2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

පොලීසියේ අසාධාරණයට එරෙහිව සත්‍යග්‍රහ කළ අක්කයි නංගියි

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 164

සාධාරණය පරදා අසාධාරණය රජයන සමාජයක සාධාරණය ඉල්ලා යෑමට ඇති එකම ස්ථානය පොලිසියයි. එහිදී සාධාරණයක් නොවන්නේ නම් යායුතුව ඇත්තේ අධිකරණයටයි. නීතිය හා සාමය ආරක්ෂා කරන පොලීසිය සහ අධිකරණයේදී සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් යන දෙපාර්ශවයම ඒක පාර්ශ්විකව අසාධාරණය රජ කරවීමට ක්‍රියා කරයි නම් අහිංසක මහජනතාවට කුමක් සිදුවේද යන්න ප්‍රශ්නාර්ථයකි.

පාසල් යන වයසේ සිටින වයස අවුරුදු 17ක් සහා අවුරුදු 12ක්වූ පාසල් සිසුවියන් දෙදෙනකු සාධාරණය ඉල්ලා මහමඟ සත්‍යග්‍රහයක නිරත වූයේ නීතිඥයකු මැදිහත්වී තම මව්පියන්ට දිගින් දිගටම සිදුකරන්නේ යැයි කියන හිරිහැර බලාගෙන සිටීමට නොහැකිවීම නිසා විය හැකිය.

අධිකරණයෙන් විසඳා ගතයුතු ප්‍රශ්න ගැටලු ධනය බලය යොදවමින් යම් කිසි කෙනකු සිදු කිරීමට යාමේදී සිදුවන්නේ ආරවුලකි. පොලිසිය, නීතිඥයකු සහා පවුලේ සහෝදර සහෝදරියන් අතරවූ ඉඩම් ආරවුලක් විසඳා ගතයුතු ආකාරය පිළිබඳව අධිකරණයෙන් උපදෙස් ලබාදී තිබියදී ඒ පිළිබඳ අමතක කර නීතිඥ බලය පොලිස් බලය ධනබලය යොදාගනිමින් මැරයන් යොදා ගැටලු නිරාකරණය කිරීමට යාමෙන් සිදුවන අපකීර්තියේ බලපෑම පොලිස් දෙපර්තමේන්තුවට මෙන්ම නිතීඥ වෘත්තීයටද ඇතිවීම වැළැක්විය නොහැකිය. 

“දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයා වගේම තවත් ඉහළ පොලිස් නිලධාරියෙක් නීතිය සාධාරණව කරන්න දෙන්නේ නැහැ. දුම්මලසූරිය පොලීසිය අපිව මහපාරට ඇදලා දැම්මා. මම සාමාන්‍ය පෙළ විභාගය ලිව්වේ තැන් තැන්වල ඉඳලා මට විභාගය ලියන්න යහපත් මානසික තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් ඒ පහක් ගත්තා මට ඒ නවයක් ගන්න තිබුණා. පොලිසිය කරපු අසාධාරණය නිසා මට ඒ අවස්ථාව නැතුව ගියා.

තාත්තවයි අම්මවයි විසිපස් පාරක් විතර උසාවියට අරගෙන ගියා. හැම වෙලාවෙම ඒ අය නිදහස් වුණා. නීතිඥයෙක් සම්බන්ධ වෙලා තමයි මේ වැඩ කරන්නේ. ඒ නීතිඥයා මැරයො ගෙනල්ලා ගෙදර බඩු සේරම පාරට ඇදලා දැම්මා. මැරයො මාව වීඩියෝ කළා. මම බයවෙලා අසනීපත් වුණා. කුලියාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තා. මේ ගැන පොලිසියට පැමිණිලි දාන්න ගියාම භාර ගත්තේ නැහැ. අපට මේක හමුදාවට හරි ජනාධිපතිතුමා ගාවට හරි පොලිස්පතිතුමා ගාවට හරි දාල විසඳා දෙන්න. පොලිසිය අසාධාරණයමයි කරන්නේ. අපේ අම්මටයි තාත්තටයි මොනවා හරි කරයි කියලා බයයි. අපිට ජීවිතේ නැති කර ගන්න හිතුණා. එහෙම නොකර තමයි අපි සත්‍යග්‍රහයක් කරලා සාධාරණයක් කරලා දෙන්න කියලා කියන්නේ. අපට දැන් පාසල් යන්න යන්නත් බයයි ගෙදර ඇවිත් හිරිහැර කරපු අය මහ මඟදී අපට මොනවා කරයිද කියලා බයයි. අපිට සිදුවන හිරිහැර ඉවසගන්න බැරුව තමයි අපි මෙහෙම පාරට ආවේ.”

