2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

හැදුණම මල පනින අර්ශස්

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 7402

ෂුවර් එකටම එයානම් අර්ශස් කාරයෙක්

බොහෝ දෙනකු මෙවැනි කතා ඕනෑතරම් අසා ඇතිවාට සැකයක් නැත. නමුත් හිතුමතේට එසේ පැවසුවත් සැබැවින්ම අර්ශස් යනු කුමක්දැයි ඔබ දැනටමත් නොදන්නවා වන්නට ඇති. සමාජයේ බොහෝ දෙනා තුළ පවතින නමුත් තව කෙනෙකුට පවසන්නට ලැජ්ජා හිතෙන අඩුම තරමේ වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර පවා ගන්නට අකැමැති රෝගයක් වුවත් අර්ශස් නිට්ටාවටම සුවකරගත හැකි සාර්ථක ප්‍රතිකාර පිළිබඳව ආයුර්වේදයේ සඳහන්ය. 

බොහෝ දෙනා තුළ අර්ශස් පිළිබඳව ඇත්තේ වැරදි ආකල්ප හා වැරදි රෝග ලක්ෂණයි. බොහෝ දෙනා මළපහ කිරීමේදි හෝ ගුද මාර්ගය අවට පවතින යම් අස්වාභාවික තත්ත්වයන් සියල්ල අර්ශස් ලෙස පිළිගන්නා බව පෙනේ. නමුත් එය වැරදි මතයකි. 

සමහරු මළ මාර්ගයෙන් රුධිරය පිටවීම හා ගුද මාර්ගය අවට හෝ යම් ඉදිමීමක්, අස්වාභාවික තත්ත්වයන් ඇති වූ පමණින් මේ අර්ශස් රෝගය යැයි සිතා නොයෙකුත් ගොඩ වෙදකම් කොට රෝගය උත්සන්න කරගනිති. අර්ශස් යනු සංස්කෘතික වචනයකි. ආයුර්වේදයේ සඳහන්වන පරිදි ප්‍රධාන රෝග අතරින් රෝගයක් ලෙසින් අර්ශස් හැඳින්විය හැක. මෙය රෝගයකට වඩා රෝග සංකීර්ණයකි. ආයුර්වේදයේ සඳහන් වන පරිදි සතුරකු ලෙස පැමිණ ඇඟෙන් ලේ ගලන රෝගයක් ලෙස මෙය හැඳින්වේ. 

මළමාර්ගයේ පහළ කෙළවර වූ ගුදය ප්‍රදේශයට අදාළ රෝග රාශියක් ඇත. මෙය ආයුර්වේදයේ ගුද රෝග ලෙස හැඳින්වේ. මෙම ගුදරෝග වල ප්‍රධානතම රෝගයක් ලෙසින් අර්ශස් හැඳින්විය හැක. බොහෝ දෙනා ගුද රෝග සියල්ලම අර්ශස් ලෙස සිතුවත් අර්ශස් යනු එයින් එක් රෝගයක් පමණි.

අර්ශස් රෝග ලක්ෂණ හා ගුද මාර්ගයේ ඇතිවන ප්‍රදේශද එකින් එකට වෙනස් වේ. එමෙන්ම ඒවාට කරනු ලබන ප්‍රතිකාරද වෙනස් වේ. මේ නිසා නිසි ප්‍රතිකාර කිරීමෙන් නිට්ටාවටම සුවකරගත හැක. 

ආයුර්වේදය අනුව අර්ශස් ප්‍රධාන කොටස් 06කි. 

