2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

තවත් පුපුරණ උමාඔය

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

පූනාගල කන්දේ මීදුම් පීරාගෙන  හිරුරැස්  බණ්ඩාරවෙල නගරයට පතිත වන්නේ අලුත් දිනයක ආරම්භ සටහන් කරමිනි. දහස් ගණනක් ජනතාව බණ්ඩාරවෙල නගරයට ඇදී එන්නේ දෛනික කටයුතු සඳහාය. ඔවුන් අතර දවසේ වියදමට කීයක් හෝ සොයාගැනීමේ අරමුණින් නගරයට පැමිණෙන අය අතර කුලී වැඩකර ජීවිතය සරිකර ගන්නා අය මෙන්ම පෙදරේරුවන් හා අත්උදව්කරුවෝද සිටිති. එමෙන්ම විවිධ වැඩපළවල ගොවි බිම්වල සේවයක කරන අයද වෙති.

ඔවුන්ට දැන් ජීවන මඟක් නැත. බණ්ඩාරවෙල හා අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම තහනම්ය. ගොවිබිම් වැනසී ගොසිනි. වැඩබිම් වැසී ගොසිනි. උමා ඔය උමඟ නිසා අන්ත අසරණ තත්වයට පත්ව සිටින දරුපවුල් දහස් ගණනක් අතරට මේ අයද ඇතුළත්ය. මහවැලියෙන් පසුව අපේ රටේ ක්‍රියාත්මක වන උමාඔය නම් වූ දිවයිනේ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති‍යේ අනිටු පල නිසා නිසා බණ්ඩාරවෙල නම් වූ ශ්‍රී ලංකාවේ සුන්දරතම නගරයට හා අවට ගම්නියම්ගම්වලට අත්වූ කනගාටුදායක ඉරණමේ  කෙළවරක් දැකිය නොහැකි තත්ත්වයට පත්ව තිබේ.

මේ විනාශයේ මුල්ම සංඥාව නිකුත් වූයේ 2014 වසරේය. 2014 බණ්ඩාරවෙල අඹදණ්ඩේගම නිවසක් විනාශ කරමින් මහපොළව ගිලා බැස්සේය. ඉන්පසු වෙහෙරගොඩ, මකුල්ඇල්ල, එගොඩවත්ත යන ගම්මානවල ළිං ජලය සිඳීයාම සිදුවිය. එම ගම්මානවල ළිං 60ක ජලය සිඳීගියේය. ඊට අමතරව කිසිම නියං කාලයක නොසිඳුන ජල උල්පත් සිඳී ගොස් මකුල්ඇල්ල ගම්මානයේ පොළව ඉරිතලා ගිලා බැස විදුහල හා නිවාස කීපයක් බිත්ති පුපුරා ගියේය. මැදපේරුව වෙල්යයාක් මැද විශාල ගිලාබැසීමක් පසුගියදා සිදුවූයේ තවත් පවුල් සිය ගණනකට භිතිය උපදවමිනි. නිවාස රැසකටද හානි සිදුවිය.

ප්‍රදේශයේ සියලු ළිං හා ජල උලපත් සිඳී උග්‍ර ජල ප්‍රශ්නයකට ජනතාව මුහුණ දෙද්දී 2017 ජූනි මාසය වනවිට බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 2303 කට හානි සිදුවී සියලු ළිං හා ජල උල්පත් සිඳීගිය බව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්  නිහාල් ගුණරත්න මහතා එදා පැවසීය. ඊට පසු බණ්ඩාරවෙල නගරයේ මහල් ගොඩනැගිලි දෙකක් හා නිවාස කීපයක් ඉරිතලා විනාශ වන්නට පටන් ගත්තේය. ඒ අනුව බිඳුණුවැව, වටගුමව, ඇත්තලපිටිය, කිරිඔරුව, පලංගල, තන්තිරිය යන ප්‍රදේශවලින් පමණක් විනාශ ලැයිස්තුවට අලුතින් එක්වූ නිවාස ප්‍රමාණය 700ක් පමණ වන වූ බව    ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.

මේ විනාශයේ ව්‍යාප්තියේ අද තත්ත්වය විමසූ විට ගුණරත්න මහතා පැවසුවේ මේ වනවිට නිවාස හා ගොඩනැගිලි 3750 කට හානි සිදුව ඇති බවයි. ඇල්ල ප්‍රාදේශීය ලේකම් තනුක්ෂා අබේවර්ධන මෙනෙවියගෙන් විමසූ විට ලේකම් කොට්ඨාසය තුළ නිවාස 1500 කට පමණ හානි සිදුව ළිං හා ජල උල්පත් සිඳීගොස් තිබියදී විනාශ ලැයිස්තුවට අලුතින්ම එක්වූ දික්අරාව ගම්මානයේ පමණක් නිවාස 100ක් පමණ හානි හා අවදානම්  ලැයිස්තුවට එකතුවී ඇති බවයි. විවිධ ප්‍රමාණයන්ගෙන් මේ හානි සිදුව ඇති අතර පදිංචියට අවදානම් නිවාසවල අය එම නිවාසවලින් ඉවත්කර නිවාස කුලී ලබා දීමට ‍පියවරගෙන ඇති බවද තවදුරටත් එම කටයුතු සිදුවෙමින් පවතින් බවද තනුක්ෂා මෙනෙවිය කීවාය.

