2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

රෝහල් පිරෙන කාලයක්!

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු තමාට මිත්‍ර රාශි භවනක් වූ සිංහ රාශියට 2017 අගෝස්තු 27 වන ඉරු දින (අද) උදේ අට පසුවී විනාඩි තිහට පිවිසේ. මෙසේ පිවිසෙන අඟහරු කේතුට අයත් මා නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් පුවපල් නැකතේ සම්පූර්ණවත් හා රවිට අයත් උත්‍රපල් නැකතේ ප්‍රථම පාදයෙන් 2017 ඔක්තෝබර් 10 වන කිවි දින සවස හතර පසුවී විනාඩි හය දක්වාම ගමන් කරනු ඇත.

 

අපේ රටේ මහජනයා අවේගයෙන් යුක්තව ක්‍රියා කිරීම නිසා රට තුළ අපරාධ බහුලව සිදුවන්නාවූත් කාලයක් වෙයි. එම අපරාධකරුවන්ට මෙන්ම රටේ විවිධ අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් ද මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන පුද්ගලයන් ද නීතියේ රැහැනට හසුකර ගැනීම මෙම කාලයේදී සිදුවේ. ආරක්ෂක අංශයේ ක්‍රියාවලට මහජන ගෞරවය හිමි වන අතර මූල්‍ය ආයතනවලට අශුභ වන බැවින් එම ආයතන ගිනි ගැනීමක් හෝ සතුරු උපද්‍රවයන්ට ලක්වනු ඇත.

ජාතික ආදායම් තත්ත්වය පහළ වැටෙන අතර මහජනයාට අධික වියදම් යෙදෙන්නාවූත් වකවානුවකි. සෞඛ්‍ය පිරිහීමකට පත්වීම් තුළින් රෝගීන්ගෙන් ආරෝග්‍යශාලා පිරී යනු ඇත. මෙය මහජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් රජයට වැඩි වියදමක් දැරීමට සිදුවන්නාවූත් කාලයකි.

මේෂ - ශරීර පීඩා

ඔබට එතරම් යහපත් නොවන අතර හදිසි ශරීර පීඩා ඇතිවිය හැක. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට නතු වනු ඇත. භූමියෙන් සම්පත් ලැබීමට ඇති අතර වාහන ගනුදෙනුවක් සිදුකිරීමට යහපත් වේ.

වෘෂභ - රැකියාවෙන් ඉහළට

උරුම හිමිකම් ලැබීමට යහපත් කාලයක් වේ. රැකියාවේ උසස්වීම් අපේක්ෂාවෙන් සිටියේ නම් තම බලාපොරොත්තු ඉටු කරගත හැකි වනු ඇත. තරමක ආවේගශීලී ගතියෙන් කටයුතු සිදුකරන වකවානුවක් නිසා ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ.

මිථුන - සතුරන් පසුබසී

කාර්මික අංශයේ රැකියාවන්හි නිරත වී සිටින අයට යහපත් වනු ඇත. ඔබට එරෙහිව පැවති සතුරු බලවේග වර්ධනය කරගත හැකි වනු ඇත. නිර්මාණශීලීවූත් අදහස් ජනිත වන්නාවූත් වකවානුවක් බැවින් අලුත් දෙයක් ඉටුකරගැනීමට හැකියාව ලැබේ.

කටක - ලිංගික ආකර්ෂණය

තම තැන්පත් ධනය වර්ධනය කරගැනීමට උත්සුක වන කාලයකි. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වනු ඇත. ඔබගේ හිතමිතුරන් නිසා යම් යම් අපහසුතාවලට ලක්වනු ඇත. රැකියාවේ වෙනසක්, ස්ථාන මාරුවක් අපේක්ෂා කළ අයට ද යහපත් වනු ඇත.

සිංහ - හිසේ අසනීප

තමා ප්‍රධානියා යන හැඟීමෙන් කටයුතු කිරීම නිසා හිතවතුන් තමා සමඟ සිත් අමනාපකම් ඇති කරගනු ඇත. උරුම හිමිකම් ලබාගත හැකි වනු ඇත. පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවනු ඇත. හිසේ පීඩා ගති මතුවනු ඇත.

කන්‍යා - නොබියව ඉදිරියට

ඔබට එරෙහි සතුරු උපද්‍රව මගහරවා ගතහැකි වනු ඇත. කාර්මික කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. යම් යම් කටයුතුවලට නොබියව ඉදිරිපත් වේ. අසත්‍ය තොරතුරැ හේතුවෙන් සිත කනස්සල්ලට ලක්වනු ඇත.

තුලා - ධනය වැඩිවේ

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් වන අතර තම ධනය වර්ධනය කරගත හැකිවනු ඇත. තම දේ රැකගෙන කටයුතු කිරීමට උත්සාහ දරන්නාවූ වකවානුවකි. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය තමා වෙත යොමුවනු ඇත.

වෘෂ්චික - ගැටලු ලිහේ

ඔබගේ රැකියාවේ පැවති ගැටලු රැසක් මඟහරවා ගතහැකි වනු ඇත. තම මතයට අනුව වැඩකටයුතු ක්‍රියාවට නංවනු ඇත. උරුම හිමිකම් ලබාගත හැකි වකවානුවක්වේ.

ධනු - කේන්ති ගති

නව දේපලක් මිලදී ගැනීමට යහපත් වන්නාවූ කාලවකවානුවක් වනු ඇත. හදිසි කේන්ති ගති ඇති වනු ඇත. අසත්‍ය චෝදනා හේතුවෙන් සිත් කැලඹීමක් ඇතිවේ. වැඩිපුර තමා ගැන සිතා කටයුතු කිරීමට පෙළඹෙන නිසා හිතමිතුරන් තමා සමඟ සිත් අමනාපකම් ඇති කරගනු ඇත.

මකර - තම දේ රැකගනී

ඔබගේ කටයුතුවලට යම් යම් බාධා ඇති විය හැක. හිත මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවේ. විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන්නාවූත් වකවානුවකි. තම දේ රැකගෙන කටයුතු කිරීමට පෙළඹෙන සමාජයක් වේ. හදිසි ශරීර පීඩා ඇති විය හැකි නිසා පරිස්සම් වන්න.

කුම්භ - ව්‍යාපාර ලාභ

හවුල් හා ව්‍යාපාරික කටයුතුවලින් ලාබ ප්‍රයෝජන අත් නොවන්නාවූත් වකවානුවක් වේ. තම දේ රැකගැනීමට උත්සාහ දරන කාලයකි. මෙම වකවානුව තුළ ලියවිලිවලට අත්සන් තැබීමේදී කල්පනාකාරී වීම වැදගත් වේ.

මීන - සතුරන් හෙළිවේ

තමා සතු යම්කිසි දෙයක් නැතිවී ඇත්නම් එම දේ කෙසේ හෝ ලබාගැනීමට උත්සාහ දරන්නාවූත් කාලවකවානුවක් වේ. ඔබට එරෙහි සතුරුකරදර හෙලි කරගැනීමට ද හැකියාව ලැබෙනු ඇත. උදරය ආශ්‍රිත පීඩාවක් උපදී.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ  පර් යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල