ආයුර්වේදයේ ප්‍රධාන අරමුණ වනුයේ “නිරෝගී පුද්ගලයාගේ නිරෝගීකම ආරක්ෂා කිරීම, ශක්තිමත් කිරීම සහ රෝගී පුද්ගලයා ඉන් මුදවා ගැනීමයි.” ආයුර්වේදයේ සඳහන් පරිදි ඕනෑම කෙනකුගේ මූලික අභිලාෂය විය යුත්තේ රෝගියකු නොවී සිටීමයි. ඒ සඳහා අවශ්‍ය සාර්ථක උපදෙස් ආයුර්වේදයේ සඳහන් වේ. මෙම වෙදකම මගින් එදිනෙදා හොඳ ජවසම්පන්න, හොඳ ශරීරික සහ මානසික සුවයක් ඇති තැනැත්තෙක් බිහිවෙයි. කෙසේ හෝ යම් හේතුවක් මත කෙනකු රෝගියකු වුවහොත් ඒ රෝගී අවස්ථාවෙන් ඔහු මුදවා ගැනීම ඊළඟ ක්‍රියාවලිය වේ.
රෝහල්, ලෙඩ්ඩු, ලෙඩ සංකල්ප ව්‍යාප්ත වීම
අද වෙද්දී ලොව පුරා ව්‍යාප්ත වී ඇත්තේ රෝහල්, ලෙඩුන්, සංකල්ප පමණි. මේ හරහා ලොවට භීතිකාවන් නිර්මාණය වී ඇත. ඒ මරණ බයයි. වර්තමානයේදී මානවයා මරණ බයත් සමඟ ජීවත්වුවද අතීතයේදී අපේ ආදි මුතුන් මිත්තන් ජීවත්වූයේ ස්වභාව ධර්මය තුළින් ඔහුට ලැබුණු ශක්තිය තුළිනි. ඒ තුළ ඔහු සාර්ථක, පරිසරයට හිතකාමී, පරිසරවාදී කෙනෙක් ලෙස ජීවත් විය. ඉහළ ප්‍රතිශක්තිකරණ ශක්තියක් සහ රෝගවලට මුහුණදීමේ ශක්තියද ඇතිව එසේ ජීවත්වීමට වරම් ලැබිණි.
නමුත් පසුකාලයේදී මෙම ස්වභාව ප්‍රතිශක්තිකරණයට එහා ගිය කරැණු සමඟ චිත්ත විශ්වාසය ගොඩනගාගත් අතර එමඟින් අවසානයේදී ලෙඩ්ඩු බවට පත්වූහ.
වර්තමානයේදී ලෙඩකට පෙර බෙහෙත් ගන්නට සමහරු උත්සාහ ගනිති. විශේෂයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව බොහෝ විට සුළු අසනීප තත්ත්වයකදී වුවද වේදනා නාශක ඖෂධ වෛද්‍යවරැන් තීරණය කිරීම හේතුවෙන් ක්‍රමයෙන් මිනිසාගේ ශරීරය ඖෂධවලට හුරුවීමේ ප්‍රවණතාවන් වැඩිවී තිබේ.
බොහෝ ඖෂධ අත්හදා බැලීම් කිරීමට මිනිසාව පොලොඹවා ගනී. එමගින් ඇතිවන්නේ ඉතා පහසුවෙන් සුවකරගත හැකි රෝග ශරීරය පුරා වර්ධනය වීමය.
ඉතිහාසයේ බොහෝ වීරවරුන් රජවරුන් කළ මහා වීරක්‍රියා අදද පුදුමයකි. නමුත් අද වෙද්දී බොහෝ අය තම එදිනෙදා කටයුතු කිරීම සඳහාද විටමින් වර්ග, ඖෂධ වර්ග ගැනීමට පෙළඹෙති.
මේ තත්ත්වයට බහුජාතික සමාගම්, රෝහල්, වෛද්‍යවරැන් වගකිවයුතුව ඇත. ඔවුන් සමාජය තුළ ඇතිකර ඇති මරණ බිය සහ රෝග සම්බන්ධ ඇතිකර ඇති මහ බියකරු චිත්‍රය මෙයට ඉවහල් වේ. ඔවුන්ගේ මතය වනුයේ ලෙඩ හැදුණොත් බෙහෙත් බොන්න ඕනේ කියාය.
නමුත් ආයුර්වේදයේ සඳහන් පරිදි මානවයාට සෑදෙන රෝගවලින් වැඩි හරියකට එයට අවශ්‍ය මානසික සුවය හා විවේකය ලබාදුන් විට එය සුවවේ. අපගේ ශරීරයට ඕනෑම රෝගයක් මැඩපවත්වා ගැනීමේ හැකියාවක් ඇත. සත්ත්ව ලෝකයාට ඇති විශ්වකර්ම නිර්මාණයක් වූ අපේ ශරීරයට ඕනෑම තත්ත්වයකට අනුවර්තනය වෙමින් එම රෝගවලින් ජයගැනීමේ හැකියාව ඇත. නමුත් ඉතාම අල්ප කොටසකට ප්‍රතිකාර කර සුවකළ යුතු කොටසක්ද ඇත. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ ඖෂධ බොහෝමයක් අද ආයුර්වේදයේ සඳහන් වේ.
