White-Co කියන්නේ කොළඹ මැරීන් ඩ්‍රයිව්හි පිහිටා තිබෙන අවන්හලක්. බර්ගර්ස්, කෝපි වර්ග, අයිස් ටී වගේම විවිධ මද්‍යසාර හා කොක්ටේල් වර්ගත් පිළිගැන්වෙන මේ අවන්හල නගරයේ ඇති බොහොම හොඳ අවන්හල් තෝරාගැනීමක් කියල කියන්න පුළුවන්.
මේ අවන්හලේ බාහිර පෙනුම ගැන නම් එච්චර සතුටු වෙන්න බැහැ. මොකද සාමාන්‍ය අවන්හලක තියෙන ආකර්ෂණීය බව එතැන දකින්න නැහැ. නමුත් අවන්හලට ඇතුළු වුණු මොහොතේ පටන් ඒ අදහස් වෙනස් වෙන්න ගන්නවා. ඇතුළත බොහොම පිරිසුදුයි වගේම මේස පුටු තැන්පත් කරලා තියෙන ආකාරයත් ඉතාම සිත් ගන්නා සුලුයි.
අවන්හලේ හොඳම තැන තමයි උඩු මහල. එතැන පුංචි බැල්කනියේ මේස දෙකක් පමණ තිබෙනවා. විශේෂයෙන්ම හැන්දෑවේ හයට පමණ බටහිර අහසේ මැවෙන රූප රටා අතර මැදිවෙමින් රසවත් කෝපි කෝප්පයක් පානය කරන්න මෙතැන තරම් වෙන හොඳ තැනක් නැහැ කියල හිතෙන තරමට මේ බැල්කනිය සුවිශේෂීයි.
ආහාරපාන ගැන කතා කරද්දි ඉංග්‍රීසි සහ ඉතාලි පන්නයේ ආහාරපාන දකින්න පුළුවන්. කොහොම නමුත් මෙතැනට එන වැඩි දෙනකුගේ ඉල්ලුම තියෙන්නෙ බර්ගර් සහ කෝපි වෙතටයි. චොක්ලට් මිල්ක් ෂේක් එක වුණත් ගොඩක් රසයි. නමුත් අයිස් ටී එක නම් සාමාන්‍යයයි.
මේ අවන්හලේ තවත් විශේෂයක් තමයි ලොකු කාර්යබහුල බවක් නැති නිසා නිදහසේ හෝරාවක් දෙකක් වුණත් ගත කරන්න පුළුවන්කම. බර්ගර් එකක්, අයිස් ටී එකක් රස විඳින ගමන් නවකතාවක් රස විඳින්නත් මෙතැන බාධාවක් නැහැ. සමහරු තනිවම මේසයකට බර වී ලැප්ටොප් එකක් දිගඇරගෙන හෝරාවක් දෙකක් ගත කරනවා. ඉතින් ඇත්තටම අවන්හලක තිබිය යුතු නිදහස උපරිමයෙන්ම තියෙන තැනක් විදිහට White-Co හඳුන්වන්න පුළුවන්.