුනක් එක ගමකට තිබිලා තියෙනවා. ගම්මැද්දේ උස බිමක පන්සල වැව් ඉහත්තෑවේ ටිකක් ඈත දුරින් හේන් යාය. ඕක තමයි පුරාණ වැව් ගම්මානවල සොබාව.

වෙල් යායේ, හේන් යායේ, වැවේ, සංහිඳේ ආවාසේ, තිස් බඹයේ, මහා කාලයේ මේ කොයිවායේත් කටයුතු කරද්දි එව්වා ආවාට ගියාට කරන්නේ නෑ. පෙරහුරෙන්, කළහුරෙන්, ඇතිහුරෙන් දැනුම් තේරුම් ඇති ඇත්තන්ගේ ඇල්ම බැල්ම මත, වෙල් විදානේහරි මහ ගමරාළ හරි මුල් වීම මත, පුරාණ ජන සම්ම්‍තයට අනුව ඒ කටයුතු සිද්ධ වෙන්ඩ ඕන.  වැව් ගම්මානවල හිතුවක්කාර ලෙස වැඩ සිද්ධ කරන්ඩ ගියොත් තහංචි වැටෙනවා.

පුරාණ වැව් ගම්මානවල පැවති මේ සමාජ සම්මත, සිරිත් විරිත්, චාරිත්තර වාරිත්තර, ගම්වල ඇත්තන්ගේ කල්කිරියාවන්ගෙන් ඇබිත්තක් අපි දැන් අප්පුහාමි මහතාගෙන් අසා දැනගමු.

“පුරාණ ගම්වල මුළුමස් ඇල්ලීම කියලා කාරියක් කරලා තියෙනවානේ. මොකද්ද මේ මුළුමස් ඇල්ලීම කියන්නේ” මම අප්පුහාමි මහතාගෙන් ඇසුවෙමි.

නිකිණි මහ එනකොට වැව්වල වතුර හොඳටම අඩු වෙනවා. වෑ කණ්ඩිය කිට්ටුවට වෙන්ඩ වතුර ටිකක් ඉතිරි වෙනවා. ඔය වතුරට වැවේ හිටපු ලූලෝ, පෙතියෝ, හිරිකණයි, ආඳෝ, වලයෝ, තෙලියෝ, ආරෝ, හුංගෝ, මඟුරෝ, අංගුට්ටෝ, දණ්ඩීන් වාගේ මාළු එකතු වෙනවා. මෙහෙම වුණාම හිතුමතේට වැවේ මාළු අල්ලන්න බෑ. වෙල් විදානේ “අණ බෝල” බැඳලා වැවේ මාළු ඇල්ලීම තහංචි කරනවා. යලේ කුඹුරු වැඩ කරලා තියෙනවනම් ගොයම් පැහිලා කොළදීන් වැඩ ඉවරවෙනකම් ඉන්නවා මුළුමස් අල්ලන්න. එතකම් වෙල් විදානේ රෑට රෑට වැව රකිනවා. රෑට හොරෙන් මාළු අල්ලයි කියලා තමයි එහෙම කරන්නෙ. කොළදින් වැඩ ඉවර වුණාම අහවල් දවසේ මුළුමස් අල්ලනවා කියලා ගම්මුන්ට පණිවිඩය දෙනවා. ඒක තමයි අපේ ගම්වල තිබුණ සිරිත.

“මුළුමස් අල්ලන්න නියමිත දවසේ ගමේ හැමෝම වෑකන්දට හරි වැව් පිටියට හරි එකතු වෙනවා. ඒ එනකොට වැඩිහිටි, තරුණ හැමකෙනාම කරක්ගෙඩියක් ගේනවා. වැවට බහින්ඩ කලින් වෙල් විදානේ ඇතුළු හැමෝම කෙළ අතු කඩලා සංහිඳේ හරි ගසක හරි එල්ලා දෙවි දේවතාවන්ගෙන් පිහිට ආරක්ෂාව හා අවසරය ඉල්ලා වඳිනවා. වෙල් විදානේනම් යාතිකාවකුත් කරනවා. වැවට බහින්නේ ඊට පස්සේ. 

