තැපැල් දෙපාර්තමේන්තුව මගින් තම රුව සහිත මුද්දරයක් නිකුත් කර ගැනීමේ අවස්ථාවක් මහජනතාවට ලබා දී ඇත. මෙම වැඩසටහන තැපැල් දෙපාර්තමේන්තුව මගින් ප්‍රථම වතාවට ආරම්භ කරන ලද්දේ 2009 වසරේදීය. නමුත් එවකට රටේ පැවැති තත්ත්වය හේතුවෙන් එය දිගින් දිගටම පවත්වාගෙන යාමට නොහැකි විය. මේ නිසා එම වැඩසටහන අතරමඟ නතර කර දැමීමට තැපැල් දෙපාර්තමේන්තුවට සිදුවිය.
නැවත එය අලුත් මුහුණුවරකින් 2017 සැප්තැම්බර් මස 13 වැනිදා ක්‍රියාත්මක විය. පසුගිය සතිය පුරා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පොත් ප්‍රදර්ශනයේදී ද මේ සඳහා වෙනම කුටියක් වෙන් කෙරුණි.
මෙම එක් මුද්දර කඩදාසියක මුද්දර විස්සක් තියෙනවා. එහි සාමාන්‍යයෙන් භාවිත කරන මුද්දර විස්සක් තියෙනවා. ඒ මුද්දර විස්සට සම්බන්ධ කරපු තව හිස් කොටු විස්සක් තියෙනවා. මේ කොටු විස්සට තමන්ගේ රූපය දාලා යවන එක තමයි සිද්ධ වෙන්නෙ. මේ වැඩසටහන ලංකාවේ විතරක් නෙමේ, ඉන්දියාව වැනි රටවල් ගණනාවකමත් සිදු කරනවා. ඒ රටවල මෙය ඉතා ජනප්‍රියයි.
මේ සම්බන්ධ මෙසේ අදහස් දැක්වූයේ කොළඹ මුද්දර කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රචාරක නිලධාරී චන්න මුණසිංහ මහතාය.
ඕනෑම කෙනකුට තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසුව මෙම මුද්දර කොටුවට තම ඡායාරූපය ඇතුළත් කරගත හැකියි. ඒ වෙනුවෙන් තම ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුය. කුඩා දරුවකුට තම මව්පියන්ගේ අනන්‍යතාවය මගින් මෙය සනාථ කරගත හැක. මේ සඳහා කිසිදු වයස් සීමාවක් නැත.
මේ සඳහා ඉදිරිපත් වන ඕනෑම කෙනකුට තම ජංගම දුරකතනයෙන් හෝ කැමරාවක් මගින් ඡායාරූපය ගැනීමෙන් පසුව එය මෙම මුද්දරයට යාබද හිස් කොටුවේ මුද්‍රණය කර ඡායාරූපය පළ කරගත හැක. නැතිනම් තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා අවස්ථාව සලසා දී ඇත. කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ පළමු මහලේ මුද්දර කාර්යාංශයෙන් මේ සඳහා අවස්ථාව සලසා දී තිබේ. මේ වන විට මුද්දර කාර්යාංශයේ උප කවුලු හයක් දිවයින පුරා පිහිටා ඇත. එනම් ගාල්ල, මාතර, බෙන්තොට, අනුරාධපුර, නුවරඑළිය සහ මහනුවර නගරයි. මේවායින් නුවරඑළිය, මහනුවර සහ ගාල්ල යන මුද්දර කාර්යාංශ උප කවුලුවලදී ද මෙම ඡායාරූප මුද්දර වැඩසටහන ආරම්භ කිරීමට අවශ්‍ය කරන මූලික කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉදිරියේ දී එම ප්‍රදේශවලදී ද මෙම අවස්ථාව ලබාගැනීමට හැකියාව ඇත.
