“බ්‍රවුනි, දහයෙන් හතක් අඩු කරන්න” ප්‍රේක්ෂකාගාරයෙන් හඬක් නැගෙයි. සර්කස් වළල්ල තුළ සිටින බල්ලා එහි සිටුවා ඇති සංඛ්‍යා අතරින් 3 සටහන් කර ඇති සංඛ්‍යා පුවරැව මුඛයෙන් රැගෙන ප්‍රේක්ෂකාගාරයට දක්වයි.
“බ්‍රවුනි, දහය දෙකෙන් බෙදන්න” යළිත් බල්ලා 5 සටහන් කර ඇති පුවරැව අරගනී. ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් නගමින් ප්‍රීතිය පළ කරති. ප්‍රේක්ෂකයන් පවසන ගණන් විසඳමින් දස්කම් දක්වන මෙම බැල්ලිය සිටින්නේ සකුරා සර්කස් කණ්ඩායමේය. රට පුරා කඳවුරු ගසමින් ජනතාවට ත්‍රාසජනක සර්කස් පෙන්වන සකුරා සාමාජිකයන් අතර බ්‍රවුනි කැපී පෙනෙන චරිතයකි.
ලොව බොහෝ රටවල සර්කස් ක්‍රීඩාවට මිනිසාගේ ළඟම තිරිසන් හිතවතා වූ බල්ලා යොදා ගැනේ. රෝද එළවීම, ගිනි වළලුවලින් පැනීම, නර්තනය, පිනුම් ගැසීම ඒ අතරින් කිහිපයක් පමණි. ක්‍රි.පු. 127-116 අතර කාලයේදී රෝමයේ ගොවියකු වූ මාර්කස් වැරෝ බල්ලකු විවිධ ක්‍රීඩාවලට පුහුණු කළ බවට ලිඛිත සාධක හමුවේ. වර්ෂ 1848 දී ඩබ්ලිව්.එන්. හචින්සන් Dog Breaking නම් පොතක් ලිව්වේය. ඒ බල්ලන් පුහුණු කිරීම සම්බන්ධයෙනි. වර්ෂ 1910දී ජර්මන් ජාතික කොන්රාඩ් මෝස්ට් ලියූ Training Dogs පොත ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය.
ලංකාවේ මෙන්ම ඉන්දියාවේද බල්ලන් පුහුණු කර ක්‍රීඩාවලට යොදා ගැනේ. ආරක්ෂක හමුදාවල මෙන්ම පොලිසියේද සුනඛයෝ සිටිති. ඔවුහු ක්‍රීඩාවලට පුහුණු කර ඇත. ඒත් ගණන් හදන බල්ලන් ගැන නම් අසන්නට නොලැබේ.
කුඩා ගණිත ගැටලු විසඳමින් ළමා හා වැඩිහිටි සිත් පවා පැහැරගත් බ්‍රවුනි පිටරටකින් ගෙනා සුපිරි බල්ලකු නොවේ. සකුරා කණ්ඩායම මෙයට වර්ෂ හයකට පමණ පෙර දිඹුලාගල අරලගංවිල මුස්ලිම් ගම්මානයක සර්කස් සංදර්ශන පවත්වන විට හමු වූ වල් බල්ලෙකි. දද කුෂ්ට හැදී කාගෙත් ගල් පොලු පහරවලට ලක්වෙමින් අසරණව සිටි මේ බලු පැටවා රැගෙන විත් නාවා තුවාලවලට ප්‍රතිකාර කර සත්කාර කිරීමට සර්කස් කණ්ඩායමේ සංවිධායක ලාල් ප්‍රනාන්දු සහ රානි අක්කා ප්‍රමුඛ කණ්ඩායම පියවර ගත්හ. කෑම බීම සපයමින් ඌට සංග්‍රහ කරන විට බැල්ලිය ඔවුන් සමඟ හිතවත් වූවාය. සර්කස් කණ්ඩායමේ ආරක්ෂකයා බවටද පත් වූවාය. ඊට පසු ඌ ක්‍රීඩාවලට පුහුණු කිරීමට ලාල් තීරණය කළේය.
මැදම්පේ කේ.බී. රූබන් කියන මහත්මයා තමයි සතුන් පුහුණු කරන්නේ. ලංකාවේ සතුන් සර්කස් ක්‍රීඩාවලට පුහුණු කිරීමට සිටින එකම පුහුණුකරු ඔහු පමණයි. දැනට වයස අවුරුදු 74ක් වන ඔහු ලංකාවේ සර්කස් කලාව වෙනුවෙන් තම ජීවිතය කැප කළ පුද්ගලයෙක්. දැනට බ්‍රවුනිගේ වයස නම් අවුරුදු හතයි.
