2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

ධනය ගිලින පාඩු ලබන අාණ්ඩුවේ බරවා කකුල්

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 396

අපේ රටේ ආණ්ඩු ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසියේ බ්‍රිතාන්‍ය යුගයේ සිටම ය. ඉන් අනතුරුව 56 බණ්ඩාරනායක යුගයේදීත් 77 සිරිමාවෝ බණ්ඩාරනායක සමගි පෙරමුණු යුගයේත් මෙරට රාජ්‍ය අංශය විස්තාරණය වන්නට පටන් ගත්තේය. එක්සත් ජාතික පක්ෂ පාලන යුගවලදී මේ තත්ත්වය තරමක් වෙනස් වූ අතර 90 දශකයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේදී ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති ද රාජ්‍ය ව්‍යවසායෙන් ඈතට විසිවී ගියේය. නමුත් 2005-2015 කාලසීමාවේ රාජපක්ෂ පාලනය යටතේ නැවතත් රාජ්‍ය ව්‍යවසාය කෙරෙහි වැඩි අවධානයක් යොමුවුණු අතර 245ක් පමණ වූ රාජ්‍ය ව්‍යවසාය මේ වනවිට 400 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඉකුත්දා නිවේදනය කර තිබුණි. 

මෙසේ දැවැන්ත රාජ්‍ය ව්‍යාපාර සංඛ්‍යාවක් පවත්වාගෙන යන අතර ඒවායින් සැලකිය යුතු සංඛ්‍යාවක් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ක්‍රියාත්මක වේ. ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ආදිය අත්‍යවශ්‍ය සේවාවන්ය. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප් කමිටුවේ) සමාලෝචනයට ලක්වන්නේ මේ අතුරින් 55ක් පමණි. එසේ විශේෂ ආයතන 55ක් තෝරාගැනීමට හේතු වී ඇත්තේ ඒවා මහා භාණ්ඩාගාරය හා ඍජු සම්බන්ධයක් දක්වන එසේත් නොමැති නම් රටේ මහජන මුදල් භාවිතා වන රාජ්‍ය ව්‍යාපාර වීම ය. 

වාර්ෂික සහ අතුරු වාර්තා වශයෙන් ‍කෝප් කමිටුව වරින් වර වාර්තා ඉදිරිපත් කරනුයේ මෙම රාජ්‍ය ව්‍යාපාර 55 සම්බන්ධයෙනි. එහිදී විගණකාධිපති වාර්තා සලකා බලමින් ඒ ඒ සංස්ථා මණ්ඩලවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් කරුණු විමසමින් පාර්ලිමේන්තුව හමුවට අදාළ ආයතනවල මූල්‍ය ප්‍රගතිය ගෙනහැර දැක්වීම මෙම කෝප් කමිටු වාර්තාවලින් සිදුකරන ප්‍රමුඛ කාර්යයකි. 

රජය සතු ඉතා වැදගත් වාණිජ ව්‍යාපාර ආයතන 55ක් අතුරින් 16ක් පාඩු බලන තැනට පත්ව ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මෑතකදී පැවසීය. ඔහු විසින් නැවත ගායනා කරන ලද්දේ වසර ගණනාවක් පැරැණි ගීයකි. එනම් 2011 වසරේ පටන් කෝප් වාර්තා පරීක්ෂා කර බලතොත් රාජ්‍ය ආයතන 16ක් දිගින් දිගටම පාඩු බලමින් මහජන මුදල් ඔස්සේ යන්තම් පවත්වාගෙන යන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. 

මෙම ආයතන අතර ඉදිරියෙන්ම හිඳින්නේ ශ්‍රීලංකන් ගුවන් සේවය, ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රීලංගමය, රේල්ලුව ආදියයි. එහෙත් මතුපිටින් බැලූ විට පෙනෙන කාරණය නම් එම ආයතන සියල්ලම පාහේ අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලබාදෙන ආයතන වන බව ය. එසේ තිබියදීත් එම ආයතන පාඩු බලන්නේ මන්ද? 

රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ මක් නිසාද යන්න පුන පුනා කිව යුත්තක් නොවේ. බොහෝ විට රාජ්‍ය සමාගමක සභාපති පුටුවේ වාඩි වන්නේ බලයේ පවතින ආණ්ඩුවේ ප්‍රබල ඇමැති කෙනෙකුගේ සහෝදරයෙකි, නැත්නම් මාමා කෙනෙකි, බාප්පා කෙනෙකි. එම පුටුවේ වාඩිවීමට අදාළ තැනැත්තා සුදුසුද නැද්ද යන්න විමසීමට පවා කිසිවෙක් වද නොවෙති. එවැනි පසුබිමක රාජ්‍ය සමාගම් පාඩු ලැබීම අරුමයක් නොවේ. 