දික්අරාව ගම විනාශ වෙමින් පවතින්නේ එම ගම්මානයට ඉහළින් පිහිටි කුඩුගල්පතන කන්ද පුපුරා නායයාමේ තර්ජනයක් ඇතිවීම නිසාය. මෙහි නායයාමේ අවදානමක් ඇති බව කරන ලද පරීක්ෂණයකින් පසු විද්‍යාඥයන් විසින්ද පෙන්වා තිබේ. එතෙක් මෙතෙක් සිදුවූ සියලු හානි වැලිමඩ ඩයබරා සිට කරඳගොල්ල දක්වා වන උමං මාර්ගය කැණීමේදී 2014 දෙසැම්බර් සිට සිදුවූ මහා ජලකාන්දුව නිසා හටගත් බව දැන් අනාවරණය වී ඇතත් මෙය රහසක් සේ රැකීමට ඉදිකිරීම් සමාගම කටයුතු කළ නිසා තත්ත්පරයට ජල ලීටර් 1600 දිනකට ජල ලීටර් 13824000 ක් දක්වා විශාල වනතෙක් හානිය පිළිබඳව නිසි ලෙස අනාවරණය නොවීය.

එහෙත් මේ වනවිට මේ සියලු විනාශයන්ට හේතුව උමං මගේ අවිධිමත් කැණීම් බව සමාගම මෙන්ම රජයද නිල වශයෙන් පිළිගෙන තිබේ. රජය වෙනුවෙන් මේ කටයුතු සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජය වෙනුවෙන් මෙය ප්‍රකාශයට පත්කළේය. මේ උමාඔය කාන්දුව පිළිබඳව සොයා බැලීම සඳහා රජය විසින් නෝර්වේජියානු විශේෂඥ බෙනට් ඇගර්ට් මහතා ගෙන්වන ලද්දේ මේ පසුබිම මතය. ඔහු ජනාධිපතිවරයාට බාරදෙන ලද වාර්තාවෙන්ද සනාථ කර ඇත්තේ  උමගෙහි ජල කාන්දුව නිසා අදාළ ප්‍රදේශයේ භුගත ජලය සිඳීයාම සිදුවී ඇති බවයි. නිසි ශක්‍යතා අධ්‍යයනයකින් හා පරිසර බලපෑම් පිළිබඳව අධ්‍යයනයක් නොකර මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිසා ප්‍රධාන උමඟෙහි ජල කාන්දුවීම හා ඊට සමගාමී ප්‍රදේශයේ භූගත ජලය සිඳීයාම සිදුව ඇති බව ඔහු සනාථ කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගෙන් අපි විමසීමක් කළෙමු. දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ පැවසීය.

පොදුවේ ගත්කළ මුලු බණ්ඩාරවෙලම රතු කලාපයක් ලෙසට නම්කළ හැකි නාය අවදානම ඇති ප්‍රදේශයක් බවට හඳුනාගෙන තියෙනවා. උමාඔය ප්‍රශ්නය නිසා   බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හානිවූ නිවාස 902 ක් සඳහා රුපියල් දස කෝටි අනූහත් ලක්ෂ විසිහත් දහස් පන්සිය විසිපහක මුදලක්ද ඇල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ හානිවූ නිවාස 317ක් සඳහා රුපියල් දොළොස් කෝටි අසූහය ලක්ෂ දෙසීයක්, හපුතලේ ප්‍රාදේශීයේ ලේකම් කොට්ඨාශයේ හානිවූ නිවාස 57 ක් සඳහා හතළිස් පන් ලක්ෂ එකළොස් දහස් හත්සීයක්, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හානිවූ නිවාස 234ක් සඳහා හත්ලක්ෂ තුන්දහස් අටසීයක්, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 36 ක් සඳහා දෙලක්ෂ අසූනවදහස්  හත්සීයක් මේ වනවිට වන්දි ගෙවා තිබෙනවා.