01. වාතජ අර්ශස්
02. පිත්තජ අර්ශස්
03. කපජ අර්ශස්
04. රත්තජ අර්ශස්
05. ත්‍රිදෝෂජ අර්ශස්
06. සහජ අර්ශස්

මෙම අර්ශස් සියල්ලටම කරනු ලබන ප්‍රතිකාරද එකිනෙකට වෙනස් වේ. බොහෝ දෙනා පවසන පරිදි මළපහ කරනු ලබන ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස තැනින් තැන ඉදිමීම සහිත වීම, එමෙන්ම රුධිරය පිටවීම අර්ශස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වේ. නමුත් මෙම රෝග ලක්ෂණ දෙක ඉහත සඳහන් අර්ශස් රෝග සියල්ලේම දකින්නට ලැබෙන්නේ නැත. පිත්තජ අර්ශස් හා රත්තජ අර්ශස් රෝගවලදී මෙම රෝග ලක්ෂ දෙක බහුලව දැකිය හැක. 

වාතජ අර්ශස්

වාතජ අර්ශස් බොහෝ විට මළ මාර්ගය අවටත් ගුද මාර්ගය තුළ හා ඒ අවට සෑදෙන හම් කැබැලි වැනි කුඩා ඉන්නන් වැනි කොටසට අයත්වේ. එවැනි අර්ශස් සඳහා පිළිස්සුම් ක්‍රම මගින් නිට්ටාවටම සුව කරගත හැක. 

කපජ අර්ශස්

කපජ අර්ශස් යනු වාතජ අර්ශස්වලට වඩා විශාල ගෙඩි වැනි දේ වර්ධනය වීමකි. රෝගියා මළපහ කිරීමේදී මෙය ගුදමාර්ගයට එළියට එයි. රෝගියාම එය ඇතුළට යැවිය යුතු වේ. කාලයක් යද්දී මෙම ගෙඩි ගුද මාර්ගයේ එළියේ පිහිටයි. මෙයින් රුධිරය පිට නොවේ. නමුත් නිතරම තෙත් බවින් යුක්තය. මේ නිසා රෝගියාගේ යට ඇඳුම් නිතරම තෙත් වේ. මෙය ආයුර්වේදයේ ගවදෙනකුගේ තන පුඩුවට සමාන කර ඇත.

රත්තජ අර්ශස්

මෙය පරම්පරාවෙන් ඇතිවන අර්ශස් තත්ත්වයකි. මෙම පරම්පරා අර්ශස් ඇතැම් ඒවා නිට්ටාවටම සුවකළ නොහැක.

සහජ අර්ශස්

සියලුම දෝෂ එකතුව සෑදෙන සංකීර්ණ රෝග තත්ත්වයන් මෙම අර්ශස් රෝගයට ඇතුළත් වේ. ඇතැම්විට මෙම තත්ත්වයේදී මළමාර්ගයෙන් රුධිරය පිටවේ. කුඩා සම් කැබැලි මෙන් කැඩි කැඩී පිටවේ. ගෙඩි වලින් නිතරම රුධිරය පිටවේ. එවැනි තත්ත්වයන් මෙයින් ඇතිවේ. ඇතැම්විට සුවකළ නොහැකි පිළිකා තත්ත්වයන්ද ඇතිවිය හැක. 

අර්ශස් රෝග ලක්ෂණ‍

අර්ශස් රෝගයේ පොදු ලක්ෂණයක් වන්නේ රුධිරය පිටවීමයි. මෙම ලේ යාමද වෙනස්වේ. ඇතැම් රෝගීන් මළ පිටකරද්දී පයිප්පයක් කැඩුවා සේ රුධිරය මිදීමක් පවා සිදුවිය හැක. ඇතැම් රෝගීන් මළ පහ කරද්දී රුධිරය ඉරක් සේ මළවල ගෑවේ. මෙම රුධිරය පිටවන අන්දම අනුවද රෝගය තීරණය කරගත හැකි වුවත් එය නිසියාකාරව තීරණය කරගත හැක්කේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට පමණි. 

