2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

මහනුවර හෝටල් රැජින

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 463

දෙස් විදෙස් කිසිම භේදයකින් තොරව අපේ රට තුළ සංචාරය කරන බොහෝ දෙනෙක් කැමැතිම ගමනාන්තයක් තමයි මහනුවර නගරය. මේ නිසා වසරේ සෑම දිනකදීම මහනුවර නගරය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යනවා. 

ඓතිහාසිකත්වයට බර මහනුවර නගරයේ හෝටල් අතරින් රැජන හෝටලයට හිමිවන්නේ සුවිශේෂී තැනක්. දළදා මාලිගාවටත් නුවර වැවටත් මුහුණලා පිහිටා තිබෙන රැජන හෝටලය අතීතයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙක් වාසය කරපු මන්දිරයක්. 

මේ හෝටල් ගොඩනැගිල්ල මුලින්ම නිර්මාණය වී තිබෙන්නේ අපේ රටේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උපදෙස් පරිදි දුල්ලෑව වලව්ව ලෙසටයි. පසුව එය මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ වාසභවනක් බවට පෙරළුණා. ඉන්පස්සෙ රයිෆල් රෙජිමේන්තුව ලෙසත් මලබාර් හවුස් ලෙසත් පැවැතුණු මේ ගොඩනැගිල්ල 1869 වනතුරු එය ස්ටේන්ටන් හෝටලය නමින් කුඩා හෝටලයක් ලෙස භාවිතා කෙරුණා.  1869 දී එංගලන්තයේ ක්වීන්ස් හෝටල් සමූහය මේ හෝටලය මිලදී ගත්තට පස්සෙ තමයි එයට මහනුවර ක්වීන්ස් හෝටලය එහෙම නැත්නම් රැජන හෝටලය බවට පත්වුණේ. 

අපේ රටේ බ්‍රිතාන්‍ය යුගයට අදාළ සුවිශේෂී ස්ථානයක් ලෙස මහනුවර රැජන හෝටලය සළකන්න පුළුවන්. දකුණු දිග ආසියාවේ ප්‍රධානම බ්‍රිතාන්‍ය නිලධාරියෙක් වුණු මවුන්ට් බැටන් සාමිවරයාත් මේ හෝටලයට නිතර ආ ගිය කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. අද වෙද්දි රැජන හෝටලයේ කාමර 80ක් තිබෙනවා. මේ සියලු කාමර දළදා මාලිගාවට හෝ නුවරවැවට එහෙමත් නැත්නම් හෝටලයේ පිහිනුම් තටාකය හෝ අවට කඳුවළල්ල දෙසට මුහුණලා තිබෙනවා. ඒවායේ තිබෙන විශාල ජනේල නිසා අවට පරිසරය හොඳින් දැකබලා ගන්නත් පුළුවන්. 

නවීන පහසුකම් රැසක් තිබුණත් හෝටලයේ සෑම තැනකම ඊට උරුම අතීත උරුමයක් දකින්න පුළුවන්. ගෘහ භාණ්ඩ පවා ඉංග්‍රීසි උරුවට නෑකම් කියනවා. Queen of Hearts නම් හෝටලයේ ප්‍රධාන අවන්හලේදී දේශීය ආහාරපාන වගේම ඉංග්‍රීසි, ස්විස්, ඉතාලියානු කෑම බීම රස විඳින්න පුළුවන්. 

I සනත් වීරසූරිය
සේයා රූ - ශාන් බන්දු වීරසිංහ