අපි පුහුණු කිරීමට සතෙක් සොයා ගැනීමේදී ගන්නේ මිනිසුන් අතරමං කර ගිය කන්න නැති තුවාල හැදුණු අසරණ වූ බල්ලෙක්. එවැනි බල්ලෙක් බලාගෙන ඌට සලකලා නිරෝගීමත් කළ විට ඌ අපට ලෙන්ගතුකමින් ඉන්නවා. අපි කියන දේ කීකරුව අහනවා සකුරා සර්කස් කණ්ඩායමේ සංවිධායක ලාල් ප්‍රනාන්දු අපට කීවේය. තවදුරටත් අදහස් දැක්වූ ඔහු,
“කුඩා කාලෙ ඉඳන් කෑම බීම ලබාදීලා තමන්ගේ දරුවෙක්ට වගේ අපි බ්‍රවුනිට සැලකුවා. පාන්දර 4.00ට ඇහැරවලා හමුදා සෙබළෙකුට වගේ පුහුණුවක් ලබා දුන්නා. මුලින්ම පුටුවකට නගින්න, බහින්න පුරුදු කරනවා. ටිකෙන් ටික අනෙක් ක්‍රීඩාවලට යොමු කරවනවා. ගිනි වළලු වලින් පනින්න වගේ දේවලුත් බ්‍රවුනිට පුළුවන්.
සෑම දිනකම පුහුණුව කරන අතරතුර කෑම ලබාදෙන්නේ නැහැ. පුහුණුව නිම වූ විට හොඳ කෑම වේලක් ලබාදෙනවා. බ්‍රවුනි නම් වැඩිපුර කෑමවලට කෑදර නැහැ. ඌ කාගෙවත් ඉතුරු වන කෑම කන්නෙ නැහැ. ඌට ලබාදෙන පිඟානෙන් තමයි කෑම කන්නේ. ඒ වගේම නිදාගන්නේ යම් කිසි දෙයක් උඩයි. බිම නිදාගන්නෙ නැහැ”
චිත්‍රපටයකද තම දස්කම් පෙන්වා ඇති බ්‍රවුනි රූපවාහිනී වැඩසටහන්වලටද සහභාගි වී ඇත. ක්‍රීඩාවලින් දක්ෂතා දක්වනවාට අමතරව ඌ අදටත් සර්කස් කණ්ඩායමේ ආරක්ෂක රාජකාරිද ඉටු කරන්නීය. සංදර්ශනය නොපවත්වන වේලාවල සර්කස් කූඩාරමට කිසිවකුට ඇතුළුවීමට ඌ ඉඩ දෙන්නේ නැත. දැන් තරමක් වයස්ගත වී සිටින නිසා ඌ ත්‍රාසජනක ක්‍රීඩාවලින් ඉවත් කර ගණිත ගැටලු විසඳීමට පමණක් යොමුකර තිබේ. අංක දහයෙන් පහළ ඕනෑම සංඛ්‍යාවක් බෙදීමට, අඩු කිරීමට, එකතු කිරීමට, වැඩි කිරීමට ඌට පුළුවනි.
“අපි ගුවන් කරණම් කරලා ත්‍රාසජනක ක්‍රීඩා කරලා කොපමණ මහන්සි වුණත් නරඹන්නන්ගෙන් වැඩිම ප්‍රතිචාර තියෙන්නේ බ්‍රවුනිට. බ්‍රවුනි කවදාවත් පඩි ගන්නේ නැහැ. ස්ට්‍රයික් නැහැ. අපේ සර්කස් එකට ප්‍රේක්ෂකයන් කැඳවා ගැනීමේ තුරුම්පුව තමයි බ්‍රවුනි”. ලාල් අප සමඟ පැවසුවේය.
බ්‍රවුනි වැඩිපුර කන්න කැමති මොනවද?
“ඌ වැඩිපුරම ආස ෆ්‍රයිඩ්රයිස් කෑමට. ඒ වගේම බිස්කට්වලටත් ආසයි. අයිස් ක්‍රීම් කන්නත් කැමතියි. තව අවුරුදු දෙකක් සර්කස් වේදිකාවේ තබලා ඌව විශ්‍රාම ගන්වන්නයි අපි හිතන්නේ”
සකුරා සර්කස් රට වඩා සංචාරය කරන අතරතුර ඔබේ ගමට හෝ නගරයටත් පැමිණීමට පුළුවන. එවිට බ්‍රවුනිගේ දස්කම් දැකගැනීමට ඔබට හැකියාව ලැබේවි. එවිට සතුන්ට ආදරය, කරුණාව දැක්වීමටත් ඔබේ සිතට යම්කිසි හැඟීමක් උපදීවි.
♦ කුසුම්සිරි