2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

සංවාදයක් නැතුව සාහිත්‍යය හැදෙන්නෙ නැහැ

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 325

මෙවර ස්වර්ණ පුස්තක අවසාන වටයට තේරුණු හඳ පලුව - තනි තරුව ලියූ නිශ්ශංක විජේමාන්න මහියංගනය තම ගම් පියසේ මුස්ලිම් ජනතාව හා සබැඳි අත්දැකීම් එම කෘතියට පාදක කරගෙන තිබේ. නිශ්ශංකගේ තාරා මගේ දෙව්දුව නවකතාව ද මෙයට පෙර ස්වර්ණ පුස්තක ප්‍රශස්ත කෘතියත් ලෙස ඇගැයීමට ලක් කෙරිණි. සම්මානනීය කෙටිකතා රචකයෙකු ද වන නිශ්ශංක තම සාහිත්‍ය අත්දැකීම් දේශය සමඟ බෙදාගත්තේ මෙලෙසිනි.

මෙවර ස්වර්ණ පුස්තක ප්‍රශස්ත කෘති අතරට ඔබේ නවකතාව තේරී තිබෙනවා. 

ඔව්. එය මුලින්ම ප්‍රශස්ත කෘති 12 අතරට තේරී දැන් අවසාන වටයට පැමිණ තිබෙනවා. ඒ ගැන සතුටුයි.

සමහර සතුවරුන් විනිශ්චය මණ්ඩලවල තීරණ විවේචනය කිරීම අද සුලබව දක්නට ලැබෙනවා.

කතුවරයාගේ කාර්යය විය යුත්තේ විනිශ්චයන් විවේචනය කිරීම නොවේ. හොඳ නිර්මාණ බිහි කිරීමට උත්සාහ කිරීමයි. ස්වර්ණ පුස්තකවලින් කතුවරුන්ට විශාල දිරිගැන්වීමක් ලැබෙනවා. ඒ ගැන ප්‍රකාශකයන්ගේ සංගමයට අප ස්තූතිවන්ත විය යුතුයි. නමුත් මෙහිදී ජයග්‍රාහක ප්‍රශස්ත කෘතිවල කතුවරුන්ට කර්තෘ භාගය ගෙවීමේදී යම්කිසි වෙනසක් කරනවානම් වඩාත් යහපත් බව මා පවසනවා. මෙය කතුවරැන්ට තවත් දිරිගැන්වීමක් වේවි.

හඳ පලුව - තනි තරුව සිංහල මුස්ලිම් ප්‍රේමයක් සහ සහජීවනය පසුබිම් කරගත් නවකතාවක්. එයට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේද?

පොත කියවූ පාඨකයන් අන්තර්ජාලයේ මූණු පොත හරහා විශාල වශයෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබුණා. විචාරකයන් පුවත්පත් හරහා තම අදහස් දක්වා තිබුණා.

ඇත්තටම මෙහෙම වෙනස් තේමාවක් පාදක කර ගත්තේ එය මාකට් කිරීමට නොවේ. එවැනි මාකට් කිරීමක් අවශ්‍ය වුණානම් වෙනස් ආකාරයකට කතාව ලියන්න තිබුණනේ. මට කියන්න අවශ්‍ය වුණේ අප තුළ සැබෑ ආදරය පැන නැගීමට කෙතරම් මහන්සි විය යුතු ද යන්නයි.

බොහෝ නිර්මාණකරුවෝ සිංහල දෙමළ ප්‍රේමය වස්තු විෂය කර ගත්තත් මුස්ලිම් ප්‍රේමය පාදක වූ අවස්ථා අඩුයි නේද?

ඔව්. ලාංකික අවකාශය තුළ දෙමළ සහ සිංහල අතර ඥාති සම්බන්ධකම් පවා තිබෙනවා. නමුත් මුස්ලිම්වරු සමඟ ආවාහ විවාහ - මිතුරු හමු වගේ දේවල් අඩුයි. ඒ නිසා මුස්ලිම් සමාජය නිරූපණය අපේ නිර්මාණකරුවන්ගෙන් ඈත්ව යන්න ඇති.

ඔබේ නවකතාව කියවූ මුස්ලිම්වරුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කෙසේද?

සිංහල කියවන මුස්ලිම් අය රාශියක් පොත කියවා තිබුණා. ඔවුන් ටෙලිෆෝන් කර මට ප්‍රශංසා කළා. පොත ගැන තම සතුට පළ කළා. ඔවුන් මගෙන් කුරාණය කියවා තිබෙනවාද, දෙමළ දන්නවාද වගේ ප්‍රශ්නත් අහනවා. පරණ බඩු සාප්පුවක මුස්ලිම් මුදලාලි කෙනෙක් මාව අඳුරගෙන ගොඩක් සතුටු වෙලා එහි කැමති ඕනෑම දෙයක් අරගෙන යන්න කියලා කිව්වා.

ඔබ මේ කෘතිය ලිවීමට මුස්ලිම් ආගම අධ්‍යයනය කළ බව පේනවා.

ඔව්. මම මුස්ලිම් අයගෙන් ආගම ඉගෙන ගත්තා. අල් කුරාණය සම්පූර්ණයෙන් කියෙව්වා.