විශේෂයෙන් උණ, හෙම්බිරිස්සාව, කැස්ස වැනි සාමාන්‍ය රෝගයකදී එකවරම වෛද්‍යවරයකු කරා යාමේ සංකල්පය අප තුළින් ඉවත් කරගත යුතුවේ. එවැනි රෝග සාමාන්‍ය තත්ත්වයකි. ඒ සඳහා තාවකාලික උපක්‍රම ආයුර්වේදයේ සඳහන් වේ.
විශේෂයෙන් ඒ සඳහා මානසික සුවය ඉතා වැදගත් වේ. එමෙන්ම කායික සුවයද ඉතා අත්‍යවශ්‍ය වේ.
එමෙන්ම තාවකාලික අත්බෙහෙත් වලින්ද එවැනි අසනීප සුවකර ගත හැක.
ඔබ ආකල්පයන් හිතේ ගොඩනගා ගන්න. “තමන්ට වැළඳෙන ඕනෑම රෝගී තත්ත්වයකට ඔරොත්තු දීමේ ශක්තියක් ඔබේ ශරීරය තුළ ඇත” යනුවෙන් එය ගොඩනගා ගන්න.
අද දරුවකුට වැස්සට තෙමීමටත් නොහැක. ඔවුන්ට නොයෙක් ලෙඩ වැළඳේ. මව්පියන් තුළද “දරුවෙකු අද වැස්සට තෙමුණොත් හෙට උදේ උණ ගැනේවි” යනුවෙන් ආකල්පයක් ගොඩනගා ගෙන තිබේ. නමුත් අතීතයේ ජීවත් වූ කුඩා දරුවන් ඕනෑතරම් වැස්සට තෙමී ඇත. ගස් ගල් යට ජීවත්වූ මිනිසුන්ද ඕනෑතරම්ය. ඔවුන් තුළ ධනාත්මක ආකල්පයන් තිබුණි. ඒ නිසා මෙවැනි ආකල්පවලින් අත්මිදෙන්න.
ළමා වියේදී අධ්‍යාපනය තුළ රේස් එකක් දුවයි. ඒ දුවද්දී ළමා කාලය අහිමි වේ. තාරුණ්‍යයේදී බොහෝ ඉලක්ක ඔස්සේ දුව යද්දී තාරුණ්‍ය විඳීමට අමතක වේ. අවසානයේ ජීවිතේ විඳීම වෙනුවට ජීවිතේ විඳවා අඩු කාලයේදී රෝගීහු බවට පත්වෙති.
අද ඇතැම් වෛද්‍යවරු මුදල් උපයන වෙළෙන්දන් බවට පත්ව සිටිති. රෝගියකු ලවා දීර්ඝකාලීනව මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් රෝගයට ප්‍රතිකාර කල්ගත කරයි. මේ නිසා රෝගියකු රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබාදීම වෛද්‍යවරයාගේ යුතුකමකි.
බොහෝ රෝගීන්ට මරණ බිය ඇතිකරයි.
“දැන් මෙයා ලෙඩෙක්”
“ලෙඩා ඉන්න ඕන ලෙඩා විදිහටයි.... වැඩ කරන්න එපා.”
අද සමාජය තුළ ඕනෑතරම් මෙවැනි කතා අහන්නට ලැබේ. නමුත් රෝගයක් වැළඳීම යනු ජීවිතය නතරවීමම නොවේ. කෙනකුට ලෙඩා කීමෙන් ඔහු මානසිකව බිඳ වැටේ. අතීතයේ පවුලේ සාමාජිකයන් සියල්ල එකට එකතු වී පවුල ගොඩනැගුවද අද රෝගියා ගේ මානසික තත්ත්වය පහතට ඇද දමා මරණ බිය ඇති කරයි. හුදෙකලාව තුළ අද බිය ඇතිවීම වැඩිවේ.
ජීවිතේ ඇතිවන සෑම ලෙඩකින්ම අපි කරා මරණය ළඟා නොවේ. බෙහෙත් කළත් නොකළත් අවශ්‍ය විවේකය ගත්විට සුවය ලබාගත හැකි ලෙඩ ඕනෑතරම්ය. තමුන් හැරදා හැම ලෙඩකටම බෙහෙත් ලබාගන්නට බොහෝ දෙනා පුරුදුව සිටිති. මේ නිසා ආයුර්වේදයේ සඳහන් පරිදි ඒ රෝග තත්ත්වයන් හඳුනාගෙන ඊට අවශ්‍ය විවේකය සහ මානසික සුවය ශරීරයට ලබාදීම ඉතා වැදගත් වේ.
I දිශානි
(ලබන සතියට - දද, කුෂ්ඨ ආදී සමේ රෝගයට ආයුර්වේදයෙන් පිළියම්)