2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

පෙම්වතිය වෙත

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

(හැඳින්වීම)
පෙම්වතිය අපි තවම වහල්ලුය
ටයිපටි මැදට හිරවුණු

(ලිපිය)
සාලියත් සැඬොලෙක් වුණානම් 
අශෝකමාලගෙ ආදරේට
මේ තරම් කවි කතා ලියවෙයිද?
ලියවුණු ඒ කවි කතා
සාලියගෙ රජකම ගැන විනා
ආදරේ ගැන ද?

ආදරේ උත්තරීතර වෙන්න
රජවරුම කරන්න ඕනි ද?
දාහක් දෙනා අඬවලා
කතාවෙ අවසානෙට
කුමාරයයි කුමාරියි කසාද බඳිද්දි
කුමාරය කුමාරිට හාදුව දෙද්දි
අනේ අපි හයියෙන් අප්පුඩි ගැහුවා
අපේ ලේ කඳුළු දාඩිය කැට උඩ
රජවරුන්ට ලව්කරන්න උද්‍යාන හදලා දීලා
උංගෙ මධුසමේ දොරවල් මුරකරලා
අපි හැමදාම 
හිත්වලින් සතුටු වුණා

ඇයි අපේ පන්තියට
ආදරේ චුම්භන අකැපද
අපේ ආලිංගන අවසානෙදිත් 
ශුක්‍රාණු පිටවෙනවා උංගෙ වගේම
ඉතිං මට කියන්න
ස්පාටකස්ගෙ ආදරෙන්
දාඩිය ගඳ හමනවද
මටනං ඒ දාඩියෙන් 
ආදරේ සුවඳ දැනෙනවා

ඔය අතින් ආයෙමත් අල්ලන්න
මම තවම ඇඟිලි ගනිනවා
කොම්පැණි මහත්තුරු
නිවාඩු අනුමත කරනකල්
මොකද අපි ආදරේ කරන තෙක්
උං කැමති දවසකට
මතකැතුව එදාට
අපි අපේ අත් හංගගමු
පළවෙනි පන්තියෙ සුරාන්තෙටත් කෙළ හලන
සංස්කෘතිය අපෙ ආදරේට මෝටාර් ගහනවා

ඉතිං මගෙ රත්තරනේ
අපේ මධුසමය වනසන
සුදු රෙදි ෆැන්ටසියට ගල්ගහලා
අපි මධුසමය සරසමු
රතුපාට ලොකු කොඩි වලින්
අනිත් හැමදේ වගේම
ප්‍රේමයත් පන්තිමය ප්‍රශ්නයක් නිසා

| මායන දස්නක

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00