මේ වන විට මේ සඳහා මුද්දර වර්ග තුනක් හඳුන්වා දී තිබෙනවා. එනම් රුපියල් දහය, රුපියල් පහළොව සහ රුපියල් විසිපහ වශයෙන්. මේ රුපියල් දහයේ මුද්දර සාමාන්‍ය තැපැල් ගාස්තුව ලෙස භාවිත කරනවා. රුපියල් පහළොව මුද්දරය ව්‍යාපාරික තැපැල් වෙනුවෙනුත් රුපියල් විසිපහ මුද්දරය විදේශ තැපැල් පත් සඳහා යොදා ගන්නවා. මේ රුපියල් දහයේ මුද්දර විස්සේ පත්‍රිකාවක් සඳහා රුපියල් එක්දාස් පන්සීයක් ද, රුපියල් පහළොවේ මුද්දර විස්සක් සඳහා රුපියල් දෙදාහක් ද, රුපියල් විසිපහේ මුද්දර විස්සක් සඳහා රුපියල් දෙදහස් පන්සීයක් ද වශයෙන්. මෙම මුද්දර විස්සක් මුද්‍රණය කිරීම අනිවාර්යය වෙනවා.
චන්න මුණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ඕනෑම තැපැල් ගාස්තුවක් සඳහා මෙම මුද්දර වලංගු වේ. මුද්දරයක ඡායාරූප ගැනීම එකල එතරම් පහසු වූයේ නැත. විශේෂ වූ වැදගත් තැනක්, පුද්ගලයෙක් රුවක් හෝ සිදුවීමක් අලලා මුද්දරය නිර්මාණය වුවද අද වෙද්දී ඕනෑම සාමාන්‍ය කෙනකුට මුද්දරයකට පෙනී සිටීමේ හැකියාව ලැබීම තුළින් රටේ අපරාධකරුවකුට වුවද තම ඡායාරූපය මුද්දරයකට ඇතුළත් කර ගැනීමේ ඉඩකඩක් ඇත. මේ සම්බන්ධව ද මුණසිංහ මහතා තම අදහස් මෙසේ ද දැක්වීය.
මුද්දර වර්ග කීපයක්ම මුද්දර කාර්යාංශයෙන් පළ කරනවා. ඒ අතරින් කෙනකුගේ ඡායාරූප රැගත් සමරු මුද්දර නිකුත් කරනු ලබන්නේ චරිත සඳහා අවුරුද්දකට හතරක් පමණයි. ඉල්ලීම් අනුව මුද්දර උපදේශක කමිටුවට ඉදිරිපත් කොට එයින් තැපැල්පතිතුමාගේ නිර්දේශය මත ජනාධිපතිතුමාට යොමු වූවාට පසුව එතුමා මෙම මුද්දර හතර සඳහා අනුමැතිය ලබලා දෙනවා. මෙතනදී කරන්නේ එයට වඩා වෙනස් දෙයක්. එතනදී දැනට භාවිත කරනු ලබන මුද්දරයකට අදාළව ඇති කොටසේ වෙනත් කෙනකුගේ ඡායාරූපයක් මුද්‍රණය කර යැවීමයි. මුද්දරය සමඟ ඡායාරූපය සහිත කොටස යැවීම තමයි සිදුවන්නේ. මුද්දර කාර්යාංශයේ සඳහන් මුද්දර කොටස ඉවත් කළහොත් එම මුද්දරයේ කිසිදු වලංගුභාවයක් නැහැ.
මුද්දරයේ මිල සහ අනිකුත් සියලු විස්තර සඳහන් වන්නේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කරනු ලබන රූපය සහිත කොටසේය.
මේ වන විට මේ සඳහා ඉතාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා. විශේෂයෙන් තරුණ පරපුර මේ සඳහා ලොකු උනන්දුවකින් පසුවනවා. තමන්ගේ පින්තූරය මුද්දර ළඟ මුද්‍රණය කරලා පින්තූරයකින් ලියුමක් යවන්න ඔවුන් ආසා කරනවා. ඊට අමතරව මව්පියන් තම දරුවන් එක්ක ඇවිත් පවුලේ ඡායාරෑපයක් සහිත මෙම මුද්දරය හදාගන්නවා. ඔවුන් ඒවා සිහිවටනයක් විදිහට තියාගන්නවා.
කාර්යාංශයේ දී ඡායාරූපය ගනිද්දී එයට වෙනම මුදලක් අය නොකරන අතර ඒ සඳහා අය කරනු ලබන්නේ පෙර සඳහන් කළ මුදල පමණි. ඡායාරූපය ගෙන විනාඩි පහළොවක් ඇතුළත තම ඡායාරූපය සහිත මුද්දර විස්සක පත්‍රිකාව ඔබට ලබාගැනීමේ කාර්යක්ෂම සේවාව මුද්දර කාර්යාංශය ඉටුකිරීමට සැදී පැහැදී සිටී.
I දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප I සමන්ත ප්‍රදීප් විල්තෙර