ධනවතකු වීමට අප කවුරුත් කැමැතිය. අද සමාජයේ සියල්ලන්ගේම අපේක්ෂාව හොඳ රැකියාවක් කර වැඩිපුර මුදල් උපයාගෙන ගෙයක් දොරක් තනා යහපත් විවාහයක් සිදුකරගෙන යාන වාහන ද හිමිකර ගනිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමටය. නමුත් මේ බලාපොරොත්තුව ඉටුවෙන්නේ කීයෙන් කී දෙනාටද? අද සමාජයේ සැමදෙයටම මුදල් ප්‍රමුඛ වේ. මෙය මුදල් මත වැජඹෙන සමාජයකි. බල්ලන් මරා හෝ සල්ලි හොයාගත යුතු යැයි ගැමි වහරක කියැවේ.
දිවා රාත්‍රී දෙකේම දැඩි සේ වෙහෙස වී මුදල් හරි හම්බ කළ ද ජීවිතයම අසාර්ථක කරගෙන අභාග්‍යසම්පන්න ජීවිත ගත කරන අය ද නැත්තේම නොවේ. එහෙත් ඇතැමුන්ට එතරම් වෙහෙසක් මහන්සියක් නැතිව නිකන්ම කාලය ගත කරමින් මුදල් උපයා ගැනීමට වාසනාව පෑදී තිබේ. මුදල් ඉපැයීමට මුල් වූ කරුණු දෙකක් ඇත. ඒ අධිෂ්ඨානය හා උත්සාහයයි. කෙසේ වුවද හරි හම්බ කරන මුදල් නැති නාස්ති කරගෙන අන්ත දිළින්ඳන් වූවෝද සිටිති. යම් කෙනෙකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමෙන් මෙම තත්ත්වයට හේතු සොයාගත හැකිය.
කේන්ද්‍රය ධන භාවය ප්‍රදර්ශනය වන්නේ එහි දෙවැනි කොටුවෙනි.
දෙවන භාව ස්ථානය අධිපති ග්‍රහයා 5, 9, 11 යන භාව ස්ථානයක අධිපතියන් සමඟ යහපත් ලෙස ස්ථානගතව සිටී නම් එම කේන්ද්‍ර හිමියා මුදල් අතින් ඉතා ඉහළ තත්ත්වයට පත්වෙයි. එසේම යම් විදියකින් මෙම ග්‍රහයා 6, 8, 12 යන දුෂ්ඨ ස්ථාන අධිපතියන් සමඟ සංයෝග වී ඇති නම් ඔහු මුදල් අතින් දිළිඳු බවට පත්වනු ඇත.
ලග්න ස්ථානයේ සතුරු ග්‍රහයකු සිටියදී 2 වැනි භාව ස්ථානය අධිපති ග්‍රහයා ද එම ස්ථානයේ තැන්පත්ව සිටී නම්, ඔහුට මුදල් අතින් නිතර අඟහිඟතා ඇති වේ. එසේ වුවද යම් ලෙසකින් ලග්න ස්ථානයේ සුබ ග්‍රහයකු තැන්පත්ව සිට එම ග්‍රහයා සමඟ 2 අධිපති ග්‍රහයා සිටී නම් මුදල් දුෂ්කරතා ඇති නොවනු ඇත.
දෙවැනි භාව ස්ථානය අධිපති ග්‍රහයා එම ස්ථානයේම සිටීමෙන් මුදල් දුෂ්කරතා ඇති නොවේ. යම් ලෙසකින් ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා පාප ග්‍රහයන්ගෙන් පීඩාවට පත්ව සිටී නම් වෙනත් අයථා සම්බන්ධතාවලට ලක්වීමෙන් මුදල් නැති නාස්ති කරගනී. එහෙත් සිකුරු යහපත් ලෙස පිහිටා සිටී නම් සැප සම්පත් පිරි යුගදිවියක් උරුම වේ.
දෙවැනි භාවය හිමි ග්‍රහයා තුන්වැනි භාවයේ සිටී නම් තම හැකියාවෙන් හා දක්ෂකමින් මුදල් උපයන්නට හැකි වේ. යම් ලෙසකින් මේ ග්‍රහයාට එම ස්ථානය අශුභ වේ නම් ඔහු තනි මතයට කටයුතු කරන හිතුවක්කාරයකු වෙයි. යහපත් ලෙස පිහිටා තිබේ නම් සැප සම්පත් වලින් පිරි යුගදිවියකට උරුමකම් පායි.
