ආයුර්වේදයේ දී තෙලට ඇත්තේ සුවිශේෂී තැනකි. සෑම තෙලකටම ප්‍රමිතියක් තිබිය යුතුයි. ඒ සඳහා කරුණු තුනක් තිබිය යුතුවේ. එනම් එම තෙලෙහි ගුණාත්මක භාවයන් තිබිය යුතුය. එය ශරීරයේ ගැල්වීමෙන් රෝගය සුවපත් වීමේ හැකියාවක් තිබිය යුතුයි. අවසාන කරුණ වනුයේ එය ගැල්වීමෙන් රෝගියාට අතුරු ආබාධ ඇති නොවිය යුතුයි.
ආයුර්වේදයේ ද තෙල නිෂ්පාදනය කරද්දී ඉතා පිරිසුදුව එය නිෂ්පාදනය කළ යුතු බව සඳහන් වේ. විශේෂයෙන් කෙළ, සොටු, දුවිලි, දාඩිය ආදී මේදේවල් මිශ්‍ර නොවන ලෙස තෙල නිෂ්පාදනය කළයුතුවේ. එමෙන්ම තෙල නිෂ්පාදනය කරද්දී ගින්දර පිළිබඳව සැලකිලිමත් විය යුතුය. තෙල ළිපේ තියෙද්දී හිඳීගෙන යද්දී එය ළිපෙන් ඉවතට ගත යුතුවේ.
තෙලක් පාවිච්චි කරන්නේ කොහොමද?
තෙලක් පාවිච්චි කරන ක්‍රම කීපයකි.
1. නෂ්ණ කිරීම - නාසය මඟින් තෙල ශරීරයට ඇතුල් කිරීම නෂ්ණ කිරීම වේ.
2. වස්ති කිරීම - ගුද මාර්ගයෙන් තෙල ශරීරය තුළට ඇතුළු කිරීම මේ නමින් හැඳින්වේ.
3. අභ්‍යංග කිරීම - තෙල ශරීරයේ ගැල්වීම අභ්‍යංග ක්‍රමය නමින් හැඳින්වේ.
4. පාන කිරීම - ඇතැම් රෝග සඳහා තෙල් පානය කිරීමට සැලැස්සීම පාන ක්‍රමය ලෙසින් හැඳින්වේ.
• නාරායන තෛලය
නාරායන යනු විෂ්ණු දෙවියන්ට කියන නමකි. මෙය ඉතා ප්‍රසිද්ධ තෛලයක් වූ අතර එහි වැඩිපුරම ඇත්තේ අමුක්කරාය. එමෙන්ම එළබටු, මුරුංග පොතු, බැබිල, කටුවැල්බටු, සුදු හඳුන්, බැබිල, කොට්ටං, සුදු හඳුන් වැනි දේ කල්කයක් ලෙස දමාය. එමෙන්ම මෙම නාරායන තෛලයට තල තෙලද එයට සමාන ප්‍රමාණයෙන්ම හාතවාරිය අල යුෂද එළකිරිද එක්කිරීම කරයි.
මෙම නාරායන තෛලය අංශභාග රෝගීන්ට, පක්ෂ රෝගවලට ඉතා ගුණදායක වේ. එමෙන්ම කොන්ද අමාරුවට, බෙල්ලේ අමාරුවට, අතපය වේදනාවට රුධිර ආශ්‍රිත රෝගවලට ද ඉතා ගුණදායක වේ.
• පිණ්ඩ තෛලය
පිණ්ඩ තෛලයහි අඩංගු වන්නේ ඉරමුසු, වැල්මදටිය, මී ඉටි වර්ගයයි. මෙම කල්කයට තල තෙල් එකතු කරයි. මෙය උකු ඝනකමින් වැඩි තෙලකි. ලේ පිරිසුදු කිරීම, හිස්සොරි සඳහාත්, සමේ ඇතිවන ලෙඩ රෝග සඳහා ද ඉතා ගුණදායක තෙලක් ලෙසින් පිණ්ඩ තෙල හැඳින්විය හැක.
• නීල්‍යාදී තෛලය
හිසකෙස් සඳහා යෙදිය හැකි ඉතා ගුණදායක තෙලක් ලෙසින් නීල්‍යාදී තෛලය හැඳින්විය හැක. මෙය සීතල ගුණ ඇති තෙලකි. නීල්‍යාදී තෛලය සෑදීමේදී නිල අවරිය, කුඹුක් මල්, වැටකේ, නෙළුම් දඩු, කළු තල, යහළු වැනි දේ යොදා ගැනිනි. උදුගොව්වන් කෑම වැළක්වීමට හිසට යොදන නීල්‍යාදී තෛලයෙහි ඇති සීතල පිළිබඳව සැලකිලිමත් වෙන්න.
• සිද්ධාර්ථ තෛලය
හාතවාරිය සිද්ධාර්ථ තෙලෙහි ඇති ප්‍රධානම ද්‍රව්‍ය වන අතර බෙලි, මිදි, තල, බැබිල මුල්, එළබටු, පොල්පලා, කටුවැල් බටු, එරං මුල් ද කල්කය සඳහා යොදා ගැනේ. කසාය ලෙසින් තලතෙල් සහ එළකිරි යෙදේ.
සිද්ධාර්ථ තෙල නෂ්ණ කිරීම, පාන කිරීම, අභ්‍යංග කිරීම ආදියෙන් ද රෝගියාට ලබාගත හැක. නමුත් සිද්ධාර්ථ තෙල දණහිස්වලින් පහළ කොටසේ ආලේප නොකරයි. සිද්ධාර්ථ තෙල් ස්වල්පයක් රත්කර පපුවේ අලේප කිරීමෙන් හෘද රෝගීන්ට ඉතා ගුණදායක වන අතර හිසේ කැක්කුම්වලටද සිද්ධාර්ථ තෙල ඉතා ගුණදායක තෙලකි.
• ඉරිමේදාදිය තෛලය
දත් රෝග සඳහා ඉතා ගුණදායක තෙලක් ලෙසින් ඉරිමේදාදිය තෙල හැඳින්විය හැක. ශූරන්ද පොත්ත, කරාබු නැටි, වැල්මී, කලාඳුරු, කැප්පෙට්ටියා වැනි දේ මේ සඳහා යොදා ගැනේ. කසාය සඳහා තල තෙල් යොදා ගැනේ. දත් අවපැහැ ගැන්වීම, දත්මුල් දියවීම, දත් රිදීම, වැනි බොහෝ දත් රෝග සඳහා ඉරිමේදාදිය තෛලය ඉතා ගුණදායක වේ.