2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

පිය පුතු දෙපළ මරාගත් විහිළුව

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

සුරාජ් ධනංජය නාඹර තරුණයෙකි. තමන්ට ගැලපෙන පුංචි පහේ රස්සාවක නියැලී සිටියත් ඉස්පාසුවක් ලද දිනයක හවසට ගමේ අහල පහළ ගැටවුන් හා සෙල්ලමට එක්වීම ඔහුගේ පුරුද්දකි. ගෙවුණු දින කීපයේම සවස් යාමය ඔවුන් වැය කරමින් සිටියේ සරුංගල් යැවීම සඳහාය. මිතුරන් ඇසුරේ උසුළු විසුළුවට ලක්වන සුරාජ් ඔවුන් හා ගැටුම් ඇති කරගන්නට හේතුවන කාරණා කීපයකි.

සුරාජ් අහිංසක සතුන්ට කරුණාවන්ත බව කියති. ගමේ පුරන් කුඹුරු අද්දර ගැටගසන වසු පැටවුන්ටත් ඔහුගේ කරුණාව එසේමය. සුරාජ්ගේ මේ සතුන් කෙරෙහි දක්වන ආදරය මිතුරන්ට අමුතු අත්දැකීමකි. ඒ නිසාම ඒ ගැන කියමින් සුරාජ්ට විහිළු කරමින් ඔහු තරහා ගැස්සීමට මිතුරන් ප්‍රිය කළෝය. සුරාජ් හා මිතුරන් පිරිස අවසන් වරට සරුංගල් යැවීමේ නිරතව තිබුණේ පසුගිය 25 වැනි සිකුරාදා සවස් යාමයේය. එදිනත් සුපුරුදු ලෙසින්ම සුරාජ් සිය හිතවතුන් අතරේ විහිළුවකට ලක්වෙමින් මහත් ලජ්ජාවකට පත් විය. මෙහිදී සීමාව ඉක්මවා ගිය සුරාජ්ගේ කේන්තිය නිසා මිතුරන්ට වූයේ දොස් අසන්නට හා පහර කෑමෙන් අමාරුවෙන් ගැලවෙන්නටය. මේ සිද්ධියට ප්‍රතිඋත්තර බැඳි පිරිස නිසා කතාව දිග්ගැස්සී තිබුණේ සිදුවීම සිය නිවෙස්වලටත් ආරංචි වූ ආකාරයටය.

දිනය එසේ නිමවෙද්දී මිතුරෝ පිරිස නිවෙස් බලා ගියහ. ඔවුන්ගේ නිවෙස්වලට එම සිදුවීම සැලවී තිබූ නිසා මව්පියවරු ඒ ගැන විමසන්නට වූහ. එයින් බලවත් ලෙස අමනාපයට පත්ව සිටි සුරාජ් සිදුවීම අකුරක් නෑර වැඩිහිටියන් වෙත පවසා සිටියේය. ඒ මොහොතේ කේන්තියෙන් පිරුණු හිත් අස්වසන්නට නිවැසියන් කටයුතු කළද කාරණය අදාළ දරුවන්ගෙන් විමසීම සුදුසු යැයි සුරාජ්ගේ පියාට හැඟෙන්නට ඇත. මේ පිළිබඳව එදා රාත්‍රියේ නිදියහනේදීද ඔහු කල්පනා කරන්නට ඇත.

සුරාජ් ධනංජයගේ පියා ලාල් සිල්වා 50 හැවිරිදිය. ඔහු තොග මිලට කරවල රැගෙනවිත් කුඩා පැකට් ලෙස සකස් කර සිල්ලරට අලෙවි කිරීමේ නිරතව සිටියේය. දිනපතා කරවල පැකට් රැගෙන සිය යතුරු පැදියෙන් ගමන් කිරීම ඔහුගේ රාජකාරියයි. පෙරදා තම පුත්‍රයා හා ගමේ තරුණයන් අතර වූ ගැටලුව හිතේ තබාගෙන අවදි වූ ලාල් සිල්වා නිවෙසින් පිටව ගියේ සිය ව්‍යාපාර කටයුතු සඳහා සූදානමෙනි. පෙර දින සිය පුත්‍රයා හා ගමේ තරුණයන් අතර වූ සිදුවීමට මැදිහත් වූ අසල්වැසි නිවෙස් හිමියන්ගෙන් කාරණය විමසා වෙළඳාමට යා යුතු යැයි ලාල්ට සිතෙන්නට ඇත. ඒ නිසාම ඔහු එම නිවෙස අද්දරට යතුරු පැදියෙන් ගමන් කරන්නට ඇත. එම නිවසේ ගේට්ටුව වසා තිබුණු නිසා යතුරු පැදිය එතැන නවතා එම නිවැසියන්ගෙන් කරුණු විමසුවා විය හැකිය. කරුණු විමසූ ක්‍රමය හෝ අදහස් හුවමාරු කළ ආකාරය ගැන පිටස්තරයන්ට අවබෝධයක් නැත. නමුත් කල්වේලා නොයා කතාබහ බහින්බස් වීමක් බවට වර්ධනය වන්නට ඇත. ඒ වන විටත් එම නිවසේ රැඳී සිට තිබුණේ සුරාජ් හා ගැටුම ඇතිකරගත් බව කියන තරුණයා සහ ඔහුගේ මාමා වන පුද්ගලයෙකි. ලාල්ගේ කතාබහ මැදට පැනගත් පෙර කී තැනැත්තා නිසා එය ගැටුමක් බවට පත් වූයේය. දිගින් දිගටම පැවති වාදය නවත්වා පිරිස දෙපසට කරන්නට එම නිවසේ ඥාති කාන්තාවන්ද එතැනට රැස් වූවෝය.

