ඈතම අතීත කාලයේ අපේ රටේ ගමක ප්‍රධානියා හඳුන්වා ඇත්තේ ගාමරි, දකපති, පරුමක, ගාපිණි, ගමික, ග්‍රාමභෝජක, ගම්ලද්දා ආදී නම්වලිනි. පසුව ගම්රාල, ගමරාළ, රාළ, ආරච්චි රාළ, ආරච්චිල ආදී නම් ද ඒ තනතුර සඳහා භාවිත විය. ඊටත් පසු කාලයේ ගම්මුලාදෑනි, ග්‍රාමසේවක, ග්‍රාමසේවා නිලධාරි වශයෙන් විකාශනය වී අද ඒ තනතුර ග්‍රාම නිලධාරි බවට පත්ව තිබේ.
“ගමේ ඇත්තන්ගේ රසකතා” අසන්නට අද මා කැඳවා ගත්තේ එවැනි පරණ ග්‍රාමසේවක මහත්මයෙකි. අසූ නම වැනි වියේ පසුවන ඔහු නමින් ඇදිදුන්න විදිතිලක භීතසිංහප්‍රතාප රංගේ බංඩාර වන්නිනායක මුදියන්සේලාගේ පුංචිබංඩා බණ්ඩාරනායක හෙවත් ඩබ්ලිව්.එම්.පී. බණ්ඩාරනායක මහතාය. පදිංචි වී සිටින්නේ ගල්ගමුව, අතරගල්ල එරියාව කොළණියේය.
“මෙච්චර දිග වාසගමක් ලැබුණේ කොහොමද කියා පැහැදිලි කරමින්ම අපි කතාව පටන්ගමු නේද?” මම බණ්ඩාරනායක මහතාට යෝජනා කළෙමි.
“මගේ උපන්ගම තමයි එරියාව. සීතාවක රාජ්‍ය කාලයේ මේ එරියාව වැදි නායකයෙක් යටතේ තමයි පාලනය වෙලා තියෙන්නේ. ඒ නිසා රජ වසාලත් සමග සම්බන්ධතා පවත්වලා තියෙනවා. වැදි තරුණයන් රජවාසලේ කුරුවේ කාර්යාංශයේ (ඇතුන් සම්බන්ධ කටයුතු) වැඩකරලා තියෙනවා. ඔය කාලයේ මායාදුන්න කුමරුට දාව නිලුපුල්මාලි කියන කුමරියට පුතෙක් ලැබිලා තියෙනවා. ඒ පුතාට රංගේ බණ්ඩාර කියන නම තියලා තියෙනවා.”
“රංගේ බණ්ඩාර කුමාරයා තරුණ වියට පත්වෙනකොට හැමදේකටම දක්ෂයෙක් වෙලා. මේක අනෙක් රාජකීයන්ගේ උදහසට හේතුවක් වෙලා. ඊට පස්සේ රංගේ බණ්ඩාර කුමාරයා එයාගේ අම්මවයි, නංගිලා දෙන්නවයි එක්කන් හතර වන්නි ප්‍රදේශයට ඇවිත් එරියාව ගමේ පදිංචි වෙලා තිබෙනවා. හැබැයි අප්‍රසිද්ධියේ තමයි ඉඳලා තියෙන්නේ.”
“රංගේ බණ්ඩාර කුමාරයා එරියාවට ඇවිත් මෙහේ හිටපු තරුණයන්ට දුනු ශිල්පය උගන්වලා තියෙනවා. ඉදිරියේදී සටනකට යන්ඩ තමයි එහෙම කරලා තියෙන්නේ. සීතාවක රජ්ජුරුවෝ දවසක් රටේ සංචාරය කරන කොට එරියාවටත් ඇවිත් තියෙනවා. ඒ එනකොට පල්එරියාව වෙලේ (අදටත් ඒ කුඹුර එනමින් හඳුන්වයි) තරුණයන් දුනු ශිල්පය ප්‍රගුණ කරමින් ඉන්නවා රජතුමා දැකලා තියෙනවා.”