ඇතැම්විට සභාපති පුටුවක වාඩිවෙන තැනැත්තා ශූර ව්‍යාපාරිකයෙක් විය හැක. එහෙත් රාජ්‍ය සමාගමක් පවත්වාගෙන යාමේදී භාවිත කෙරෙන්නේ මහජන මුදල් ය. පෞද්ගලික ව්‍යාපාරයකදී ඊට මුදල් ආයෝජනය කෙරෙන්නේ පෞද්ගලිකව ය. එනිසාම එය ලාභ ලබන තත්ත්වයට පත් කරගැනීම අතවශ්‍ය සාධකය ලෙස එවැනි ව්‍යාපාරයක මුල් පුටුව දරන්නාට දැනේ.  

වර්තමාන ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ මෙසේ පාඩු බලන ආයතන පෞද්ගලීකකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වී තිබෙන බව රහසක් නොවේ. හම්බන්තොට වරාය බදු දීම හා ඉදිරියේදී මත්තල ගුවන්තොටුපොළ බදු දීමට සැලසුම් කිරීමත්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොටස් හිමිකාරීත්ව හුවමාරුවකට ගමන් කරන බව කීමත් ඊට නිදසුන් ය. 

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එකල පැවසූයේ සිංගප්පූරුවේ ‘තමසෙක් ආකෘතිය’ යටතේ එවැනි ආයතන පරිපාලන වෙනුවෙන් වෙනම ව්‍යුහයක් පිහිටුවීමටත් එය රාජ්‍ය ධන භාරය ලෙස නම්කිරීමටත් ආණ්ඩුව සැලසුම් කරඇති බව ය. මේ ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු භාරව සිටින ඇමැති මලික් සමරවික්‍රම ද ඊට සමාන අදහසක් 2016 දී කොළඹ පැවැති ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේදී කීය. 

දැනට වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකා ආණ්ඩුවේ මෙම තෝරාගත් ව්‍යාපාර පෞද්ගලීකරණ සැලසුමට ලෝක බැංකුවේත් ආසියානු සංවර්ධන බැංකුවේත් සහාය හිමිව තිබේ. තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් දෙවැනි මුල්‍යාධාර නිකුතුවේදී පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරණය ගැන තදින්ම අවධාරණය කොට තිබුණි. එවැනි පසුබිමක රාජ්‍ය ආයතන ගැන ජනප්‍රිය තීරණ වෙනුවට යම් විප්ලවකාරී සංශෝධන හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජයට අවට පරිසරය තුළින්ම බලපෑම් එල්ල වී තිබේ. 

එනිසා ඇමැති රාජ්‍ය ආයතන 16ක් පාඩු බලන බවට විශේෂයෙන් සඳහන් කිරීමට මංගල සමරවීර ඇමැතිවරයා පෙළඹෙන්නේ එම ආයතන පෞද්ගලීකරණයට වුවමනා කරන පරිසරය, වටපිටාව නිර්මාණය කරගැනීමට විය යුතුය. නමුත් පෞද්ගලීකරණය යනු මෙරට ජනතාවට නයාට අඳුකොළ වැනි වචනයකි. පෞද්ගලික ව්‍යවසායන් යනු කළුකඩකාරයන් යැයි ද ව්‍යාපාරිකයන් යනු කපටි කෛරාටිකයින් රැළකැයි ද හිතනා මිනිසුන් සිටින රටකදී පෞද්ගලීකරණයට ඉස්සරහා දොරින් තබා පසුපස දොරින් වත් ඇතුළුවීමට ඉඩක් නැත.

මේ තත්ත්වය තුළ පෞද්ගලීකරණය කැපද අකැපද යන්න සිතීමට පෙර රාජ්‍ය ව්‍යාපාර හරහා අපට යහපතක් ඉටුවී ඇත්ද යන කාරණය ගැන සිතන්නට සිදුව තිබේ. පාඩු ලබන රාජ්‍ය ආයතන ලැයිස්තුවේ ඇති බොහෝමයකට එම තත්ත්වය උදා වී ඇත්තේ සේවක අතිරික්තය හා අයහපත් කළමනාකරණ ක්‍රමවේද භාවිතය නිසා ය. මේ ආයතනවල නැති තනතුරු පවා අලුතින් හදමින් තමන්ගේ අයගෙන් ඒවා පිරවීමට දේශපාලකයෝ හුරු වී සිටින්නේ කලක පටන් ය. එය අමුතු කතාවක් නොවේ. නමුත් ඇතැම්විට පෞද්ගලීකරණය හරහා අවහිර වී යන්නේ එසේ දේශපාලකයන්ට රිසි සේ ඩෙඟා නැටීමට හැකි පිටියකි. 

