2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

හඳ පළුව තනි තරුවට පණදුන් විදර්ශන

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 01:40 236

අද වනවිට ශ්‍රී ලංකාවේ ග‍්‍රන්ථ ප‍්‍රකාශන කර්මාන්තය තුළ ප‍්‍රකාශකයෙකුට ලැබිය හැකි ඉහළම සහ වටිනාම ගෞරවය වන්නේ “ස්වර්ණ පුස්තක” සම්මානයෙන් පිදුම් ලබන කෘතියෙහි ප‍්‍රකාශකයා බවට පත්වීමය.

ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 11 වැනි වරටය. එහිදී තරගය සඳහා ඉදිරිපත් වූ නවකතා 99ක් අතුරින් 2016 වසරේ පළවූ විශිෂ්ටතම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබුයේ විදර්ශන ප‍්‍රකාශකයන් විසින් පළ කළ නිශ්ශංක විජේමාන්න විසින් රචිත “හඳපළුව තනිතරුව” කෘතියයි.

විසි වසරක විදර්ශන ප‍්‍රකාශන ග‍්‍රන්ථ ප‍්‍රකාශන චාරිකාවේදී එය විසින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ස්වාධීන සාහිත්‍ය සම්මාන, විද්‍යෝදය සම්මාන, ගොඩගේ සම්මාන ඇතුළු විවිධ සම්මාන විශාල ප‍්‍රමාණයකට හිමිකම් කියා ඇත.
ඒ සියල්ල අතුරින් මෙවර හිමිවූ ස්වර්ණ පුස්තක සම්මානය අප ආයතනයට සුවිශේෂ වන්නේ එය අද වනවිට ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ඉහළම හා ගෞරවනීයම සම්මාන උත්සවය බැවිනි. ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය මෙවර ප‍්‍රථම වරට සම්මානිත කෘතිය රචනා කළ ලේඛකයාට මතු නොව එම කෘතිය ප‍්‍රකාශයට පත්කළ ග‍්‍රන්ථ ප‍්‍රකාශන  ආයතනයටද සම්මානයක් පිරිනැමීය. එය මෙවර අභිනවයෙන් හිමිකර ගැනීමට අප ආයතනය වාසනාවන්ත විය.
විදර්ශන ප‍්‍රකාශන ආයතනය ඇරඹියේ 1997 වසරේදීය. නූතන සාහිත්‍යයේ නව මානයක් ප‍්‍රකට කරන සාහිත්‍ය කෘති ලාංකික සමාජයට ඉදිරිපත් කිරීම හා එම කෘතීන් හා සමගාමීව වන ලාංකික ලේඛකයන්ගේ කෘතියේ පළ කිරීම් අපගේ ප‍්‍රකාශන දැක්ම විය. ඒ අනුව විශ්ව සාහිත්‍යයේ අති නූතන ග‍්‍රන්ථ විශාල ප‍්‍රමාණයක්ද ලංකාවේ සුප‍්‍රකට නව සාහිත්‍ය රචනා මාර්ග අනුගමනය කරන ලේඛකයන්ගේ කෘතීන් විශාල ප‍්‍රමාණයක්ද පසුගිය විසි වසර පුරා අප විසින් පළ කරන ලදී.

විශේෂයෙන් නව සාහිත්‍යය වෙත උනන්දුවක් දක්වන තරුණ ප‍්‍රජාව අප ප‍්‍රකාශන ආයතනය හා නිරන්තරව බැඳී සිටි අතර තරුණ ලේඛක ලේඛිකාවන් ගණනාවකටම තමන්ගේ පළමු කෘතිය පළ කරමින් සාහිත්‍ය ලෝකයට ඇතුළුවීමට මග විවර කරදීමට අපට හැකි විය. ඔවුන් අද වනවිට ලාංකික සාහිත්‍ය අඹරේ දිදුලන තාරකාවක් වී සිටිනු දැකීම අප ලබන මහත් ආඩම්බරයකි.

2017 වසර අපගේ ප‍්‍රකාශන ආයතනයට සුවිශේෂ වසරකි. ඒ අප ප‍්‍රකාශන කටයුතු අරඹා විසි වසරක් සම්පූර්ණ වීමයි. එසේම එය අපට දැන් තවත් වැදගත් වෙයි. එනම් මෙවර ස්වර්ණ පුස්තක සම්මානලාභී කෘතියෙහි ප‍්‍රකාශන ආයතනය අප වීමයි.

ඒ සතුට තව තවත් වැඩි වන්නේ එය නිශ්ශංක විජේමාන්නගේම කෘතියක් වීම නිසාය. මන්දයත් ඔහුගේ සියලුම නවකතා හා කෙටිකතා කෘතීන් පළ කළේ අප ආයතනය විසින් වන බැවිනි.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00