“තරුණයන්ගේ දක්ෂකම් ගැන පැහැදුණු රජතුමා තවත් ඒ ගැන දැකගන්න වෙලේ තණකමින් සිටි මී හරකෙකුගේ අඟක වසා සිටි කොකෙකුගේ ඇසට විදින්න පුළුවන්ද කියාලා අහලා තියෙනවා. රංගේ බණ්ඩාර කුමාරයා ඉදිරිපත් වෙලා අහලා තියෙනවා මොන ඇහැටද විදින්නේ කියලා. රජතුමා කීවාලු වම් ඇහැට කියලා. වම් ඇහැ වසන්වෙලා තමයි තිබිලා තියෙන්නේ. පිරිස ඉන්න පැත්තට තිබිලා තියෙන්නේ කොකාගේ දකුණු ඇස. රංගේ බණ්ඩාර ටිකක් කල්පනා කරලා මුල් ඊතලය කොකාගේ හොට ළඟින් යන විදිහට විද්දලු. කොකා හැරිලා බලනකොට වම් ඇසට ඊළඟ ඊය විද්දලු. ඊතලය වම් ඇසෙන් ඇතුළු වී දකුණු ඇසත් හිල් කරගෙන පිටවෙලා තියෙනවා.”
රජතුමාට කොකාගේ මළසිරුර ගෙනත් පෙන්නුවාම වම් ඇසට ඊය විදපු බව දැකලා සතුටට පත්වෙලා අර “වැදිදුන්න විදිතිලක...” කියන වාසගම මුළු ගමේ අයටම දීලා ගම්වරයකුත් දීලා තියෙනවා. අපට වාසගම ලැබිලා තියෙන්නේ ඔන්න ඔය විදිහටයි. එරියාව ගමට එදා කීවේ වැදිගම කියලා. අදත් අපේ මුල් ගමේ (වැදි සියඹලා ගස), (වැදි ළිඳ), (වැදි කුඹුර) කියලා හඳුන්වන තැන් තියෙනවා. මාත් ඉතින් වැද්දන්ගෙන් පැවත එන කෙනෙක් තමයි කියමින් ඔහු සිනාසුණේය.
ඔබේ පාසල් ජීවිතය ගැනත් අපි කථා කරමු යි මම ඔහුට යෝජනා කළෙමි.
මං ඉපදුණේ 1928 අවුරුද්දේ පෙබරවාරි මාසේ විසි දෙවැනිදා. ඉස්කෝලේ යන වයස එනවිට අපේ ගමේ ඉස්කෝලයක් තිබුණේ නෑ. ඒ නිසා මාව නිකවැව දේවානම්පියතිස්ස මහා විද්‍යාලය නමින් අද හඳුන්වන පාසලට බාර දුන්නා. අපේ අම්මාගේ නංගි කෙනෙක් හිටියා හේරත්ගම. එහේ ඉඳලා තමයි පාසලට ගියේ. හෝඩියේ සිට තුන්වැනි පංතියට ඒ පාසලට ගියා. ආපහු මං ගමට ආවා. ගමේ පන්සල් පාසලට ගියා. ඒකේ තිබුණේ දෙකේ පංතියට විතරයි. අනුරාධපුරයේ, තුරුවිල පන්සලේ නායක හාමුදුරුවෝ අපේ තාත්තාගේ මල්ලි කෙනෙක්. මං ඒ පන්සලට ඊළඟට ගියා. අවුරුද්දක් විතර පන්සලේ හිටියා.
මං නැවත ගෙදර ඇවිත් ආයිත් නිකවැව ඉස්කෝලයට ගියා. තුනේ පංතියේ ඉඳන්ම තමයි නැවත ඉගෙන ගන්න වුණෙත්. 1947 අවුරැද්දේ මං සිංහල ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට ලීවා. අද එස්.එස්.සී. විභාගය වගෙයි. විෂයන් හතයි තිබුණේ. මං විෂයන් හයක් පාස්. සම්මාන කතන්දර ඒ කාලේ නෑ. විෂයන් පහක් සමත් නම් ඒ විභාගය පාස් හැටියටයි ගණන් ගත්තේ. එච්.එස්.සී. කරන්න ඒ පාසලේ පංති නෑ. මං ගමට ආවා.