කරක්ගෙඩි ගත්තු අය වැවට බැහැලා පේළියට ඉන්නවා. කෙනෙක් දෑත දික්කළාට දෙපැත්තේ ඉන්න අයගේ දෑත ගෑවෙන නොගෑවෙන තරමට තමයි මේ පෙළ හැදෙන්නේ. ඊට පස්සේ ඉතිං කරක්ගෙඩි දියේ ඔබනවා. ඒක කරන්නෙත් එක සැරයක් වමටත්, ඊළඟ සැරේ දකුණටත් වශයෙන් කරක්ගෙඩිය ගහනවා. කවුරැත් ඉස්සර වෙන්නෙවත්, පස්සට වෙන්නෙවත් නෑ. පේළියට කරක් ගහමින් ගිහින් එක තැනකට මාළු කොටු කරනවා. කරකෙට අහුවෙන මාළු ඉෙන් ගැටගහගෙන යන වැල් පොටේ අමුණා ගන්නවා. මාළු වැල පිරුණට පස්සේ ගොඩ ඉන්න කොලුවෝ (කුඩා ළමයි) ඇවිත් ඒක අරන් යනවා”

“උදේ දහයට - දහය හමාරට වැවට බැස්සොත් පැය තුන - හතරක් මාළු අල්ලනවා. අපේ පැත්තේ නම් කළේ එක එක්කෙනා අල්ලපු මාළු සම සමව ගොඩවල් දෙකකට බෙදීම. මේක ගැන්නේ වෙල් විදානේ. මාළු අල්ලපු කෙනාට එක ‍ගොඩක් දෙනවා. ඒ ගන්න කොටහ එකතු කරලා කුඹුරු ලැයිස්තුව අරන් එක එක්කෙනාට තියෙන කුඹුරු ප්‍රමාණය අනුව පංගු කරනවා. කුඹුරු ප්‍රමාණය වැඩිනම් මාළුත් වැඩියි.”

“හැබැයි කුඹුරු හිමියන්ට මාළු පංගු කරන්න කලින් ගමේ පන්සලට වෙදරාළට, වින්නඹු අම්මට, කනවැද්දුම් කාන්තාවන්ට, තේවා තොවිල් කරන අයට, ගුරුවරුන් ඉන්නවා නම් ඒ අයටත් මාළු වෙන් කරලා කවුරුහරි අතේ යවනවා.

“මාළු අල්ලලා ඉවර වුණාම ආයි අණ බෝලේ බඳිනවා. එතැනින් පස්සේ කිසිම හේතුවකට වැවේ මාළු අල්ලන්ඩ බෑ. වතුර අඩු නිසා මාළු අල්ලන්ඩ වැවට බැස්සොත් වැව බොර වෙනවා. අපිරිසිදු වෙනවා. මිනිස්සුන්ට දිය නාගන්ඩ තැනක් නැතිව යනවා. මේ නිසා තමයි අණ බෝලේ බඳින්නේනේ”

(අණ බෝලය) යනු විධානය කිරීමේ සංකේතයකි. අණ බෝලය බැඳීම සඳහා රිටක් ලෙස ගොබුවක් (නොමේරු දණ්ඩක්) කපාගෙන එහි මුල් කෙළවර උල් කොට අග කෙළවරේ අග්ගිස්සට බෝල්පානා හෝ කොහොඹ හෝ කඳුරු ගස්වල අතු ගෙන එය මිටියක් ලෙස බැඳ වැවේ සිටුවීම බව දැන ගැනීමට ලැබිණ. මෙවැනි තහංචියක් පනවන්නේ ගම්කරයේ ඇත්තන්ගේ මතු ප්‍රයෝජනයට වැව් දිය ටික ආරක්ෂා කර ගැනීමටය. වැවේ වතුර බොහෝ සෙයින් සිඳී ඇත්නම් අණ බෝල බැඳීමක් සිදු නොවන බව ද අප්පුහාමි මහතා කීය.

මුළු මාළු ඇල්ලීමට වැවට බසින ගැමියන්ට නොයෙකුත් අසක්කු (කරදර, හිරිහැර) වලට ද මුහුණ දීමට සිදුවන බව ද අප්පුහාමි මහතා කීය.

“කරක්ගෙඩි වතුරේ ඔබ ඔබා යනකොට හුංගෝ අනිනවා. හුංගෝ ඇන්නම පුදුම කැක්කුමක් තියෙන්නේ. දියබරි හපනවා. ආඳොත් හපනවා. හැබැයි උන් හැපුවට විෂ හරි කැක්කුම හරි එන්නෙ නෑ. හුංගෝ ඇන්නම පොඩි කෙමක් කරනවා. වතුරෙන් ගොඩට ඇවිත් ඔලිඳ ඇටයක් කටින් හපලා ලේ එන මුඛයට (තුවාලයට) තිබ්බම හරි. එහෙම නැත්නම් බුලත් තට්ටුවේ ඉතිරිවෙන කුඩු කබල් කටුවකට දාලා අගුරු දමා රත් කරනකොට එන දුම අල්ලනවා.

“මාමාත් මාළු අල්ලන්න ගිහිං තියෙනවද?” යි මම ඔහුගෙන් ඇසුවෙමි.

