2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

සුදු පාට මිහිඳුම් මැද පුංචි එංගලන්තයේ Oatlands බංගලාව

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

මුහුදු මට්ටමේ ඉඳන් අඩි 6200කටත් වඩා ඉහළින් පිහිටා තිබෙන නුවරඑළිය නගරය දැන් කෙමෙන් කෙමෙන් තමන්ගේ සුපුරුදු ශීත කාලගුණයට ගමන් කරමින් තිබෙනවා. මේ නිසාම යුරෝපීය දේශගුණයේ අත්දැකීම විඳීමට කැමැති දේශීය සංචාරකයනුත් දැන් දැන් නුවරඑළියට ඇදෙන්න පටන් අරන්. 

ජෙට්වින්ග් හෝටල් සමූහය විසින් ඉදිරිපත් කරන Oatlands කියන්නේ පුංචි එංගලන්තයේ ගතකරන නිවාඩුවට හොඳ නවාතැනක්. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට ඔබින අයුරින් නිර්මාණය කර තිබෙන මේ බංගලා මාදිලියේ හෝටලය තුළ දැවමුවා පොළොවක්, බුමුතුරුණු, විශාල නිදන කාමර වගේම ගිනි උදුන වගේ ඒ යුගයට අයත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ රැසක් දකින්න පුළුවන්. 

අසල කඳු පන්ති වෙලාගන්නා මීදුම් පටල වගේම පහතින් තේ වතු යායවල් දර්ශන ආදියෙන් පොහොසත් මේ හෝටලය පිහිටා තිබෙන්නේ සුප්‍රකට සෙන්ට් ඇන්ඩෘස් හෝටලය අසලයි. හෝටලයේ පසෙකින් අක්කර භාගයක පමණ උද්‍යානයක් නිර්මාණය කරතිබෙනවා. එය විශේෂයෙන්ම කුඩා දරුවන් සහිත පවුලකට වගේම පෙම්වතුන්ටත් හොඳ ඉඩක්, නිදහසක් සපයනවා. 

මේ බංගලාව කාමර හතරකින් යුක්තයි. ඒ සියලු කාමරවල හීටර්ස් තිබෙනවා. ඊට අමතරව නවීන හෝටල් කාමරයක තිබෙන සියලු සුව පහසුකම් මේවායේ අඩංගුයි. වයි ෆයි පහසුකම් පවා ඒ අතර තිබෙනවා. 

මෙතැන බොහෝ විට පිළියෙල කෙරෙන්නේ ඉංග්‍රීසි පන්නයේ ආහාරපානයි. නමුත් ඕනෑම සංචාරකයෙක්ට තමන්ගේ අවශ්‍යතාවයට, රුචිකත්වයට මුල් තැන දීලා ආහාර ලබාගැනීමේ හැකියාවත් පවතිනවා. 

මෙතැන නවාතැන් ගන්නා සංචාරකයන්ට අත්විඳිය හැකි වෙනස්ම තාලේ අත්දැකීමක් තමයි ‘Frog Trail’ කියන්නෙ. රාත්‍රී කාලයේදී හෝටලය අවට පරිසරයේ වෙසෙන ගෙම්බන් වර්ග 10කගේ පමණ වාසස්ථාන කරා ගොස් ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්න එහිදී අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා හෝටල් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් මාර්ගෝපදේශකයෙක් ලෙස එක්වෙනවා. 

I සනත් වීරසූරිය
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00