මළ මාර්ගයේ හිරවීමක්ද අර්ශස් වල රෝග ලක්ෂණයක් ලෙස හැඳින්විය හැක. මළ මාර්ගය මළ පිට කිරීමේදී විශාල වන අතර මළ පිටකර අවසානයේදී එය නැවත හකුළා ගනී. නමුත් ඇතැම් අර්ශස් අවස්ථාවලදී මළපහ කිරීම අවට ඇතුළතින් අසාමාන්‍ය තත්ත්වයක් වර්ධනය වේ. එය රෝගියාට මුල් කාලයේදී නොතේරේ. නමුත් මළ බද්ධය ඇතැම් අර්ශස් රෝගින්ගේ ප්‍රධාන ලක්ෂණයක්ද වේ. 

ඇතැම් අර්ශස් රෝගීන්ට මළ මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවේ. සාමාන්‍යයෙන් මළ මාර්ගයේ තෙත් ගතියකින් යුක්ත වුවද (මෙය ආයුර්වේදයේ ක්ලේෂ්ම ලෙස හැඳින්වේ) එය අධිකව පිටවීම කපජ අර්ශස් වැනි රෝගයේ රෝග ලක්ෂණයක් ලෙස හැඳින්වේ. 

තවත් අර්ශස් රෝගීන්ට මළ මාර්ගය ආශ්‍රිතව අධික දැවිල්ලක් වේදනාවක් ඇතිවේ. පිත්තජ අර්ශස් තත්ත්වයේදී බොහෝ විට මෙය අධික දැවිල්ලකට සමාන වේ. ඒ තත්ත්වය තව තවත් වැඩි වී කපජ අර්ශස් තත්ත්වයේදී එය ගුද මාර්ගය අවට දැඩි වේදනාවක් ඇතිවීමේ තත්ත්වයටද පත් වේ. මළ පිටකරද්දිත් පිට කර අවසානයේදීත් අධික කැක්කුමක් ඇති වීම මෙහි ස්වභාවයයි. 

මළ බද්ධය මෙම රෝගයේ තවත් ප්‍රධාන ලක්ෂණයකි. මළ  පිටකිරීමේදී දැඩි අපහසුතාවයක් ඇතිවේ. මළවල වියළිගතිය වැඩිවේ. මේ නිසා මළ පිටකිරීමේදී මෙම රෝගීන් අධික තැටමීමක් සිදු කෙරේ. එවිට ගුද මාර්ගය අවට තුවාල ඇතිවීමටද ඉඩ ඇත. 

අර්ශස් රෝගී තත්ත්වයන් නිසා මළ මාර්ගයේ ඇතුළත විශාල වීමක් සිදුවේ. අර්ශස් රෝගයේ මූලික අවස්ථාවේදී පොඩි පොඩි ගෙඩි ඇතිවුවද කල් යාමේදී එමගෙඩි විශාල වීමට බොහෝ ඉඩ ඇත. ඇතැම් අවස්ථාවේදී ගුද මාර්ගය ඇතුළත එවැනි තත්ත්වයක් ඇතිවුවද එය පිටත පෙනීමක් සිදු නොවේ. කල්යාමේදී එම ගෙඩි පිටතට නෙරා ඒමක්ද පිටවේ. මළ පහ කරද්දී මෙම ගෙඩි පිටතට පැමිණේ. රෝගියා අතින් ඇතුළට තද කළ විට එය ඇතුළට යයි. නමුත් තව තවත් කල්යාමේදී එය ඇතුළට ඇතුළු කිරීමට බැරි තත්ත්වයට පත්වේ. නිසි ප්‍රතිකාර නොකිරීමෙන් මෙම ගෙඩි විශේෂය විශාල වීමට පුළුවනි. මෙය වේදනා සහිතයි. විෂ බීජ ඉක්මණින් ඒ මඟින් ශරීරය තුළට යෑමට හැකියාව තිබේ. තුවාල විය හැක. එයින් රුධිරය යාමක්ද සිදුවේ. 

