නැගෙනහිර මුහුදේ Arugambay Fest
ආරුගම්බේ කියන්නේ නැගෙනහිර මුහුදු තීරයේ තියෙන ජනප්‍රිය වෙරළ කලාපයක්. මෙතෙක් හික්කඩුව වගේ දකුණු මුහුදු තීරයේ තිබුණු විනෝදාත්මක සැණකෙළි සංස්කෘතිය දැන් ආරුගම්බේ වෙතත් ගමන් කරලා. ඒ අනුව සැප්තැම්බර් 16 හවස ඉඳන් 17 වැනිදා පාන්දර දක්වා Arugambay Fest නමින් විශේෂ සැණකෙළියක් පැවැත්වෙනවා. සංගීතය, නැටුම්, ගැයුම් වගේම ආහාරපානත් පිරුණු හෝරා කිහිපයක් එහිදී අත්විඳින්න පුළුවන් වේවි.
Cinnamon හෝටල් ජාලයේ සංචාරක සමුළුව
ශ්‍රී ලංකාව හා ආසියාව තුළ සංචාරක හා සංචරණ ක්ෂේත‍්‍රය වර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීමේ අරමුණින් යුතුව Cinnamon හෝටල් ජාලය විසින් Cinnamon Future of Tourism සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඊට සංචාරක හා සංචරණ ක්ෂේත‍්‍රයේ ලොව ඉහළම පෙළේ නවෝත්පාදක ප‍්‍රවීණයෝ සහභාගි වෙමින් අනාගතය වෙනුවෙන් අනුගමනය කළ යුතු නවතම ප‍්‍රවණතා හා නවෝත්පාදනයන් පිළිබඳ තම අදහස් සාකච්ඡාවට ලක් කරනු ඇත. සමුළුව පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ප‍්‍රවේශපත් www.futureoftourism.com වෙබ් අඩවිය හරහා මිලදී ගන්නට පුළුවන්.