ලෙනින්ලා, ස්ටාලින්ලා, ට්‍රොට්ස්කිලා හැබෑවක් බවට පත්කරන්නට උත්සාහ ගත් මාක්ස්ගේ එංගල්ස්ගේ සමාජවාදී හීනය අසූ ගණන් අග බිඳවැටෙන්න පටන්ගත්තේ සමාජවාදය ලෝකයෙන් නැත්තටම නැතිවෙලා යාවිද කියන සැකය මතුකරමිනුයි. මොකද ඒ තරමටම යැංකි ධනවාදී කඳවුර බලවත් වෙලයි හිටියෙ. හැබැයි සමාජවාදයේ නටබුන් කියලා හරි කියන්න පුළුවන් ගාණට චීනය, කියුබාව, වියට්නාමය, ලාඕසය වගේ රටවල් කිහිපයක් ඉතුරුවුණා.
මේ අතරින් එක රටක්වත් සෝවියට් රුසියාව තරම් සමාජවාදය පැත්තට ගියාද කියන එක ගැන හොඳට කල්පනා කරන්න වෙනවා. සමාජවාදෙ කියන්නෙ හැමදේම ආණ්ඩුව භාර අරන් කරන එක කියල කියනවා නම් ඒවත් සමාජවාදී රටවල් කියල කියන්න පුළුවන් වෙයි. ඒත් සමාජවාදයෙන් බලාපොරොත්තු වෙන සමානාත්මතාවය ඒ රටවල තියෙනවාද කියලා නම් ලොකු සැකයක් තියෙනවා.
මේ ඇත්තටම සමාජවාදෙ අංගෝපාංග ගැන කරන්න හදන කතාවක් නම් නෙමෙයි. සමාජවාදී කියලා කියන ඔය රටවල්වලට වඩා සමාජවාදයක් තියෙන ලෝකෙ අනිත් රටවල් ටිකක් ගැන කතාකරන්නයි වුවමනාව.
ස්කැන්ඩිනේවියාව කියන්නේ ලංකාවෙ අපිට එච්චර හුරුපුරුදු පැත්තක් නෙමෙයි. හැබැයි අපි හැමෝම දන්න කියන රටක් නම් එහේ තියෙනවා. සමහරුන්ට අනුව විජාතික බලවේගයක් වෙච්ච, තවත් සමහරුන්ට අනුව අපි ගැන කැක්කුමෙන් අපිට උදව් කරන්න ආපු, තවත් පිරිසක් කියන විදිහට තමන්ගෙ රටේ ප්‍රශ්න නැති නිසා අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන පස්සෙ විඳවන රටක් වෙන නෝර්වේ රාජ්‍යය අයිති වෙන්නෙ මේ ස්කැන්ඩිනේවියුනා කලාපයටයි.
යුරෝපයේ උතුරුදිගින් පිහිටලා තියෙන මේ කලාපයට නෝර්වේට අමතරව ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය කියන රටවල් අයිති වෙනවා. මේ කලාපය හරියට අපිට දකුණු ආසියාව වගෙයි. පොදු සමාන ලක්ෂණ ගොඩක් තියෙන රටවල් කිහිපයක එකතුවක්. හැබැයි අපියි එයාලයි නම් අහසට පොළොව වගේ.
දකුණු ආසියාවට දුප්පත්කම, රස්සා නැතිකම, ත්‍රස්තවාදය පොදු ලක්ෂණ වෙද්දි ස්කැන්ඩිනේවියාවේ පොදු සමානකම් තමයි දියුණු ජීවන තත්ත්වය, ඉහළ මානව අයිතිවාසිකම්, ඉහළ අධ්‍යාපනය වගේ දේවල්. ඒකයි අහසට පොළොව වගේ කිව්වෙ.
සමාජවාදයයි, ස්කැන්ඩිනේවියාවයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද? ඊළඟට ප්‍රශ්නයක්!
පොතේ හැටියට මේ රටවල් එකක්වත් සමාජවාදී රටවල් නෙමෙයි. ඒවා හැම එකකම තියෙන්නෙ ධනවාදී ආර්ථික මොඩල. හැමදේටම ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නෑ. පෞද්ගලික ව්‍යාපාර වැහි වැහැලා. පුද්ගල නිදහස උපරිමයි. එහෙම වුණත් අද ලෝකෙ ඉහළම සමාජවාදී රටවල් ගොන්නෙ පෙරමුණේම ඉන්නෙ මේ රටවල්.
සමාජවාදෙ හරි ධනවාදෙ හරි කොටින්ම ෆැසිස්ට්වාදෙ හරි අවසාන පරමාර්ථය වෙන්න ඕනෙ, මිනිස්සුන්ගෙ සතුට. ඉතින් මේ රටවල්වල ධනවාදී ලිබරල් කියන ආර්ථික මොඩලයක් තිබ්බට ඒ හැම මනුස්සයෙක්ගෙම අයිතිවාසිකම් පුදුම විදිහට ආරක්ෂා කරලා තියෙනවා. සමානාත්මතාවය කියන්නේ ඒ රටවල තියෙන තවත් කැපීපෙනෙන ලක්ෂණයක්. මේ රටවල් එකකවත් ලොකු මිනිස්සු පොඩි මිනිස්සු කියලා භේදයක් නැහැ. ආණ්ඩුවෙ කන්තෝරුවකට ගියාම, පොලිසියට ගියාම, ඉස්කෝලෙට ගියාම ලොකු පොඩි කියල වෙනසක් නැහැ. එකම සැලකිල්ල ලැබෙනවා. අන්න ඒ නිසා තමයි ලෝකෙ වඩාත්ම සතුටින් ඉන්න කලාපය විදිහටත් මේ ස්කැන්ඩිනේවියානු රටවල් සැලකෙන්නෙ.
මේ වෙද්දි ලෝකෙ සතුටින්ම ඉන්න ජනතාව ජීවත් වෙන්නේ ඩෙන්මාර්කයේයි. ෆින්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනයත් ඒ ලැයිස්තුවේ උඩින්ම ඉන්නවා. මේ ජනතාවගේ සතුටට ලොකු හේතුවක් තමයි, ඒ රටවල තියෙන ඉහළ සමාජ ආරක්ෂණ වටපිටාව. එයාලට රක්ෂණ ක්‍රම හරහා අධ්‍යාපන, සෞඛ්‍ය සේවා නොමිලයේ ලැබෙනවා. රස්සාවක් නැත්නම් ආණ්ඩුවෙන් දීමනාවකුත් දෙනවා. ඒ විතරක් නෙමෙයි පෞද්ගලික අංශයෙන් රස්සා හොයාලා දෙන්නත් ආණ්ඩුව ඉදිරිපත් වෙනවා.
හැබැයි මේ රටවල ඉහළ බදු ප්‍රතිශතයක් අය කෙරෙනවා. ව්‍යාපාරවලින්, ධනවතුන්ගෙන් අය කරන බදුවලින් රටේ සියලු ජනතාවට එක සමාන ප්‍රතිලාභ දෙනවා.
චීනයේ, කියුබාවේ හෝ වියට්නාමයේ සමාජවාදී ලේබල් එක මෙයාලට නැතිවුණාට ඒ ලේබල් එකට එහා ගිහින් තමන්ගෙ රටේ මිනිස්සු වෙනුවෙන් උපරිම දේ කරන්න ඒ රටවල් පෙළඹිලා තියෙනවා. ඒ හින්දා තවදුරටත් සමාජවාදය කියන්නෙ විප්ලවයම නෙමෙයි!