සම්මාන ලැබෙන්නේ එකම ලේඛකයන් පිරිසකට කියලා මතයක් සමාජයේ තිබෙනවා.

හොඳ ලේඛකයෙක් විදිහට ප්‍රතිෂ්ඨාපනය වූ විට ඔහු මඟහැරීමට කිසිම අවකාශයකට අසීරුයි. එක දිගට අවුරුදු 15-20ක් ලියපු ලේඛකයෙක් ගැන මේ රටේ සාහිත්‍ය සමාජයේ හැමෝම දන්නවා. නමුත් ඒ අතරින් මඟහැරෙන අය ගැනත් කතාබහක් ඇතිවිය යුතුයි.

දැන් රටේ සාහිත්‍ය සංවාදයක් නැහැ නේද?

පුළුල් සංවාදයක් නැති වුණත් පුංචි පුංචි උත්සාහයන් දකින්න පුළුවන්. අපි ඌව කවය කියලා සංවිධානයක් පිහිටුවාගෙන එක්රැස්වී සාහිත්‍ය කෘති ගැන කතාබහ කරනවා. දරුණු විවේචන පවා එහිදී එල්ල කරනවා. එවැනි සංවාද ඉතා රසවත්.

ඔබ මුලින්ම කෙටිකතාකරුවෙක් ලෙස නේද සමාජය හඳුනාගත්තේ? දැන් කෙටිකතාව අමතක වෙලාද?

මට ඒ චෝදනාව සමහරු එල්ල කරනවා. කෙටිකතාව අමතක වෙලා ද කියලා අහනවා. ඔබේ කෙටිකතාව තමයි අපි බලන්නෙ කියලා ඔවුන් කියනවා. ඇත්තටම මම එහෙම කෙටිකතාව අමතක කරලා නැහැ. නවකතාව, කෙටිකතාව, ගීත වගේ හැම නිර්මාණ ක්ෂේත්‍රයකම මම නිරත වෙනවා. ඊට අමතරව චිත්‍ර හා මූර්ති නිර්මාණය කරනවා. මේ නිසා කෙටිකතාවට පමණක් සීමාවෙලා නැහැ. ඉදිරියේදී කෙටිකතා පොතක් පළ කිරීමට සූදානම් වෙනවා. නමුත් තියන ප්‍රශ්නය මට නවකතා ලිවීම ලේසියි. කෙටිකතා ලිවීම හරියට අමාරුයි. ඒක දුෂ්කර ව්‍යායාමයක්. මුවා මැරූ සලමන් කෙටි කතා පොත 20 පාරක් පමණ සංශෝධනය කරමින් ලිව්වා.

කෙටිකතාව ගැන සාහිත්‍ය සමාජයේ හඬක් නොනැගෙන බවයි පේන්නේ?

ඔව්. ඒක සංවේගජනකයි. කවිය ගැනනම් යම්කිසි හඬක් නැගෙනවා. ප්‍රබෝධයක් මතු වී තිබෙනවා. කවි පොත් බහුලව පළවෙනවා. රජත පුස්තක වගේ සම්මාන සමඟ හෝ කෙටිකතාව ගැන කතිකාව මතුවෙනවානම් ඒක හොඳ ප්‍රවණතාවයක්.

ඔබ දකින විදිහට වර්තමාන නිර්මාණ සාහිත්‍යයේ වර්ධනයක් දක්නට ලැබෙනවාද?

ඔව්. කියවීම වර්ධනය වී තිබෙන බව පේනවා. දැන් විශාල අත්හදාබැලීම්වලට නවකතා ලියන ලේඛකයන් පෙළඹී සිටිනවා. වස්තු විෂය, ආකෘතිය, වෙනස් කරමින් ලියනවා. යම්කිසි දැක්මක් සහිතව ලියන බව පේනවා. නවකතාකරුවා පර්යේෂණාත්මක වී තිබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. තමන් ලියන කරුණු ගැන අධ්‍යයනය කර ලිවීමට පෙළඹී තිබෙනවා. 

ඔබට ගුරුවරයෙක් වශයෙන් අත්දැකීම් තිබෙනවා. අද ගුරුවරු හා ශිෂ්‍යයන් අතර කියවීම කෙසේද?

ඇත්තටම කණගාටුයි. ගුරුවරු පවා කියවන්නේ හරිම අඩුවෙන්. ශිෂ්‍යයාට කියවීමේ දිශානතිය පෙන්වන්න ඉන්නේ ගුරුවරයායි. ඔහුත් කියවන්නේ නැත්නම් ශිෂ්‍යයන් කියවීමට යොමුකරන්නේ කෙසේද? අපි ශිෂ්‍යයන් කාලේ රසවත්ව කියවීමට අපට මඟ පෙන්වූ ගුරුවරු හිටියා. ඒ ආභාෂය නිසා තමයි අපි පොතපතට යොමු වුණේ. දැන් ඒ වගේ ගුරුවරු හිඟයි. ශිෂ්‍යයන්ගේ රසඥතාව වර්ධනය විය යුතුයි. නමුත් ගුරුවරුන්ගෙන් ඒ කාර්යභාරය ඉටුවන්නේ නැහැ.

 කුසුම්සිරි