‍මේ අතර ගෙදර ගේට්ටුවේ සිට ප්‍රධාන මාර්ගය දක්වා මීටර් 25 ක් පමණ ලාල් හා පෙර කී තැනැත්තා පැමිණ තිබුණේ වාද විවාද මැදිනි. ඒ වන විටත් එහි රැස් වූ කාන්තාවන් කිහිපදෙනෙකි. ඔවුන් පැළඳ සිටි පාවහන් මීටර් 25 ක් දුර ඒ මේ අත වැටී තිබුණි. එම ස්ථානයට මඳ දුරක් ඈතින් පිහිටි ලාල්ගේ නිවසේ උන් පුත්‍රයාට මේ පිරිසේ ගෝරනාඩුව ඇසී තිබුණි. එසැණින් ඔහු වටහා ගත්තේ තම පියා අසල්වැසි නිවැසියන් හා ගැටුමක් ඇතිකරගෙන ඇති බවය. ඉන් කිපුණු ඔහු වහා යකඩ පොල්ලක් අතටගෙන පිරිස සිටි ස්ථානයට දිව ගියේය. ඒත් සමඟ පිරිස අතර ගැටුම උග්‍රවෙමින් තිබුණි.

එම ස්ථානයේ පිහිටි නිවෙස්හිමියා ඔහුගේ අන්නාසි වත්ත වෙත ගොස් සිට නැවත යතුරු පැදියෙන් එමින් සිටියේ මේ මොහොතේය. තම පවුලේ බිරිය, දරුවා හා මස්සිනා ගැටුමකට මැදි වී සිටියදී ඔවුන් අත ලී පොලු හා උදලු මිටක් ද, අනෙක් පාර්ශ්වය අත යකඩ පොලු ද තිබෙනු දුටු අවස්ථාව ඔහුට සිහියක් පතක් ඇති නොකළ තරමය. මේ වන විට කේන්තියෙන් පසුවෙමින් සිටි සුරාජ් අත වූ යකඩ පොල්ලෙන් පැමිණෙමින් සිටි අයට පහරදෙන්නට උත්සාහ ගත්තේය. එසැණින් ක්‍රියාත්මක වූ අන්නාසි වත්ත හිමිකාර තැනැත්තා අත වූ අන්නාසි කපන වක්පිහිය ඒ මේ අත වනමින් සුරාජ්ට පහර එල්ල කළේය. එම පහරදීම වළකන්නට උත්සාහ ගත් ලාල්ටත් පිහි පහර කීපයක් වැදීමත් සමඟ බිම ඇද වැටුණේ ලේ පෙරෙමින් තිබියදීය.

ගම දෙවනත් කරමින් නැඟුණු ඝෝෂාව දෙසට අනෙකුත් ගම්මුන් පැමිණෙද්දී කැපුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයේ බිම වැතිරී සිටි පිය පුතු දෙදෙනා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කරන්නට ඔවුන් පියවර ගෙන තිබුණි. ඒ වන විටත් තුවාලකරුවන් දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය. මෙම අවාසනාවන්ත සිදුවීම ඉකුත් 26 වැනිදා පෙරවරුවේ මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පිය පුතු දෙපළක් සහ ඔවුන්ගේ ඥාතියකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරී ශ්‍රී ලාල් පෙරේරා, මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජීවක රාජපක්ෂ, පොලිස් පරීක්ෂක වීරසිංහ, උපපොලිස් පරීක්ෂක ඒකනායක සහ පොලිස් සැරයන් 17922 නිහාල් යන අය වැඩිදුර විමර්ශන සිදු කරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00