ඊට අමතරව බණ්ඩාරවෙල  නිවාස වලින් ඉවත්කළ පවුල් 37ක් සඳහා නිවාස කුලී ලෙස රුපියල් විසිහත් ලක්ෂ අසූනව දහසක් හා ඇල්ල ප්‍රාදේශීයය ලේකම් කොට්ඨාසයේ පවුල් 57කට නිවාස කුලී ලෙස හතළිස් තුන් ලක්ෂ හත්දහස් හාරසීය දහනමයක් හපුතලේ නිවාසයක් සඳහා රුපියල් හැත්තෑ පන්දහසක් ලෙස කුලී මුදල් ලබාදී තිබෙනවා. සමස්තයක් ලෙස නිවාස අලුත්වැඩියා සහ නිවාස කුලී සඳහා එළඹෙන දෙසැම්බර් මාසය දක්වා රුපියල්  හැත්තෑ එක් ලක්ෂ හැත්තෑ එක්දහස් හාරසිය පනස් එකයි ශත පනස් අටක මුදලක් ලබාදී තිබෙනවා. තවදුරටත් සිදුවන හානි අනුව වන්දි ගෙවීමට සුදානම් බවද හෙතෙම පැවසීය.

ජේ.ඒ. හීන්මැණිකා මාතාවගේ වයස අවුරුදු 78කි. ඇගේ නිවහනේ ඇයත් වයෝවෘද්ධ සැමියාත් අසරණව සිටියේ එම නිවසේද බිත්ති පුපුරා විනාශවෙමින් පවති බැවිනි.

රෑ වෙනකොට බයයි අපි දෙන්නා නෑ ගෙදරකට යනවා උදේට ආයෙත් එනවා. බොහොම දුක් මහන්සිවෙලා හදාගත්ත ගේ විනාශ වන හැටි ඇස් දෙකටම දකින්න කොහොම ඉවසන්නද දෙයියෝ! යි හීන්මැණිකා මාතාව කඳුළු සැලුවාය.

අපි නිශාදිගේ නිවසට ගියෙමු. දියණියද තුරුළු කරගෙන ඇය කීවේ තමා දියණිය සමඟ බොහෝ අසරණ තත්ත්වයට පත්ව සිටින බවකි.

දැන් ගෙදරත් විනාශ වේගෙන යනවා. රෑට අපි මෙතැන ඉන්නේ නැහැ. බලන්න මේ බිත්ති දවසින් දවස ඉරි තලනවා. ටයිල් පොළොව පුපුරා උඩට නෙරනවා. ඇය පවසා සිටියේද වැගිරෙන කඳුළු පිස දමමිනි. සමහරු දැනටමත් ගෙවල් අතහැර ගොසිනි. තවත් සමහරු නිවෙස් හැර යන්නට සූදානමින් සිටිති. ජීවිත කාලයක් හම්බකළ සේසත හැරදමා ගමින් නික්මයාම කාටවත් දාරාගත නොහැකිය. කන්ද මුදුනට යනතෙක් තැන තැන දක්නට ලැබුණේ පොළොව පුපුරා පිපිරුම් ගැඹුරට හා දිගට විහිදෙන අයුරුය.

අපත් සමග මේ ගමනට එක්වූ ගම්වැසියෙක් වන නන්ද විජේසුන්දරගේ ස්වයං රැකියාව වන වාහන සේදීමේ සර්විස් මධ්‍යස්ථානයටද ජල ප්‍රශ්නය මහා බාධාවක් වී ඇති බව  දැනගන්නට ලැබුණි. මෙවැනි ස්වයංරැකියා රැසක් නතරවීමෙන් බොහෝ දෙනෙක් අසරණව සිටිති.

විජේසුන්දර අපිට කීවේ මෙවැනි කතාවකි.

අපි දැන් ගම්මානයේ ජනතාව සංවිධානයක්  පිහිටුවාගෙන  තියෙනවා. අපිට ඕන කාගෙන් හරි උදව් අරන් සහනයක් ලබන්නයි. ඉවත් කළ බොහෝ නිවාසවලට විකල්ප නිවාස කුලියට ගැනීම සඳහා කුලී ගෙවල් තියෙනවා. නිවාස වන්දි ගොඩක් අයට ලැබුණා. තවත් අයට ලැබෙන්න තියෙනවා. මේ ඊයේ පෙරේදා අනතුරදායක තත්ත්වයේ තවත් නිවාස 40කට වැඩි  ප්‍රමාණයක ලැයිස්තුවක් ලැබී තියෙනවා. ඒ අයටත් නිවාස කුලී ලබාදෙන බව උමාඔය ආපදා සහන කාර්යාලයේ නිලධාරියෙක් පැවසුවා. ස්වයං රැකියා අහිමිවීම නිසා අසරණ වන අයටත් උදව් කරන බව කිව්වත් තවම එහෙම සහනක් නැහැ. වගා වන්දිත් ගෙවන්න තියෙනවා. පොරොන්දු විශ්වාස කරගෙන ඉන්නවා. ඒවා ඉක්මණින් ඉටුකරන්න කියලයි හැමදෙනාම ඉල්ලන්නේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් මහත්තුරු පසුගිය දින කීපයේම මේ ප්‍රදේශය පරික්ෂා කළා. කවුරුත් කියන්නේ අවදානමක් තියෙනවා කියලා තමයි. යැයි නන්දන කීවේය.

I බදුල්ලේ පාලිත ආරියවංශ