අර්ශස් රෝගය සඳහා සාර්ථකව ප්‍රතිකාර ඇත්තේ ආයුර්වේදයේය. නවීන වෛද්‍ය විද්‍යාවේදි බොහෝ විට සැත්කම් සිදුකරයි. නමුත් එය තාවකාලික වේ. නැවතත් රෝගය ඇතිවීමට බොහෝ ඉඩ ඇත. ශල්‍යකර්ම සිදුකළ පසුව ඒ රෝගයට අමතරව වෙනත් රෝග ඇතිවීමටද ඉඩ ඇත. 

ආයුර්වේදයේද ශල්‍ය ක්‍රම ඇත. ඒවා ඉතා පැරුණි ඉතා සාර්ථක ශල්‍යක්‍රම වේ. ඒ සඳහා වෙනම ශල්‍ය උපකරණ ආයුර්වේදය සතුව පවතී. 

ආයුර්වේදයේ ප්‍රතිකාර ප්‍රධාන කොටස් 05කි. 

01. බෙහෙසජ ප්‍රතිකාර 
02. ශස්ත්‍ර ප්‍රතිකාර
03. ක්ෂාර ප්‍රතිකාර
04. අග්නි ප්‍රතිකාර
05. රක්ත මෝක්ෂජ ප්‍රතිකාර

බෙහෙසජ ප්‍රතිකාර

බෙහෙසජ ප්‍රතිකාර ලෙසින් හඳුන්වන්නේ බෙහෙත් මඟින් කරනු ලබන ප්‍රතිකාර වේ. බීමට සහ ඒ අවට ආලේප කිරීමට ප්‍රතිකාර ලබාදීමෙන් මෙම රෝගය සුවකරගත හැක. කල් නොගිය අර්ශස් රෝගයක් සදහා මෙම ප්‍රතිකාරය සිදු කරයි. 

ශස්ත්‍ර ප්‍රතිකාර

මෙයින් අදහස් කරන්නේ සැත්කම ලෙසයි. ආයුර්වේදයේදී ඇතැම් අර්ශස් තත්ත්වයන් කපා ඉවත් කළ යුතුවේ. මේ සඳහා ආයුර්වේදයේ වෙනම සැත්කම් උපකරණ තිබේ. සැත්කම් කළ පසුව එම ස්ථානයේ පිලිස්සිමක් කරයි. එවිට එම අර්ශස් රෝග තත්ත්වයක් ඇති නොවේ. එය නිට්ටාවටම සුව වේ.

ක්ෂාර ප්‍රතිකාර

ක්ෂාර ලෙසින් හඳුන්වන්නේ ඖෂධවල විශේෂ ක්‍රම උපයෝගිකොට පුළුස්සා එම අළු වලින් සාදාගන්නා ලද ඖෂධ අර්ශස් ගෙඩි මත ආලේප කිරීමයි. විවිධ ක්‍රමවලින් සාදාගත් මෙම ඖෂධ අළු ගුද මාර්ගය ඇතුළතද ගැල්වීමක් සිදුවේ. 

අග්නි ප්‍රතිකාර

මෙයින් සිදුවන්නේ පිළිස්සීමයි. සමෙන් ඇති වී ඇති අර්ශස් පිළිස්සීමද මෙම සාර්ථක ප්‍රතිකාරයක් වේ. එයද නිට්ටාවටම සුවවේ.

රක්ත මෝක්ෂ ප්‍රතිකාර

මෙම ක්‍රමයෙන් අර්ශස් වල ඇති රුධිරය ඉවත් කිරීමක් සිදුවේ. නමුත් මෙම රක්ත ප්‍රතිකාරයට පෙර අනිකුත් ප්‍රතිකාර කිරීමට ආයුර්වේදය ප්‍රමුඛ තැනක් ලබාදේ. ආයුර්වේදයේදී සැත්කම් කොට පිළිස්සීමෙන් මෙය නිට්ටාවටම සුවකරගත හැක. මෙයින් ඒ අවට කිසිදු කැළලක් ඇතිනොවේ. එයින් ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදුනොවේ. නිසි මළ පිටවීමක් සිදුවේ. 