සුදු ඇඳුමින් සැරසී සිටි පාසල් සිසුවියන් දෙදෙනාගෙන් වැඩිමහල් සිසුවියගේ දුක්බර වදන් එලෙස ගුවනට මුසු විය. ඒ දුක්බර කතාව අසා සිටි කාගේත් හදවත්වල රැව්පිලි රැව් දෙන්නට විය. බොහෝ දෙනකුගේ නෙත්වලට කඳුළු පිරෙන්නට විය.

මේ වගේ වැඩ කරන එවුන්ට හෙන හත වදින්න ඕනා. පව් මේ අහිංසක දරුවො සල්ලි බලය, නැති නම් කාටත් ඔය ටික තමයි. එකිනෙකා අතර කතා බහට ලක්වීය. 2017.09.04 වන දින මාරවිල පොලිසිය ඉදිරිපිටට පැමිණ සත්‍යග්‍රහයක නිරතවූ පාසල් සිසුවියන් දෙදෙනාගේ දුක්බර කතාව ලැව්ගින්නක් සේ පැතිරී යන්නට විය. මාධ්‍යද මෙය වාර්තා කළේය.
දුම්මලසූරිය පොලිස් වසමේ බිබිලදෙනිය ප්‍රදේශයේ පදිංචි 12 වසරේ සහා 07 වසරේ ඉගෙනුම ලබන සහෝදරියන් දෙදෙනෙක් මෙලෙස සත්‍යග්‍රහයක නිරතවූහ. මේ පිළිබඳ සත්‍ය තොරතුරු සොයාගිය අපට බොහෝ කරුණු අනාවරණය විය. එහෙත් වැටත් නියරත් හොරා කෑ කළ ඒ නඩු කාට පවසම්ද කියන වදන සිහියට නැගෙන්නේ මේ පිළිබඳ කියන්නට අසන්නට කෙනකු නොමැතිවීම නිසයි.

සත්‍යග්‍රහය කළ සිසුවියන්ගේ පියා වූ ගුණහේරත් මුදියාන්සේලාගේ උපුල් බංඩාර ගුණහේරත්

“මම වසර තිස්පහක් විතර පදිංචි වෙලා හිටිය නිවසින් තමයි පොලීසිය මැදිහත් වෙලා අපිව එළියට දැම්මේ. අපි පදිංචි වෙලා හිටිය කියලා කියන්න වසර පහළොවක් තිස්සේ මගේ නමට ගෙවපු ලයිට් බිල් තිබෙනවා.

2016.08.27 වෙනිදා මගේ අම්මයි අක්කයි මට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දානවා එයාලට අයිති නිවසෙ බලහත්කාරයෙන් පදිංචි වෙලා ඉන්නවා කියලා. ඒ පැමිණිල්ලට 2016.08.30 වෙනිදා දුම්මලසූරිය පොලිසියෙන් නඩුවක් දාල මාව අධිකරණයට ඉදිරිපත් කළා. උසාවියෙන් මට ඇප දුන්නා. ඇප තියන්න ගිය මගේ නෝනයි මමයි උසාවි ගිහින් එනකොට අපි වසර තිස්පහක් ජීවත්වූ නිවසටයි වත්තෙ ගේට්ටු වලටයි පොඩි අක්කා ඉබි යතුරු දාලා තිබුණා. අපේ කිසිම බඩුවක් ගන්න දුන්නෙ නැහැ. දින 14කට පස්සෙ දරුවන්ගෙ පොත්පත් ඇඳුම් එළියට දාල ගිනි තියලා තිබුණා.

