2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

දුව නැතිව මං

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

දෙවියන්ගේ අඩවිය (Not without my Daughter) ලියුවේ බෙටී මහමුදි නම් අමෙරිකානු කාන්තාවය. අනුල ද සිල්වා පරිවර්තනය කළ එහි සිංහල අනුවාදය ද මෙරට තුළ ද අතිශය ජනප්‍රියත්වයට පත් විය. ඇය අමෙරිකාවේදී හඳුනාගන්නා ලද ඉරාන ජාතික වෛද්‍යවරයකු හා විවාහ වී ලැබෙන දියණිය ද (මාතුබී) සමඟ ඉරානයට යන්නීය. ඉරානයේ දී වෙනස් සංස්කෘතියක් හා ගැටෙන බෙටී ඇගේ සැමියා වූ සයිඩ් මහමුදිගේ කර වධ බන්ධනයට ලක්වන බවත් ඒ නිසා කඳුකරය හරහා ඉරානයෙන් පලායාමට සැලසුම් කළ අන්දමත් තම කෘතියෙන් විස්තර කරන්නීය. ලොව පුරා ජනප්‍රිය වූ එම කෘතිය අමෙරිකාවේ පමණක් පිටපත් කෝටියකට අධිකව අලෙවි විය. පොත පදනම් කරගෙන තැනූ චිත්‍රපටයට ද බටහිර රටවලින් උණුසුම් ප්‍රතිචාර ලැබුණි.

නමුත් පොතට මෙන්ම චිත්‍රපටයට ද ඉරානයෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාර නොවේ. ඉරාන ජාතිකයන් සහ ඔවුන්ගේ සංස්කෘතියට ඉන් ප්‍රහාර එල්ල කළ බවට විරෝධතා හට ගැනිණි. එම කෘතියෙන් කියැවුණේ මවගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමකි.

බෙටීගේ ඉරාන ජාතික සැමියා වූ සයිඩ් මහමුදි විත්තිකාර පාර්ශ්වය නියෝජනය කරමින් ලියූ කෘතිය Lost without my Daughter නමින් පසුගියදා පළ කෙරිණි. එයට බෙටීගේ කෘතියට තරම් ඉහළ ප්‍රතිචාරයක් හිමි නොවුණත් බෙටීගේ කෘතිය කියවූ පාඨකයන් කියවිය යුතුම පොතක් ලෙස පැවසිය හැකිය. එම කෘතිය පසුගියදා අනුල ද සිල්වා විසින් පරිවර්තනය කර දුව නැතිව මං නමින් සූරිය ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. තමා දෑස සේ ආදරය කළ දියණියත් තම බිරියත් අහිමිවීමේ මානසික පීඩාව විඳින පියකුගේ අත්දැකීම් එම කෘතියේ විස්තර වේ. මම බෙටීට පහරදුන් බව, මගේ ආදරණීය දියණියට පහරදුන් බව කෙසේ පිළිගන්නද? ඔවුන් සාගොස් කඳු හරහා යාම පිළිගත හැකිද? ජනවාරි මාසයේ සීතලත් සමඟ ඒ කඳුවැටිය තරණය කිරීම කිසිවකුටත් කළ නොහැක්කකි. එම කෘතියෙහිලා සයිඩ් පවසයි.

තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ලෝකයා හමුවේ පාපොච්චාරණයක යෙදෙන සයිඩ් පාඨකයා නොදුටු පැත්තක් අනාවරණය කරයි. සයිඩ් මහමුදි ඉරානයේ ධනවත් පවුලක සාමාජිකයෙකි. මේ නිසා බෙටීට හා දියණියට (මාතුබීට) බොහෝ සැප සම්පත් ලබා දුන්නේය. එහෙත් බෙටී පවසන්නේ ඇය දුෂ්කර කටුක ජීවිතයක් ගත කළ බවය. මෙම පොත් දෙකම කියවීමෙන් පාඨකයාට නිවැරදි කව්දැයි වටහාගත හැකිවනු ඇත. ආදරණීය මාතුබී, මම හැමදාම ඔබව ආදරයෙන් බලාගත්තා. ඉදිරියටත් එහෙමයි.සයිඩ් තම කෘතිය අවසාන කරන්නේ එලෙසිනි.

 පාඨක

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00