ඒ කාලේ ඇහැටුවැව (1948 දී) ඉංග්‍රීසි පාසලක් පටන් ගත්තා. මාත් ඒකට ගියා. අටේ පංතියේ විභාගයට පෙනී සිටියා. වයස අවුරුදු විසි එකට වැඩි නම් ඒ කාලේ එස්.එස්.සී. විභාගය ලියන්න දෙන්නේ නෑ. ඉතිං මටත් ඒ වෙනකොට වයස අවුරුදු විසි එකට වැඩියි. මාව පාසලෙන් ඉවත් කළා.
අවුරුද්දක් විතර ගෙදර නිකම්ම හිටියා. දඹුල්ලේ, පැල්වෙහෙර ගොවිපොළේ (ෆාම් ස්කූල්) කියලා එකක් තිබුණා. මං ඒකට ඊළඟට ගියා. අපේ පංතියේ හතළිස් හත් දෙනෙක් හිටියා. පංති විභාගයේදී මං පළමුවැනියා වුණා. ඔය කියන්නේ 1950 අවුරුද්දේ. විභාගය පවත්වපු අධ්‍යක්ෂ කිව්වා මට ෆාම් එකේම රැකියාවක් දෙන්න කියලා. ගබඩා බාරකරුගේ සහායකයා විදිහට මාව පත්කළා. ඊළඟට මාව ෆාම් එකේ සත්ත්ව පාලන අංශයට දැම්මා. ඔය අතර අපේ අම්මා මං නැතිව ඉන්න බෑ කියලා අඬනවා. ගෙදර ඉඳන් කරන්න පුළුවන් රස්සාවකට එන්ඩ කියලා මට කියනවා. පස්සේ මං ඒ රස්සාව දාලා 1952 අවුරුද්දේ ගෙදර ආවා.”
1953 අවුරුද්දේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නාන්නේරිය කාර්යාලයට වැඩ පරීක්ෂකවරුන් බඳවා ගන්නා බවට ගැසට් කරලා තිබුණා. මාත් ඉල්ලුම් පත්‍රයක් දැම්මා. මාව තේරුණා. 1963 අවුරුද්ද වෙනකම් වැඩ කළා. අන්තිමට මාව හැමතැනටම මාරු කරන්න පටන් ගත්තා. ඒ තනතුරට පැන්ෂන් එකක්වත් නෑ. මං අයින් වුණා.
එතකොට ඔබ ග්‍රාම සේවක තනතුරට පත්වන්නේ කොහොමද? මං අතුරු ප්‍රශ්නයක් යොමු කෙළෙමි.
ග්‍රාම සේවක තනතුරට බඳවා ගන්න ගැසට් කරලා තිබුණා. මාත් ඉල්ලුම් කළා. මාව තේරුණා. මට මුලින්ම පත්වීම ලැබුණේ නිකවැරටිය, හිලෝගම කියන පළාතට. මට මතක හැටියට වැටුප මාසයකට රුපියල් 275ක් කියලයි. කාර්යාල දීමනාව ලෙස මාසයකට රුපියල් දහයක් දෙනවා. ගෙවල් කුලිත් වැටුපට එකතු කරනවා. රුපියල් දහයකට හොඳ කාමරයක් ඒ කාලේ ගන්න පුළුවන්. ග්‍රාමසේවකලා රෑ දවල් දෙකේම තමන්ගේ කාර්යාලයේ ඉන්න ඕන. පොලිසිය රාත්‍රී කාලයේ පාමුර සංචාරයේයන්න එනවා. ඒ යන්න ඕන ග්‍රාමසේවක සමග. ඇතැම් දවස්වල අපි නොගියොත් උදේ ඇවිත් අපෙන් ගිය බවට අත්සන් අරන් තමයි පොලිස් නිලධාරින් වසමෙන් පිටවෙන්නේ.
හීලෝගම පළාතේ මං සේවය කළේ මාස අටක් විතර කාලයක්. ඊළඟට මට මාරුවක් ලැබුණා අඹන්පොළ, කිරිමැටියාව පළාතට. අවුරුදු විසිහතරක් මං ඒ පළාතේ සේවය කළා. මං දන්න පරිදි ඒ වාගේ දීර්ඝ කාලයක් එකම පළාතක සේවය කරපු ලංකාවේ එකම ග්‍රාමසේවක මං වෙන්න ඕන. මං විශ්‍රාම ගත්තේ 1988 අවුරැද්දේ පෙබරවාරි මාසේ විසි දෙවැනිදා. ඒ විශ්‍රාම යනකොටත් හිටියේ කිරිමැටියාව පළාතේ.