ගැටලුව පවතින මේ ඉඩම සම්පූර්ණම පර්චස් 170 ක් තිබෙනවා. 2001 තාත්තා මැරෙන්න ඉස්සර පර්චස් 70ක් අම්මාගේ නමට ලියලා තිබෙනවා. සියයක් ඉතිරිවෙලා තිබෙනවා. පවුලෙ සහෝදරයො තුන් දෙනෙක් ඉන්නවා. අම්මා හරි වයසයි. තාත්තා අම්මට දුන්න පර්චස් 70 පොඩි අක්කට දිලා ඉතිරි පර්චස් 100 මටයි ලොකු අක්කටයි ලැබෙන්න ඕනා. නමුත් පොලිසිය කරපු වැඩේ නිසා අපිට යන එනමන් නැතුව ගියා. 22745 නඩුව විභාග කරලා මේ නඩුව ඉඩම් ආරවුලක් මත පවරපු එකක් කියලා තීන්දු කරලා බැඳුම්කරයකට යටත් කරලා ඉඩම් ආරවුල සුදුසු අධිකරණයකින් විසඳාගන්න කියලා නියෝගයක් දුන්නා.”

දුම්මලසූරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා b 34853 නඩු අංකය යටතේ මට නඩුවක් දැම්මා. 2017.08.09 අධිකරණයට මම ගියා. නාරම්මල සංචාරක අධිකරණයට තමයි දැම්මෙ රැපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් වුණා. ගෙදර හිටියෙ දුවලා දෙන්නා විතරයි.

අපි එනකොට නාඳුනන කාන්තාවකුයි පිරිමි හයදෙනෙකුයි ඇවිත් ගෙදර බඩු එළියට ඇදලා දානවා. මම වත්තෙ එළියෙ ඉඳලා නෝනව යැව්වා. යනකොට ලොකු දුවව වීඩියෝ කරමින් සිටියා. පොඩි දුව ගේ ඇතුළෙ අඬමින් සිටියා. 

දුම්මලසූරිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට මම මේ බව කිව්වා. ස්ථානාධිපතිවරයා කිව්වා මට මොනවත් කරන්න බැහැ කියලා. ඇවිත් මිදුලට දාල තිබුණ බඩු ගේට්ටුවෙන් එළියට දැම්මා 119 කිව්වට පස්සෙ පොලීසිය ඇවිත් නාඳුනන පිරිසගෙන් කට උත්තර ගත්තා. රෑ එකොළහට විතර නෝනාවයි දරුවන්වයි ඇතුළෙ ඉන්නකොට ගේට්ටු ලොක් කරලා ගියා.

එදා රෑ ලොකු දුව බයවෙලා අසනීප වෙලා පහුවදා උදේ ඕ.පී.ඩී. අංක 136684 අංකයට 2017.08.10 කුලියාපිටිය මූලික රෝහලට ඇතුළු කළා. දරුවා ළඟ නෝනව තියන්න කියලා රෝහලෙන් කිව්ව නිසා ඉන්න විදිහක් නැති නිසා කැමැත්තෙන් ටිකට් කපන් ආවා. දරුවන්ගෙ පොත්පත් ඇඳුම් එළියට දාලා ගිනි තිබ්බ එකට මානව හිමිකම් නඩුවක් දාලා තිබුණා. මානව හිමිකම් දාපු නිසා හතර දෙනාගෙන් අක්කව විතරක් උසාවි දැම්මා. 2017.08.18 පොලීසියෙන් ඇවිත් නෝනව අරගෙන යන්න ආවා නෝනටත් වැඩිදුර වාර්තාවෙන් ඉදිරිපත් කරන්න ඕනා කියලා. 08.21 නෝනාව උසාවියට දාල ඇප දුන්නා.

ඉන් පස්සෙ දිගින් දිගටම පොලිසීය අපට බලපෑම් කරනවා නිවසින් යන්න කියලා. 2017.09.01 වෙනිදාට පොලිසියට එන්න කියලා අපට කියනවා. පොලිස්පතිතුමාගේ නියෝගයක් තිබෙනවා දුම්මලසූරිය ඕ.අයි.සී. මහත්තයටම කටඋත්තරයක් ගන්න කියලා. මම ගියහම වෙන කෙනෙක් මගෙ උපන්දා ඉඳලාම තොරතුරුත් එක්ක කටඋත්තර අරගෙන නෝනවයි දරුවන්වයි එවන්න කිව්වා.

