ලෝකයේ සුන්දරම මුහුදු තීරයන් හතෙන් එකක් ලෙස සැලකෙන උණවටුන මුහුදු තීරය දෙස් විදෙස් සංචාරකයන් සියලුදෙනාගේ ආදරය දිනාගත් ප්‍රදේශයක්. සුන්දර උණවටුනේ සුඛෝපභෝගීත්වයෙන් යුත් නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන කෙනෙක්ට හොඳින් ගැලපෙන තැනක් තමයි Rock Fort හෝටලය.
මහල් පහකින් යුත් මේ හෝටලයේ කාමර 30ක් සංචාරකයන් සඳහා විවෘතයි. ඉන්දියන් සාගරයේ මනස්කාන්ත දසුනින් මේ කාමරවල දර්ශනය පිරී පවතිනවා. මේ සැම කාමරයක්ම වයි ෆයි, සැටලයිට් ටීවී, මිනි බාර් වැනි පහසුකම්වලින් යුක්තයි.
හෝටලයේ ඉවුම් පිහුම් රටා ගැන කතාකරද්දී දේශීය ආහාරවලට විශේෂ තැනක් ලැබෙන අතරේදීම චීන, ඉන්දියානු සහ වෙනත් ආසියානු ආහාරත් පිළිගැන්වෙනවා. ඒ වගේම බටහිර ආහාරත් එහි තිබෙනවා. ඊට අමතරව Open Buffet ක්‍රමයට ආහාර පිළිගන්වන හෝටලයේ එළිමහන් අවන්හලත් බොහෝ සංචාරකයන්ගේ ප්‍රසාදය දිනාගත් තැනක්.
මේ හෝටලයේ නවාතැන් ගැනීමෙන් ලබාගත හැකි තවත් විශේෂ අත්දැකීමක් තමයි හිරු නැගීම වගේම බැසීමත් ජලතලයට ඉහළින් නැරඹිය හැකිවීම. ඒ විතරක් නෙමෙයි මුහුදාශ්‍රිත ජල ක්‍රීඩා රැසක් කරන්නත් පුළුවන්. උණවටුන, snorkeling වලටත් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ තැනක්.
ඊට අමතරව මිරිස්සට ගොස් තල්මසුන් හා ඩොල්ෆින් නරඹන්නත්, කොට්ටව වනාන්තරයට ඇවිදින්න යාමටත්, තවත් ටිකක් දකුණට ගමන් කර කොග්ගල මඩොල් දූව, මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය වගේ ගොඩක් තැන්වල ඇවිදින්නත් පුළුවන්.
සනත් වීරසූරිය