මෙතරම් දිගු කලක් එකම පළාතක සේවය කිරීමට ඔබට හැකිවූයේ කොහොමද? මම බණ්ඩාරනායක මහතාගෙන් ඇසුවෙමි.
ග්‍රාම සේවක කියන තනතුර නම අපේ කාර්යාලවල ගහන්න කියලා තදින්ම කීවේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියයි. අපේ සංගම්වලින් ඉල්ලා සිටියා. (ග්‍රාම සේවා නිලධාරි) කියන නම යොදන්න. නමුත් මැතිනි ඒකට එකඟ වුණේ නැ. මැතිනිට ඕනවුණේ ඉස්සර හිටපු ආරච්චිලා, ගම්මුලාදෑනිලා මෙල්ල කරන්න. ඒ තනතුර දැරූ අය සාමාන්‍ය මිනිස්සු පාගා ගෙනනේ හිටියේ. ඉතිං මටත් (ග්‍රාම සේවක)යෙක් ලෙස හැටියට රාජකාරිය ඉටුකළා. කිසිම කෙනෙකුට පක්ෂග්‍රාහී වුණේ නෑ. ඒ කාලේ නියං සහනාධාර බෙදීම සිද්ධ වුණේ ග්‍රාම සේවකලා හරහානේ. මං කෙළේ ඒකට කමිටුවක් හදනවා. ගමේ දේශපාලනය කරන අය, සමිති සමාගම්වල නිලධාරීන්, ගම්වල හිටිය ප්‍රභූන් ඒ කමිටුවට පත් කරගන්නවා. ඊට ප්සසේ ඒ කමිටුව හරහා තමයි ඕවසියර්ලා, කංකානම්ලා වැඩබිම්වලට පත් කරන්නේ. සහනාධාර දෙන්න ඕන අය තෝරන්නේ. එහෙම කළාම මට ප්‍රශ්න එන්නේ නෑ. මගේ තනි මතයට නෙමෙයිනේ සියල්ල සිදුවෙන්නේ. එහෙම වුණාම පක්ෂග්‍රාහී වුණා කියනවානේ. අපට විරුද්ධව පෙත්සම් යවනවානේ. රාජකාරි ජීවිතයේදී මට විරුද්ධව එක පෙත්සමක් ගිහින් නෑ.
අපි රාජකාරි කරන කාලේ අද වාගේ ළඟපාත පොලීසි නෑ. හැම ප්‍රශ්නයක්ම, ආරවුලක්ම, එන්නේ අපි ළඟට. මං ඒවා කාටවත් අගතියක් නොවන්න විසඳලා දුන්නා. අඹු-සැමි ආරවුල් දිග් ගැස්සිලා ඒවා බින්න වෙන්න (විවාහ බිඳ වැටීමට) ගියාම මං මැදිහත් වෙලා සාමදානය කරලා තියෙනවා. අවුරුද්දකට ඒ වාගේ පැමිණිලි හත - අටක් එනවා. ගෑනුන්ගේ - මිනිස්සුන්ගේ අයථා සම්බන්ධ නිසා තමයි මේ ආරවුල් වැඩිපුරම ඇතිවුණේ. ඉතිං දෙන්නාම කැඳවලා අවවාද කළාම කැඩෙන්න ගිය දීග නතර කරගන්න හැකිවුණා. මගේ පළාතේ හොරකම් අඩුකළා. හරක් මැරීම නතර වුණා. කසිප්පු පෙරීම, බීම අඩුවුණා. මම ජීවිතේට අරක්කු බීලා නෑ. පගා, අල්ලස් අරන් නෑ.
(ලබන සතියට)
(ස්තූතිය - අතරගල්ල හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්.එම්. රත්නායක හා පොරොත්තුකඩවල රත්නමලල වන්නිනායක මහත්වරුන්ට.)
කතාව හා සේයාරූ - ගල්ගමුව - නිහාල් ජයවීර