මම විරුද්ධ වුණ නිසා පහුවදා පොලිසියෙන් ගෙදරට ඇවිත් ඒ අයගෙත් උපන්දා සිට තොරතුරු අරගත්තා. පොලීසියෙ ආපු නිලධාරී  කිව්වා නීතිඥවරයාගෙනුයි පොලිසියෙ උසස් නිලධාරීන්ගෙනුයි බලපෑම් තිබෙනවා. ඒ නිසා නිවසින් යන්න කියලා. සුදුසු අධිකරණයකින් විසඳා ගන්නා තෙක් සාමය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙස පාර්ශවයන්නට අධිකරණය දැනුවත් කරලා තිබෙන කොටත් බොරු චෝදනා දලා බලපෑම් කරලා අපිව එලවන්න හදන එක සාධාරණද යුක්ති සහගතද කියලා තමයි මම අහන්නෙ. 

සත්‍යග්‍රහය කළ සිසුවියන්ගේ මව වූ මදුරසිංහ ආරච්චිලාගේ නිලන්ති ප්‍රියදර්ශනී

මම 09.03 උදේ පොලීසියට කතා කළා. පොලීසිය කිව්වා 09.03 හවස නිවසින් ගියෙ නැතිනම් 09.04 උදේ 7.15 වෙනකොට අපි ඇවිත් ඔයාලව උසාවි දානවා කියලා. ඊට පස්සෙ පොලීසියේ ස්ථානාධිපතිවරයා යාළුවෙකු එවලා තත්ත්වය අපෙන් විමසුවා. ඒ අයත් කිව්වා අපට යන්න කියලා. නැතිනම් රෑ හරි ගෙදර සේරම පොලිසියෙන් අරගෙන යයි කියලා කිව්වා. මේක අහගෙන හිටපු ළමයි බයවෙලා රාත්‍රියෙ අපටත් නොකියා වත්ත පහළ හැංඟිලා. මට බයයි මගෙ ගෑනු ළමයි දෙන්නා ගැනයි මගේ මහත්තයා ගැනයි. මැර කණ්ඩායම් යෙදලා මොනවා හරි කරයි කියලා. දරුවො දෙන්න ඔය සත්‍යග්‍රහයට යන එකත් අපි දන්නෙ නැහැ. අපිටත් හොරෙන් තමයි එයාල ගියෙ.

මේ පිළිබඳ කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කළුපිටිය මහතාගෙන් කළ විමසීමේදී මෙසේ සඳහන් විය.
මේ කුලියාපිටිය එස් එස් පී මහත්තයද? 

ඔව්.

දුම්මලසූරිය පොලිසියට විරුද්ධව ගැහැනු ළමයි දෙන්නෙක් මාරවිල පොලිසිය ඉදිරිපිට සත්‍යග්‍රහයක් කළා. පොලිසියට තමයි චෝදනා එල්ල වෙන්නෙ ඒ ගැන මොනවා හරි පියවරක් අරගෙන තිබෙනවද? 

ඒක බොරුවක්

බොරු වෙන්න බැහැනෙ මම කතා කරපුවහමත් ළමයින්ගෙ තාත්තා සේරම විස්තරය කියනවානෙ? 

තාත්තට ඕනා බොරුවක් කියන්න පුළුවන්. මොකක්ද ගත්ත ක්‍රියා මාර්ගය කියලා බලන්න එපැයි. 

එතකොට මේ බොරුවක්ද?

කරුණා කරලා පොලිසියේ මීඩියා යුනිට් එකෙන් අහන්න. (දැඩි ආවේගයෙන් කතා කර දුරකථයෙන් බැහැර විය.)
මේ ඉඩම් ආරවුල පිළිබඳව චෝදනා එල්ලවන නීතිඥ මහතාගෙන් විමසීම සඳහා අවස්ථා කිහිපයකදීම ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකුණේය.

කතාව හා සේයාරූ
♦ රෝවන් පෙරේරා - පුත්තල