මීතොටමුල්ල ඛේදවාචකය සැමට හිතන්නට බොහෝ දේ ඉතිරිකළ මතකයකි. එහෙත් අදද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එවැනි කුණු කඳු පිළිබඳව අසන්නට දකින්ට ලැබේ. මාතර, කොටවිල ප‍්‍රදේශයේද එවැනි කුණු කන්දක් ඉදිවෙමින් තිබේ. මාතර මහා නගර සභාව මගින් ක්‍රියාත්මක කරන කසල ප‍්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් ලෙසින් පැවති පාලන කාලයේ ආරම්භ කෙරුණද අද වනවිට එය නතර වී තිබේ. අධික දුර්ගන්ධය හා විවිධ පාරිසරක කාරණා හේතුවෙන් ගම්වාසීහු මහත් අපසුතාවයට ලක්ව සිටිති. මේ සම්බන්ධව කොටවිල ගම්වාසීහු මෙසේ අදහස් පළ කළහ.
ඩී. ලියනමාන (50)
මහින්ද මහත්තයගේ ආණ්ඩුව තිබුණ කාලේ තමයි මේක ආරම්භ කළේ පොහොර හදනවා කියලා, අපිට රස්සා දෙනවා කියලා තමයි ගමේ අයගේ අවසරය ගත්තේ. නමුත් ඔවුන් අපිව රැවැට්ටුවා. දැන් මෙතන හදන පොහොරක් නැහැ. මාතර අවට තියෙන ඔක්කොම කුණු මෙතනට ගෙනත් දානවා. දැන් අපිට නහයක් තියන් ඉන්න බෑ. නිදහසේ කෑමක් උයන්න බෑ. කන්න බෑ. ගෙවල් ඇතුලේ මැස්සො පිරිලා. කොච්චර බලධාරින්ට කිව්වට වැඩක් නැහැ. එයාලා අපි ගැන හිතන්නෙ නැහැ.
ඩබ්ලිව්. චන්ද්‍රිකා (56)
කුණු කන්දට එහා පැත්තෙ තමයි කොටවිල ජාත්‍යන්තර ක්‍රිඩාංගණය තියෙන්නෙ. මීටර් 500 ක් වගේ දුරින්. මේ දවස්වල ජාතික මහා ක්‍රීඩා උත්සවය ඒකේ තියෙනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා එන නිසා දැන් කුණු කන්ද පස්දාලා වහනවා. තැන තැන තියෙන ඒවා උඩට ගිහින් දානවා. මේ දවස්වල ඉන්නම බෑ ගඳේ. අපි අහන්නෙ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇවිත් ගියාට පස්සෙ අපිට මොකද වෙන්නෙ කියලා. අර ගඳ ආයෙමත් හමනවා. මේක අපිට හරි හිසරදයක්. ගොඩක් අය ගම දාලා යන තත්ත්වයට පත්වෙලා තියෙනවා. අලුතින් කසාද බැඳලා ආව නම් ඒ ළමයා ගෙදර ගිහින් තිබුණ මට කසාදේ එපා මේ ගඳ එක්ක ජීවත් වෙන්න බෑ කියලා. දැන් ගමේ හැමතැනම බෝඩ් දාලා මිතොටමුල්ල 2 කොටවිල කියලා. අපි බලධාරින්ගෙන් ඉල්ලන්නෙ මේ කුණු කන්ද මෙතනින් ඉවත් කරලා දෙන්න කියලයි.