අර්ශස් රෝගීන් බහුලව ඇතිවන අවස්ථා

අර්ශස් රෝගය වයස් භේදයකින් තොරව ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව ඇතිවේ. පරම්පරා රෝගී තත්ත්වයක් මත මෙය ඇතැම් විට කුඩා දරුවන් අතර දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි. 

නිතරම රුකියාවේ වාඩි වී සිටින අයට අර්ශස් තත්ත්වයක් ඇතිවිය හැක. අතීතයේදී අශ්වයන් පැදවූ අය අතර බහුලව දක්නට ලැබුණු මෙම රෝගය වර්තමානයේදී රියැදුරන් අතර වැඩි වශයෙන් දක්නට ලැබේ. එයට හේතුව වන්නේ දිගු කාලයක් තද අසුනක වැඩි වි සිටීමයි. මේ තත්ත්වය අර්ශස් රෝගයට පමණක් නොව ගුද මාර්ගය ආශ්‍රිත බොහෝ රෝගයන්ට හේතු වේ. 

එමෙන්ම ජලය නිසි ප්‍රමාණය පානය නොකරන අයටද අර්ශස් රෝගය ඇතිවීමට බොහෝ ඉඩ ඇත. උදැසන ආහාර වැඩිපුර ගන්නා අයටද අර්ශස් රෝගය වැළඳීමේ ප්‍රවණතාවය වැඩිය. එමෙන්ම මද්‍යසාර වැඩිපුර ගන්නා අයටද අර්ශස් රෝගය ඇතිවේ. යෝගට්, විනාකිරි, ඉස්සෝ, දැල්ලෝ, අන්නාසි වැනි උෂ්ණාධික ආහාර වැඩිපුර එකදිගට ගැනීමෙන්ද අර්ශස් රෝගය ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත. නිදි මැරීම, මානසික ආතතිය ඇති අයටද අර්ශස් රෝගය ඇතිවිය හැකි. මේ නිසා මනස සැහැල්ලුවෙන් තියාගන්නට වගබලා ගැනීම අවශ්‍යය. 

අවශ්‍ය ප්‍රමාණයට දිනපතා ජලය පානය කරන්න. පුළුවන්නම් පලා වර්ග ආහාරයට එක්කරගන්න. කෙඳි ආහාර වැඩිපුර එක්කරගන්න. කෙඳි ආහාරවලින් මළපහ කිරීම පහසු කරයි. ගස්ලබු, කෙසෙල් වැනි පළතුරැද වැඩිපුර කෑමට ගන්න. කිරි ඉතා ගුණදායකයි. නමුත් කිරිවලට චොකලට් කුඩු එක් නොකළ යුතුය. විශේෂයෙන් කොහිල වැනි එළවළු අර්ශස් සඳහා ඉතා ගුණදායකයි. 

ව්‍යායාම් කිරීම ඉතා සුදුසු වේ. එකම ආකාරයේ වාඩිවී සිටීමෙන් ශරීරයේ එම ප්‍රදේශය තද වීමක් සිදුවේ. මේ නිසා ව්‍යායාම් වල නිරත වෙන්න. එමගින්ම නිතරම මෝටර් සයිකල් පදවන අය තුළද අර්ශස් රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. එකදිගට තද ආසනවල වාඩි වී සිටීමෙන් මේ තත්ත්වය ඇතිවේ. මේ නිසා ඔබත් නිතරම මෝටර් සයිකල් පදවන කෙනෙක් නම් පුළුවන් හැම විටම යම් සරල ව්‍යායාමයක හෝ නිරත වෙන්න. 

ඔබත් අර්ශස් රෝගියකු නම් ගොඩ වෙදකම් නොකර සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න. අර්ශස් රෝගය හඳුනාගැනීම සඳහා &ගුද පරික්ෂාව* අත්‍යවශ්‍ය වේ. එය සිදුකළ හැක්කේ සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකුට පමණි. 

 දිශානි ජයමාලි කරුණාරත්න