2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

තිස්ස අත්තනායක සූදානම්ද?

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු දිවියට අවුරුදු 40කි. අවුරැදු හතළිහෙන් 35ක් පුරා විශ්වාසවන්තම දේශපාලන ගමන් සගයෙක් සිටියේය. 1993 දී එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ දා පටන් සමීපව ඇසුරු කළේ ද ඔහුය. එජාපය තුළ රනිල්ට එරෙහි කුමන්ත්‍රණ කීපයක් ඇතිවිය. නායකත්වය අභියෝගයට ලක් කෙරුණි. ඒ සෑම අවස්ථාවකම නායකයා ආරක්ෂා කිරීමට කොන්දේසි විරහිතව පෙනී සිටි එකම තැනැත්තා ද ඔහුය. එක්සත් ජාතික පක්ෂය අඛණ්ඩව මැතිවරණ පරදිද්දී පක්ෂය බේරා ගනිමින් පාක්ෂිකයන්ගේ මානසිකත්වය හැදුවේ ද ඔහුය. පක්ෂ ජ්‍යෙෂ්ඨයකු වූ කරු ජයසූරිය තවත් 17 දෙනකු සමඟ පක්ෂයෙන් ඉවත් වෙද්දී, මංගල සමරවීරගේ කුරුඳු පොලු ගැටලුවේදී, සජිත් රනිල් ගැටුමේදී ද නිර්භයව පෙනී සිට සියල්ල නිරාකරණය කළේ ඔහු පමණි. එක්සත් ජාතික පක්ෂය ගත කළ අසීරුම කාලයේ වසර නවයක් පක්ෂ මහලේකම් ඔහුය. නමින් තිස්ස අත්තනායකය. එක්සත් ජාතික පක්ෂය අඛණ්ඩව ලද පරාජයන් අවසන් කරන තෙක් පක්ෂයේ මෙහෙය වූ ජ්‍යෙෂ්ඨයකි ඔහු. එහෙත් කාලයකට පසු පක්ෂය ලද පළමු ජයග්‍රහණය සැමරීමට ඔහු පක්ෂය තුළ නොවීය.

කොතරම් අත්දැකීම් බහුල පරිණත දේශපාලනඥයකු වුවත් ඔහු ගත් තීරණයක් නිසා තිස්සගේ දේශපාලන දිවිය උඩු යටිකුරු විය. 2014 අගභාගයේදී එජාප මහලේකම් ධූරය අත්හැරියේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂයට සහාය දැක්වීමට ය. මහින්ද ආණ්ඩුව යටතේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගෙන් හිස්වූ ධූරය තිස්ස අත්තනායකට පිරිනැමුණි. ඒ වෙද්දී තිස්ස පක්ෂයෙන්ද නෙරපනු ලැබ සිටියේය. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු උණුසුම් විය. පිල් මාරු සිදුවිය. මෛත්‍රී පිල ශක්තිමත් වෙද්දී තිස්ස විසින් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දෙදෙනාගේ අත්සනින් යුතු බෙදුම්වාදී ගිවිසුමක් හෙළිදරව් කළේය. නමුත් එම අත්සන හොරට යෙදූ කූඨ ලේඛනයක් බවට චෝදනා එල්ල විය. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති විය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි විය. නීතිපතිවරයා විසින් කූඨ ලේඛන ඉදිරිපත් කිරීම, ජාතීන් අතර ගැටුම් ඇතිවන අයුරින් ක්‍රියාකිරීම හා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වැළැක්වීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ තිස්සට එරෙහිව නඩු පැවරිණි. 

මම නඩුවේ තීන්දුවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. නඩු කටයුතු අවසන් වුණාම සුපරුදු පරිදි දේශපාලන කරළියට බහින්න ඉන්නේ. මොකද අපි වැඩකරපු මිනිස්සු. දුවලා පැනලා පහළ මට්ටමේ හිටපු මිනිස්සු එක්ක වැඩ කළේ. ඒ හින්දා මම තවදුරටත් බලන් ඉන්නේ මේ නඩු කටයුතු සියල්ලෙන්ම නිදහස් වුණාට පස්සේ මේ වැඩකටයුත්තට බහින්න.

අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ තිස්ස අත්තනායක ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඇපමත මුදාහරිනු ලැබීය. අනතුරුව 2015 දින සීයේ ආණ්ඩුව තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සිටියේය. ඔහු 2015 මහ මැතිවරණයට ද ඉදිරිපත් නොවීය. වසර 35ක දේශපාලන දිවියට තාවකාලික විරාමයක් තැබීය. ඔහුට එරෙහිව 2016 ඔක්තෝම්බර් 26 චෝදනා පත්‍රය භාරදෙනු ලැබ නඩු විභාගය කැඳවනු ලැබුණි. නමුත් එදින විභාග නොවූ නඩුව දෙසැම්බර් 05වන දාට කල් දැමුණි. නැවත 2017 මාර්තු 20 වන දින සිට අඛණ්ඩව නඩු විභාග කිරීමට තීන්දු විය. එවරද නඩු විභාගය ජුනි මස 17 දක්වා කල් දැමීමට සිදුවූයේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා වන වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නොපැමිණි නිසාය. එදිනද නඩු විභාගය 2017 දෙසැම්බර් 04 දක්වා කල්දැමුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනාගේ කාර්ය බහුලත්වය හේතුවෙන් නොපැමිණි නිසාය. නඩු විභාගය අවසන් වනතුරු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වී සිටින බවයි තිස්ස අත්තනායක හිටපු මහලේකම් පවසන්නේ.

මේ දවස්වල ක්‍රියාකාරී දේශපාලන කටයුතුවල යෙදෙන්නේ නෑ. හේතු ගණනාවක් තියෙනවා. ජනාධිපතිවරණය කාලේ ඇති වෙච්ච මත ගැටුම් සහ පෙරළි නිසාත් ක්‍රියාකාරී දේශපාලනයෙන් ටික කාලෙකට ඈත්වෙලා හිටියා. නමුත් ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය වගේ ජාතික දේශපාලනයේදී මම ආපහු ක්‍රියාකාරී තත්ත්වයට එන්න බලාපොරොත්තු වෙනවා. මම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. මම පක්ෂයෙන් ඉවත් වෙලාත් නෑ. පක්ෂය මාව අයින් කරලත් නෑ. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මම මහින්දට රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහය දෙන්න තීරණය කළාම පක්ෂයෙන් නෙරපා හැරීමක් කළා. හැබැයි මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නියෝගයක් ගත්තා මේ නෙරපා හැරීම වැරදියි කියලා. ඒ නිසා මම තවදුරටත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් හැටියට ඉන්නවා. යනුවෙන් තිස්සේ අත්තනායක සිය මතය ප්‍රකාශ කළේය.

පිල් මාරුවෙන් පසු තිස්ස අත්තනායක මහතාට එකවරම අමාත්‍ය ධූරයක් හිමි විය. නමුත් මාස දෙකක් ගත වෙද්දී සියල්ල වෙනස් විය. අවුරුදු විස්සක් පක්ෂය අඛණ්ඩව පරදිද්දී පාක්ෂිකයන්ට ඉවසීම ඉගැන්වූ තමාට තව මාස දෙකක් ඉවසිය නොහැකි වීම ගැන තිස්ස පසුතැවුණේය. ඉවසුවා නම් එජාප ආණ්ඩුවේ අගමැතිට පසු ඉහළම තනතුරක් තිස්සට හිමිවන්නට තිබුණි. කළ වරද වටහාගත් තිස්ස මහින්ද පිළෙන් ක්‍රමයෙන් ඈත්වී නැවතත් එජාපයට එක් වීමට අදහස් පාක්ෂිකයන් තමාට කලගුණ සලකාවි යන විශ්වාසය නිසා විය හැකිය.

තිස්ස අත්තනායක හිටපු මහලේකම්වරයා එජාපයෙන් ඉවත්ව වසර දෙකක් සපිරීමට තව ඇත්තේ මසක පමණ කාලයකි. මේ කාලය තුළ අවස්ථා කිහිපයකදීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තිස්ස මුණගැසී තිබුණි. ඒ විවිධ උත්සව අවස්ථාවන්වලදී ය. එහෙත් ඔහු තිස්සට නැවත පක්ෂයට ඇරයුම් කළේ නැත. එජාපය තුළද වෙනස්කම් සිදුවෙමින් රවීට ඇමතිකම අහිමි විය. විජේදාසටද අහිමි විය. පක්ෂය තුළ තව තව වෙනස්කම් ගණනාවක් සිදුවීමට ඉඩ තිබේ.