දෙවැනි භාව ස්ථානය අධිපති ග්‍රහයා 3 වැනි භාවයේ වේ නම් හැකියාවෙන් හා ශක්තියෙන් මුදල් උපයන්නෙක් වෙයි. යම් ලෙසකින් මෙම ග්‍රහයාට එම ස්ථානය අශුභ වේ නම් තනි මතයට ක්‍රියා කරන මුරණ්ඩු අයකු වෙයි. මෙහි යහපත් පැත්ත වන්නේ මුදල් වැය නොකරන මසුරකු වීමය.
යමෙකු පවුලේ යහපත ගැන සිතා ඉතාම පරිස්සමින් මුදල් පරිහරණය කරන්නේ නම් ඔහු හෝ ඇයගේ ජන්ම පත්‍රයේ දෙවැනි ස්ථානය අධිපති ග්‍රහයා 4 වැනි භාව ස්ථානයේ තැන්පත්ව ඇත. මේ ග්‍රහයා දුර්වල වේ නම් තම මවුපස ඥාතීන් සමඟ විරුද්ධවාදීකම් ඇතිකර ගනී.
පාප බලපෑමෙන් තොරව 2 වැනි භාවාධිපති ග්‍රහයා 5 වැනි භාව ස්ථානයේ තැන්පත්ව සිටී නම් කේන්ද්‍ර හිමියාට ලොතරැයි දිනුමක් ලැබීමට බොහෝ දුරට ඉඩ ඇත. කෙසේ හෝ හදිසි ධනයක් ලැබේ.
දෙවැනි භාව ස්ථාන අධිපතියා 6 වැනි භාව ස්ථානයේ තුන්වැන්න අධිපතියා සමඟ පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වීමෙන් ඉතාම දුක් මහන්සියෙන් මුදල් උපයන අයකු වෙයි. එසේම 6 වැනි භාව ස්ථානය 2 වැනි භාව ස්ථානාධිපතිට අයහපත් වූ විට සමාජයේ අසම්මත ක්‍රියාවලින් මුදල් උපයන්නකු වෙයි. ඒ හේතුවෙන් නීති ගැටලු ද උද්ගත වේ.
දෙවැනි භාව ස්ථාන අධිපති ග්‍රහයා 7 වැනි භාව ස්ථානයේ යහපත්ව පිහිටා ඇති විට තම දරුපවුල සමඟ යහපත් ජීවිතයක් ගත කරන්නෙකි. එසේම ධනවතකු ද වෙයි. එහෙත් මෙම ස්ථානය 2 වැනි භාවය අධිපතිට සතුරු වේ නම් අයථා වැඩ නිසා උපයන ධනය නාස්ති කරගන්නා අයකු වෙයි.
අටවැනි භාව ස්ථානයේ දෙවැනි භාවාධිපතියා යහපත්ව සිටී නම් හොඳ දායාදයක් ඇතුව විවාහ වීමේ භාග්‍යය ලබයි. මෙම ස්ථානය අයහපත් වූ විට විවාහය දෙදරා යනු ඇත.
නමවැනි භාව ස්ථානයේ දෙවැනි භාවාධිපති යහපත් ලෙසට යෙදී ඇති නම් දෙමාපියන්ගේ පරම්පරාගත ධනයට උරුමකම් පායි.
දෙවැනි භාව ස්ථානාධිපති 10 වැන්නේ යහපත්ව සිටින විට උසස් රැකියාවක් කර යහපත් ලෙස මුදල් උපයා ගැනීමට හැකි වේ. යම් ලෙසකින් සෙනසුරු සමඟ 2 අධිපතිව සිටී නම් කය වෙහෙසා මුදල් උපයා ගැනීමට සිදුවනු ඇත.
දෙවැනි භාව ස්ථානාධිපතිවරයා 11 වැන්නේ යහපත්ව තැන්පත් වී සිටින විට ධනවතෙකු වෙයි. තම දරුවන්ගෙන් උදවු උපකාර ලැබෙනු ඇත.
ජ්‍යොතිෂවේදී
සමන් කළුආරච්චි
හැඳල