2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

මහා රථාභිවාතක ව්‍යාධි කතාවත්තුව

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

සිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ රාජ්‍ය විචාරණ කල්හී සිදුවන්නට යෙදුනා වූ මහා රථාභිවාතක ව්‍යාධි කතාවත්තුව මෙසේ අරඹන්නාහ.....!

සිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳාණෝ තම රාජ්‍ය සරලව සාමෙන් විචාරන්නාහ.... පෙර මහින්දෝත්තම අධිරජාණෝ රාජ්‍ය විචෑරූ සමයෙහි මෙන්මැ මහජනතාවෝ මවට හොරෙන් බටර් කටගෑ දරුවෙකු මෙන් බෝ සංතෘෂ්ඨියෙන් “මේ ආදරයයි” බලා දිවි ගෙව්වාහ... රවිචන්ද්‍ර කාරුණික මහාමාත්‍යයාගේ පූර්ණානු දැනුමින් සකල කහවණු බදුවලින් නිදහස්ව සිටි ජනතාවෝ වංක බිරියගෙන් ඩිවෝස් වූ ස්වාමිපුරුෂයෙකු මෙන් ණය බරද, බදු බරද රහිතව කල් ගත කළාහ.... ඇතැම් පුරවැසියෝ අමාත්‍යාංශ ඉදිරිපිටට පැමිණ අපෙන් බදු ගන්නැයි කියා බලහත්කාරයෙන් කහවනු මලු විසිකර ගියාහ.... 
තුන් වේලටම ෆ්‍රයිඩ් රයිස් කමින්, උස ජනයා සිකුරුටිද මිටි ජනයා කම්මකාර ද සුදු ජනයා හුණු කර්මාන්තයේද කළු ජනයා නොරොච්චෝලේද සේවා කරමින් සුඛිත මුදිතව සේවය කළාහුය..
මෙසේ මෙත්පල් නිරිඳුන්ගේ සමයෙහි මහජනතාවෝ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ස්වර්ගස්ථව කන්‍යාවන් දෙසැත්තෑවක් සමගමැ සුව විඳින තලේබානුවෙකු මෙන් සුවෙන් සැපෙන් විසීමට හේතුව වී නම් මෙත්පල් නිරිඳානන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතියන්ගේ දාහය මහන්සියේ ප්‍රතිඵලයෝමය.....
පෙර මෙන් එකසිය ගණනින් නොවැ මහා අල්මාරි පසෙකලා ‘හොඳපාලන’ කුඩා අල්මාරියේ සිටියේ ඇමැතියෝ පන්විස්සකි.. ඒ ඇමැතියෝ දිනෙක රන්සළු පළඳා සඳ නැති වේලාවේද.... පසු කරමින් මහ බඩ වැටි ඕවිටි කලර් ලයිට් ද.... පාළු සොහොන් පිටි තේ වතු රබර් වතුද.... ගල් මුල් වල පය පැටලී හැපි හැපි අනේක විඳ දුක්ඛ දෝමනස්සයෝ විඳිමින්මැ අයින් වෙලා පයින්ද.. මැදටවෙලා කෙලින්ද ගමන් කරමින් පෙර මහින්දෝත්තමයන්ගේ සමයෙහි ධවල රත වලින් ජනතාවගේ සුවදුක් සොයා බැලුවාක් මෙන්මැ රටවැසි දණන්ගේ සුවදුක් විචෑරීය.... මහා ගංඟා පිටාරයකදී වුවද.. රුදුරු පර්වත වැටීමකදීද පිටසක්වලින් කසළ ලෑ මොහොතකදීද ඇමැතියෝ මියගියවුන්ටත් පෙර එතැනට පැමිණ සුව සලසා ජනයා දුකින් මුදවාලීය.... 
මෙසේ ඇමැතියෝ කප් සුවාසූ දහසක් දුක් විඳැ වෙනත් රාජ්‍යන්ගෙන් කහවණු පගෝධි ගණනින් දීමට ඇරැයුම් කරද්දී යාන වාහන ජාතික දිසාපාමොක් මණ්ඩප පවා අඩමස්සකුදු ගණනකට නොගෙන තම දේශයේ ජනයාගේ සුවදුක් විචාරණ දෙණියාය ජීවකයාණන් කෙනෙකු මෙන් රටවැස්සෝටම සෙත් කරමින් කල් ගත කරන කල්හී ජනතා සේවයටම ගිය උනුන්ට නොයෙක් ආබාධයන්මැ ඇතිවීය.... එක් ඇමැතියෙකුගේ පශ්චාත්භාගයෙන් කොන්දේරුදා නම් දරුණු සත්වයෙකු ඇතුළු වී ශරීරකෘත්‍යය කිරීමට පවා නොහැකි වන්නාහ.... තවත් ඇමැතියෙකුගේ උණ්ඩුකපුච්ඡයට මස්තලුංගබෝජක නම් මොළය කා දමනා පණුවෙකු ඇතුළු වී මොළය ආහාරයට ගන්නට වන්නාහ.... තවත් ඇමැතියෙකුගේ මුඛයෙහි සුනඛයෙකු බිජු ලෑම නිසා හේ ගොලු වන්නාහ.... සීනගප්පාරු රාජ්‍යට ගොස් එහි දිව්‍ය වෙදැදුරන් ලවා සුව කරගන්නැයි මහජනයා හඬා වැටී කී විට “මාගේ මේ ව්‍යායාමය කිසි කළෙකත් මවුන්ට් එලිසබෙත් යාමට නොවේ.... රටවැස්සාගේ සුවයමැයි” කියා පුස්කොළයක ලියා දී ජනතා සේවයෙහි යෙදුනාහ.... මෙසේ භගන්දරාභාදද.. ඩෙංගුද.. හිස රුදාද.. ගලපටලය, කක්කල් කැස්ස, ආදී අටඅකෞෂණියක් රෝගාබාධයන්ගෙන් අමාත්‍ය මණ්ඩලයම රෝගී වන්නාහ.... මෙසේ දිනකැ සියල්ලෝටම එකමැ රෝගයක් වැළඳිණි.... දහයේ රින්සෝ එකක් දමා කැලැතු කල පෙණ උතුරන්නාක් මෙන් කටින් පෙණ වගුරවමින් ගැහෙමින් එකවරම බිම හොත්තේය..... එක් වර සිහිමඳව උණ විකාරයෙන් බෲම් බෲම් බෲම්... කියා අන්නශ්‍රෝතයෙන් කෑකොස්සන් නගන්නට වියැ.....
වහා සයිටමාරෝග්‍යශාලාවට ඇතුළත් කරන ලද කල්හී රෝග විනිශ්චයෙන් කියැවූයේ රථාභිවාතක නම් භයානක රෝගය වැළඳී ඇති බවයි.. මෙයින් ගැලවුණේ නම් ඒ චාතූර්ය සෙනරතාණන් පමණි..... ඒ ඔහු අමරණීය නිසාවෙනි..... ඔහුගෙන් ගන්නා ලද කෙළ ස්වල්පයකින් එන්නතක් සාදා පොවා රෝගය සුව කළාහ... එයටැ ඔසු ලැබුණද ජනතා සේවයට පාගමනින් යා නම් නැවතත් රෝගය උත්සන්න වන්නේමයැ.... ඉඳින් මේ පුවත් අසා නවකවදයෙන් දැයේ දරුවන් රැක්මට සටන්වදින අන්තරය මෙන් ජනතාවෝ ලිප්ටන් වටරවුමට පැමිණ එහි බිම හිඳ ඉදින් අපට සෙත්පතා කටයුතු කළේ මේ ඇමැතියෝමයැ.... උනුන් මෙසේ රෝබියෙන් ඇලැලී ගියේම නම් ඒ අප නිසාමය. ඉදින් උන් මේ රථාභිවාතක රෝගයෙන් ගලවාලන්න යැයි කියා දෙවියන්ට කන්නලව් කරන්නට වන්නාහ....
සක් දෙවිඳුගේ පඬුපුල් අසුන වෙනත් ගැහැනු ළමයෙකුගේ පොටෝවකට තම පෙම්වතා විසින් දැමූ ‘නයිස් පික් ඩියර්’ කොමෙන්ටුව දුටු පෙම්වතියකගේ දෑස මෙන් ගිනිගෙන දැවෙන්නට විය.... සිය පශ්චාත්භාගයෙන් නැගි දියපට්ටාව අතගාමින් විමසූ කල්හී සිරිලක ඇමැතියන්ගේ රථාභිවාතක රෝබිය දැක බටහිර කුමන්ත්‍රණයක් දුටු විමලාණන් මෙන් කෝපාග්නියෙන් දැවී “මා සක් දෙව් ධුරයේ සිටිනා කල.... මෙවන් උතුම් පුරුෂයන් අයින් විලා පයින් ගියේ කෙසේද කෙසේද කෙසේද....” කියා රැජිනි කාන්ත් මෙන් පා පිට පා දමා.... රථාචාර්ය වූ මාතලී කැඳවා, “එම්බා මාතලිය.... වහාම මේ උතුම් ඇමැතියන්ට කහවණු දහස් කෝටියක දිව්‍ය රථ මවාපියවයි…” කියා නියෝග දුන්නාහ..
එසැණෙහිම සකල සිරිලක ඇමැතියෝට ඖඩියෝද.. බෙන්සාද.. ජගුවරාද.. ප්‍රාඩෝ මොන්ටේරෝ ආදී නේක රථ, හස්ති ආල තෙරුන්ගේ මැතිනියාරාමයෙහි ඇත්පැටවා පහළ වූවාක් මෙන් පහළ විය.. ඉදින් ඒ රථවලින්මැ ගමන් කරමින් සිරිලක ජනයාට සෙත සලසමින් ඇමැතියෝ කල් ගත කළාහ..
මෙය දුටු සිරිලක වැසියෝ සාධුකාර දී සක් දෙවිඳු වැඳ සුවෙන් සැපෙන් සයිටමායට  යමින් කල් ගත කළාහ..!! මේ සිදුවීම දැක පෙර පඬිවරුන් මෙසේ කවි පදද නගා ඇත....
පෙරව රතාවාතක රෝබියම වටින්
දුරැව නොයන මැති දුක් දෙපතුලම පිටින්
තරව සිහි ඇතිව එය දුරු කරන අටින්
මැවුව සක් දෙවිඳු ප්‍රාඩෝ බෙන්ස් පිටින්
අකලංකාරයෙහි එන මහාරථාභිවාතක ව්‍යාධි කතාවත්තුව නිමියේයැ.....
- අකලංකාරය
 
I චමල් අකලංක පොල්වත්තගේ
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00