2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

සප්තකන්‍යා කඳුවළල්ලට බැල්ම හෙලන Daynish Rock Bungalow

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 259

නුවරඑළිය කියන්නේ අවිවාදයෙන්ම ලංකාවේ තියෙන හොඳම සංචාරක ගමනාන්තයක්. හැබැයි නුවරඑළිය වගේම ඒ අවට තිබෙන හක්ගල, හැටන්, අඹේවෙල, දික්ඔය වගේ ප්‍රදේශත් දැන් විශාල වශයෙන් සංචාරකයින් ගැවසෙන ප්‍රදේශ බවට පත්වෙලා. මේ කියන්න සූදානම් වෙන්නේ හැටන් ප්‍රදේශයට එක්වුණු අලුත්ම සංචාරක හෝටලයක් එහෙමත් නැත්නම් බංගලාවක් ගැනයි. 

Daynish Rock Bungalow නම් මේ අලුත්ම සංචාරක නවාතැන පිහිටා තිබෙන්නේ සුන්දර කඳු ගැටයක් මුදුනේයි. සමනොළ කන්දත්, සප්ත කන්‍යා කඳුවැටියත් දෙසට මුහුණලා ඉදිකර තිබෙන මේ හෝටලය මේ වනවිට බොහෝදෙනෙක්ගේ ආදරය දිනාගත් සංචාරක නැවතුම්පොළක් බවට පත්වෙලා. 

අවට පරිසරයේ සුන්දරත්වය නිසාම මෙය විවේකී බව හා සොබා සෞන්දර්යය යන තේමාවට වැඩි ඉඩක් හිමිවන ලෙස නිර්මාණය කරතිබෙනවා. අලුතින් තැනූ හෝටලයක් වුවත් එහි ඇතැම් වාස්තු නිර්මාණ සැලසුම් යටත් විජිත යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය සිහිගන්වනවා.  මෙහි මුළු කාමර සංඛ්‍යාව 19යි. මේ හෝටලය ඉදිකර ඇත්තේ බංගලා දෙකක් වශයෙන්. ඉන් එකක කාමර 5ක් සහ අනෙකේ කාමර 11ක් වශයෙන් පවතිනවා. ඊට අමතරව තවත් කබානා මාදිලියේ කාමර කිහිපයකුත් එහි දකින්න පුළුවන්. 

මෙහි නවාතැන් ගන්නා සංචාරකයන්ට අසල මිටියාවත් ඔස්සේ ඇවිද යන්න වගේම බයිසිකල් මත නැඟී වැඩි දුරක් සංචාරය කරන්නත් අවස්ථාව හිමිවෙනවා. ඊට අමතරව හෝටලය ඇතුළතත් විවේකයට විනෝදයට පහසුකම් පවතිනවා. 

Daynish Rock Bungalow හි කෑම බීම දේශීය ආහාරපානවල සිට ජාත්‍යන්තර ආහාරපාන දක්වා විශාල පරාසයකට අයත් වෙනවා. ඒ සඳහා යොදාගන්නා නැවුම් එළවළු සහ පළතුරු නෙලාගන්නේ හෝටල් භූමියේ පවත්වාගෙන යන වගාවෙන් වීම විශේෂත්වයක්. ඒ වගේම නැවුම් තේ දලුවලින් පිළිගැන්වෙන High Tea සංග්‍රහයක් හවස්වරුවේදී හෝටල් ගෙවත්තේ සිට රසවිඳීමේ අවස්ථාවත් හිමිවෙනවා.  නුවරඑළිය, හෝර්ටන් තැන්න, කාසල්රී සහ මස්කෙළිය ජලාශ, ඩෙවෝන් සහ සෙන්ට් ක්ලෙයාර්ස් දියඇලි වගේ සුන්දර ස්ථාන රැසකට මේ අපූරු හෝටලයේ සිට කෙටි වේලාවකින් ළඟාවෙන්න පුළුවන්. 
 
 සනත් වීරසූරිය