රාජ්‍ය සම්පත් අප රැකගත යුතු බවට විවාදයක් නැත. හම්බන්තොට වරාය රාජ්‍ය දේපළක්ව තිබුණා නම් ඉතා අගනේ ය. නමුත් එසේ රාජ්‍ය සම්පතක්ව තබාගැනීමේ ‘චූන් එක’ ජනතාවට ලැබුණත් එහි වන්දිය ගෙවන්නට සිදුවන්නේත් අසරණ ජනතාවට නම් එසේ රාජ්‍ය ආයතන තබාගැනීමෙන් පලක් නැත. චූන් එක වෙනුවෙන් රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑමෙන් සිදුවන්නේ අසරණ ජනතාව තවතවත් අසරණභාවයට පත්වීමට ය. 

ශ්‍රීලංකන් ගුවන් සේවය එමිරේට්ස් වෙත පැවරීමෙන් පසු ඩොලර් මිලියන 40ක පමණ වාර්ෂික ලාභයක් වාර්තා වුණු බව සඳහන් වේ. එවකට මහා භාණ්ඩාගාරයට ලාභාංශ ගෙවීමට පවා අපේ ජාතික ගුවන් සේවයට හැකිවිය. නමුත් 2011දී ගුවන් සේවය නැවතත් ජනතා සන්තක කිරීමෙන් පසු මහා භාණ්ඩාගාරයට මුදල් එවනු වෙනුවට සිදුවූයේ දිගින් දිගටම එයින් මුදල් උරාගැනීම ය. එනිසා රාජ්‍ය ව්‍යවසාය කළමනාකාරීත්වයේ දුර්වලතාවයට ඇති හොඳම සාක්ෂිය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ය. 

2016 වසරේ මැද සිදුකරන ලද ගණනය කිරීම් අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය ඇතුළු ප්‍රමුඛ රාජ්‍ය සමාගම් හතරක පමණක් ගෙවීමට ඇති ණය මුදල රුපියල් ට්‍රිලියන 1.2කි. 

මේ අතර කෝප් කමිටුව විසින් සමාලෝචනය කෙරෙන රාජ්‍ය සමාගම් 55 අතරින් තවත් 39ක් (පාඩු ලබන 16 හැර සෙසු ඒවා) ලාභ උපයන සමාගම් බව මුදල් ඇමැතිවරයා කියා සිටියේය. විශේෂයෙන්ම ලොතරැයි මණ්ඩල, රූපවාහිනී, රාජ්‍ය බැංකු, රක්ෂණ ආදී ක්ෂේත්‍රවලින් ආණ්ඩුව හොඳ ලාභයක් ඉපැයීම එහිදී කැපී පෙනේ. 

රටක අනාගතය පිළිබඳ තීන්දු තීරණ ගන්නා විට හොඳ ස්ථාවර බවක් ඒවායේ තිබීම වැදගත් බව සැබවි. නමුත් වර්තමාන ආණ්ඩුව පෞද්ගලීකරණ කටයුත්තේදීත් විදෙස් ආයෝජන ලබාගනිද්දීත් ක්‍රියාකරන හිතුවක්කාරී වැඩපිළිවෙළ නිසා ජනතා අප්‍රසාදයට ලක්ව හිඳී. හම්බන්තොට වරාය බදු දීමේදී ආණ්ඩුව මුහුණ පෑ අර්බුදය ඊට හොඳම නිදසුනකි. නමුත් මත්තල ගුවන්තොටුපළ සම්බන්ධ කාරණයේදී ආණ්ඩුඩ තරමක් ඍජු බවක් පෙන්නුම් කර තිබීම ද කැපී පෙනේ. 

වත්මන් ආණ්ඩුවේ ඇති ලොකුම ගැටලුවක් වන්නේ කරන්නට යන දේ කුමක්දැයි ජනතාවට නිසි පරිදි සන්නිවේදනය නොකිරීම ය. රාජ්‍ය සම්පත් පෞද්ගලික අංශයට පවරාදීම යනු ආණ්ඩුවකට හෝ දේශපාලකයන් එක් අයකුට දෙදෙනකුට තනිව තීරණය කළ හැක්කක් නොවේ. ඊට ජනතා අනුමැතිය අවශ්‍ය ය. ජනතා නියෝජිතයන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුව හරහා අදාළ තීරණ නිවැරදිව සාකච්ඡා කොට සෙසු අයගේ යෝජනා අදහස් ද එක් කරගනිමින් එවැනි තීරණවලට එළඹීම දිගුකාලීනව රටට හිතකර වනු ඇත. 

රජිත ජාගොඩ ආරච්චි