2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

තාරුණ්‍යයේ කොන්ඩම් ගැලවීම

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

ස්පාටකස්

කාමරයට වැදී දොරත් අගුලා දාගෙන අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී කොහේදෝ සිට පැමිණි වචන ටිකක් කන්බෙරේ වැදුණේ කර කර හිටපු වැඩෙත් ටිකකට නතර කරවමිනුයි.  ඒ වචන ටික ඇදී එන්නේ රූපවාහිනියෙන් බව තේරුම්ගන්න වැඩිවෙලාවක් ගතවුණේ නෑ. 

“අපේ රටේ තරුණ පරම්පරාවට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා “කොමියුනිකේෂන් අවුල”. රූපවාහිනියට ඇවිත් ඉන්න පොරක් කියනවා. ටීවි එක ඇතුළට වෙලා පාළු ගෙයි වළං බිඳින හාදයෝ ඕන තරම් නෙ. ඒත් මේ මනුස්සයා කියන කාරණා ටික අහන් ඉන්න හිතෙනවා.. 

“තමන්ගෙ හිතේ තියෙන අදහස් අනිත් කෙනාට හරියට සන්නිවේදනය කරන්න බැරි එක ඇත්තටම ලොකු අවුලක්. උදාහරණෙකට තමන් කවුරුහරි ගෑනු ළමයෙක් ආශ්‍රය කරන්න කැමැති නම් ඒක ගෑනු ළමයට සන්නිවේදනය කරන විදිහ ගැන අපේ පිරිමි ළමයින්ට අවබෝධයක් නෑ. යුරෝපෙ රටකදි නම් ‘අපි කෝපි කොප්පයක් බොමුද’ කියල අහල දෙන්නා එකිනෙකාව අඳුනගෙන දෙවැනි තුන්වෙනි දවසෙ එකට නිදාගන්නත් යනවා. හැබැයි අපේ රටේ කොල්ලො කෝපි බොමුද කියල අහන එක වෙනුවට කෙල්ලක්ව දැක්කම කරන්නෙ ඇස් ගහන එකයි විසිල් කරන එකයි”. 

බැලූ බැල්මට වයස අවුරුදු හතළිහත් ඉක්මවපු මේ මනුස්සයා කියන කාරණා ටික ඇත්තය. ආදරය වගේම ලිංගිකත්වය ගැනත් අපේ තරුණ පරම්පරාව ඉන්නේ දරුණු කුහක වටපිටාවක ය. ප්‍රකෘතියට ඉඩදීම පාපයක්යැයි හිතන්නට අනුබල දෙන සමාජයකය. 

සංස්කෘතිය ගැන සදාචාරය ගැන පඬි වදන් දෙන්නවුන්ට උඩරට විවාහ ක්‍රමය යටතේ අපේ ආච්චිලා සීයලා එකගෙයි දීග කෑවා අමතක විය නොහැක. නමුත් මධ්‍යතන යුගයේ තිබූ වර්තමානයේ යල් පැන ගිය වික්ටෝරියානු සංස්කෘතියක් අපේ සංස්කෘතිය යැයි කියාගනිමින් අපි ගමන් ගන්නේ ඉස්සරහට ද පස්සට ද යන්න නැවතත් සිතා බැලිය යුතුම ය.  
ගූගල්වලින් සෙක්ස් සොයා ගොස් කප් ගැසූ අපි ගැන සිතිය යුත්තේ අපිම ය. වැඩිහිටි පරම්පරාව තරුණ පරම්පරාව හරිගැස්සිය යුතුය වැනි කතා කීම විහිළුවකි. තරුණ කෙල්ලන් කොල්ලන්ට ඇති ප්‍රශ්නය අල ගිය මුල ගිය තැන්වලින්ම අල්ලා විසඳා ගත යුත්තේ කෝපි කාලේ වැඩිහිටියන් නොව මොඩර්න් කෙල්ලන් සහ කොල්ලන්ම ය. මේ ‘කොමියුනිකේෂන් අවුල’ ලිහා ගැනීම එහි පටන්ගැන්ම වනු ඇත.