නැවත පක්ෂයට එක්වන ලෙස වර්තමාන මහ ලේකම් කබීර් හෂීම් තිස්සට විවෘත ආරධනයක් කළේය. පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ද ආරාධනා කළේය. එහෙත් ඒ කිසිවකට තිස්ස ඍජු පිළිතුරක් නුදුන්නේ නිල ආරාධනයක් නොලැබුණු නිසාය. කොහොමද අපි ඒ දේශපාලන ව්‍යාපාරයට ඇතුළු වෙන්නේ නිසි පිළිගැනීමක් සහ නිසි වගකීමක් නැතිව? මේ පිළිබඳව පැහැදිලි සාකච්ඡාවක් පැහැදිලි තීරණයක් ඕනැ. එනිසා යම්කිසි එකඟතාවයක් තියෙනවා නම් කතාකරන්න පුළුවන්. යැයි තිස්ස අත්තනායක මහතා කීය. වැඩිදුරත් ඔහු මෙසේ පැවසීය. මගේ අත්දැකීම් හැකියාව සහ දක්ෂතා පාවිච්චි කරලා එක්සත් ජාතික පක්ෂය මගෙන් කුමන ප්‍රයෝජනයක් ගනීද කියලා මම දන්නේ නෑ. හැබැයි එහෙම ප්‍රයෝජනයක් නොගන්නවා නම් මට කුමන හෝ තැනක නවතින්න වෙනවා. එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වෙන්නේ නෑ. ඒත් ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන කෙනෙක් හැටියට එහෙම දේශපාලනයක මට යෙදෙන්න වෙනවා.

ඒකාබද්ධ විපක්ෂයෙන් තිස්සට ආරාධනා ලැබෙන බව වාර්තා වෙයි. එක් වාර්තාවකට අනුව මහඇමති අපේක්ෂකයෙන් ලෙස කුමන හෝ පක්ෂයකින් ඉදිරිපත් කිරීමටද යෝජනා වී තිබේ. දේශපාලනය අවිනිශ්චිතය. බලය ලබාගැනීම වෙනුවෙන් ඕනෑම පක්ෂයකට මාරුවන දේශපාලනඥයෝ පිරිසක් අප රටේ සිටිති. ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයන් සිටිනවා නම් ඒ අතලොස්සකි. තිස්ස අත්තනායක මහතා ගැන අපට අනාවැකි කීමට හැකියාවක් නැත. ඔහු ඉතා ඉක්මනින් කුමන හෝ පක්ෂයකින් දේශපාලනයට අවතීර්ණ වීමට සැලසුම් කරන බව නම් සැබෑය. බොහෝදුරට එය එක්සත් ජාතික පක්ෂය වන්නට පුළුවනි. මීට පෙරද පක්ෂයෙන් ඉවත් වූ අය පවා වර්මාන එජාප ආණ්ඩුවේ ඇමැති ධුර දරති.

හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසන්නේ තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් නොසිටියත් රටේ දේශපාලන චලනයන් විවේකීව අධ්‍යනය කරමින් සිටින බවයි. දැන් රටේ තත්ත්වය එතරම් සුභදායක නෑ. ගම්වල එක්සත් ජාතික පක්ෂයේ අය විශාල මානසික වැටිල්ලක ඉන්නේ. හේතු කිහිපයක් තියෙනවා. අවුරුදු විස්සකට පස්සේ ආණ්ඩුවක් ගත්තම ගමේ ඉන්න පාක්ෂිකයාව ශක්තිමත් කරන්න කිසිම ක්‍රියාමාර්ගයක් පක්ෂය අරන් නෑ. අපි ජනාධිපතිවරණයට ඡන්ද පොළ සංවිධායකවරැ 12000ක් පත්කළා. ඒ මිනිස්සු හෝ ඒ අයගේ පවුලේ කෙනෙක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා කියලා අපි ප්‍රතිඥාවක් දීලා තිබුණා. ඒ පොරොන්දුව මේ දක්වා ඉෂ්ඨකරලා නෑ. අනික දේශපාලන පළිගැනීම්වලට ලක්වුණ මිනිස්සු තාම අසරණ තත්ත්වයක ඉන්නේ. කිසිම සහනයක් ලැබිලා නෑ. ඉතිං ගමේ ඉන්න පාක්ෂිකයාට කොන්ද කෙළින් තියාගෙන නැගිටලා මේක අපේ ආණ්ඩුව කියලා කියන්න පුළුවන් තත්ත්වයක් වත්මන් ආණ්ඩුවේ නෑ. ජාතික ආණ්ඩු, යහපාලන ආණ්ඩු වගේ එක එක විදිහට නම් කළාට ඒ එකක්වත් වැඩක් නෑ ගමේ පාක්ෂිකයාට. පාක්ෂිකයාට ඕනැ ඍජු තීරණ ගන්න තමන්ගේ ආණ්ඩුවක්. එහෙම දෙයක් නැතිකම කලකිරීමට හේතුවක්. යනුවෙන් සිය නිරීක්ෂණය පැහැදිලි කළේය.

 සකීෆ් සාම් තන්වීරි
    ෙස්යාරුව I සමන්ත විල්ෙතර

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00