“එහෙනම්. මම මුලින්ම කරක් ගෙඩියක් බැන්දේ මට වයස අවුරුදු දොළහෙදි. ඒ කියන්නේ 1957 අවුරුද්දේ විතර. ඇද නැති කූරටියා කෝටු 80 – 90ක් විතර කපාගෙන ඇවිත් ඒවා දික් අතට තියලා කූඩයක් වාගේ වෙන්න මයිල පට්ටවලින් බැඳ ගන්නවා. ඒකේ පතුල පැත්ත විශාල වෙන්ඩ බැඳගන්ඩ ඕන. මුදුන අපේ අතක් දාන්ඩ පුළුවන් තරමට හදාගන්ඩ ඕන. මේ කරක් ගෙඩියක් අවුරුදු තුන - හතරක් ප්‍රයෝජනයට ගන්ඩ පුළුවන්. 

“අපි ඒ කාලේ දිවුල්ගනේ වැවේ විතරක් නෙමෙයි මේ පළාතේ තියෙන දලුපොතගම, ඉහළ ආචාරියාගම, ඉහළ දිවුල්ගනේ, තණහේන, විකාදෙණිගම වාගේ වැව්වලත් මුළුමාළු අල්ලන්න ගියා. ඒ ගම්වල හිටිය විදානේලාගේ අනුදැනුම මත තමයි පිට වැව්වල මාළු අල්ලන්නෙත්. අල්ලන මාළු වලින් පංගුවක් කුඹුරු අයිතිකාරයන්ට දෙන්ඩ ඕන. ඉතිරි පංගුව තමයි අපට”

“මාම ඒ කාලේ  කුළු හරක් අල්ලලා තියෙන විත්තිය දැනගන්ඩ ලැබුණා. ඒ ගැනත් විස්තරයක් කරමුද?” යි මම යෝජනා කළෙමි.

 “කුළු හරක් අල්ලන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි පයට මදු තැබීම. ඒ මන්දට කියන්නේ වර මන්ද කියලා. මේ වරමන්ද හදන්න ගන්නේ ගෝණ හම් හෝ මුව හම්. අපි නම් ගත්තේ ගෑනු මුව හම්. ඒ ගෑනු සතුන්ගේ තෙල් අඩු නිසා. ඒ හම් හොඳට පදම් කරලා වෙලි අඹරලා කඹයක් වගේ හදාගන්නවා. බඹ හතේ, බඹ දොළහේ දිග වර මදු තියෙනවා. ඒකේ එක කොනක (කෙළවරක) සවන (කකුලට හිරවෙන මන්ද) හදනවා.”

“ඒ කාලේ මේ පළාතේ කුළු හරක් හරියට හිටියා. අපි කරන්නේ අපේ පට්ටිවල ඉන්න හොඳ හය් හත්තිය තියෙන හීලෑ හරකෙක් අරන් කුළුහරක් ඉන්න ඉසව්වට යනවා. කුළු හරක් අල්ලන්නට පුරැදු කරපු හරක් හිටියා. දඩ මීමා කියලා තමයි උන්ට කීවේ. වරමන්ද අතට අරන් දඩමීමාට මුවා වෙලා කුළු හරකා ඉන්න පැත්තට හෙමිහිට යනවා. දඩයා (දඩ මීමා) අඩි තියෙන ගණනට අඩි තියමින් හෙමින් සීරුවේ කුලාට කිට්ටු කරනවා. දඩයත් ගාණක් නැතිව කුලා ළඟට යනවා. අත දිග ඇරලා මන්ද දාන්න ළං වුණාම කුලා කකුල උස්සනකොටම කුකලට මන්ද දානවා. මන්ද කකුලට වැටුණු ගමන්ම (මද පූට්ටු කරන මන්තරය) මතුරනවා.”

“මන්ද වැටුණ ගමන්ම කුලා දුවන්න පටන් ගන්නවා. වර මන්දේ එක කෙළවරක් තියෙන්නේ ගෝණ අඟනේ. මේක කෙක්කක් වාගෙනේ. මේ ගෝණ අඟ ගස් ගස්වල බැඳෙනවා. කුලා දුවන වේගයට ගෝණ අඟ පැවලෙන ගස් ගැලවිලා යනවා. සැතපුමක් දෙකක් කුලා මෙහෙම දුවනවා. ගෝණ අඟ පැටලෙන ගස් ගලවාගෙන දුවනකොට ඌගේ හයි හත්තිය බිඳෙනවා. එහෙම වුණාම ඌ වරමන්ද පැටලුණ තැන නවතිනවා.

♦ සටහන හා පින්තූර - ගල්ගමුව නිහාල් ජයවීර