ප‍්‍රදීප් කුමාර (29)
පසුගියදා තිබුණ ගංවතුරෙන් මේ ප‍්‍රදේශය අඩි 5 ක විතර ප‍්‍රමාණයක් වතුර පිරුණා. අර කුණු ටික ඔක්කොම හේදිලා අපේ ඉඩම්වලට ආවා. ඇළ මාර්ග දිගෙත් ආවා. කොච්චර විෂබීජ ගොඩක්ද මේ ආවේ. අපේ දරුවන්ට දද, කුෂ්ඨ, හතිය, පාචනය වගේ ලෙඩ හැදෙනවා නිතර. පාසල්වලට යවන්නෙත් අඩුවෙන්. ඇයි ලෙඩනෙ හැමදාම. මේ ගඳ ඉවසන්නම බැහැ. පුදුම ගඳක් තියෙන්නෙ. කුණු කන්ද පහළ ඇළ මාර්ගයක් තියෙනවා. මේකේ කුණු පිරිලා තමයි අපේ කුඹුරුවලට යන්නෙ. අපි නිකම් ආකාලයේ මැරෙයි මෙහෙම ගියොත්. අපි කියන්නෙ මේ කුණු කන්ද මෙතනින් ඉවත් කරලා වෙන ජනාකීර්ණ නැති තැනකට දාන්න කියලයි.
එම්.ඒ. ශ්‍රියානි (51)
අද අපි වහ ටිකක් කාලා ජීවත් වෙනවද මැරෙනවද කියලා හිතාගන්න බැරිව ඉන්නෙ. මේ ගඳ ඉවසන්නම බැහැ. මැස්සො ගෙවල්වල පිරිලා. ළිං වල සතුන් ගෙනත් දාපු අපද්‍රව්‍ය තියෙනවා. ඒවා එක්ක තමයි අපි ජලය පාවිචිචි කරන්නෙ. ජනාධිපතිතුමා අගමැතිතුමා එන නිසා කුණු ගඳ එනවට පස්දාලා වහන්න හදනවා. එහෙම වහන්න බෑ මේ ගඳ. මේකට පෙර ආණ්ඩුවත් මේආණ්ඩුවත් වගකියන්න ඕන. ඒ අය තමයි අපිව මේ මරන්න හදන්නෙ.
යූ.ජී. සෝමාවති (73)
අද ගමේ ඌරන්, බල්ලන්, මොනරුන්, කාක්කන් හැමතැනම ඉන්නවා. මේ කුණු නිසා ඒ සතුන් එනවා. උන් තැන තැන කන ඒවා දදා යනවා. තව ටික කාලයක් යනකොට මීතොටමුල්ල වගේ මේකත් නායයයි. අපේ ජීවිත අනතුරක තියෙන්නෙ. උදේ ඇහැරුණ වෙලේ ඉඳන් නිදියනකල් මේ ගඳ තියෙනවා. අපිට නිදහස් වාතාශ්‍රය ලැබෙන්නෙ නැහැ. අපි කියන්නෙ මේ කුණු කන්ද මෙතනින් ඉවත් කරන්න කියලයි. මොකද අද කුණු ගේනවා විතරයි පොහොර හදන්නෙ නැහැ. ජනාධිපතිතුමනි අගමැතිතුමනි මේ කුණු මෙතනින් ඉවත් කරලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධව අප මාතර මහ නගර සභවේ ඝන අපද්‍රව්‍ය ප‍්‍රතිචක්‍රීය කිරීමේ වැඩසටහන භාර නිලධාරි මහජන සෞඛ්‍ය පරික්ෂක එරාජ විරසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
මාතර මහා නගර සභාවේ කසළ ප‍්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය මාතර කොටවිල ප‍්‍රදේශයේ තමයි තියෙන්නෙ. දිරන කසළ සහ නොදිරන කසළ වෙනම අපි ප‍්‍රතිචක්‍රීයකරණය කළා. දිරන කසළවලින් විදුලිය ලබාගැනීමේ ක‍්‍රමයක් ආරම්භ කළා පෞද්ගලික සමාගමක්. හදිසියේ එය නතර වුණා. එම නිසා අපට කසළ ගොඩගසා ගන්න සිදුවුණා. දිරන කසළ ප‍්‍රතිචක‍්‍ර්‍ියරණයට කළා. නමුත් දැන් ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රශ්නයක් තමයි ජාතික ක්‍රීඩා උළෙල නිසා කසළ ගොඩගසනවා කියලා. ලබන සතිය වෙනකොට කොම්පෝස්ට් නිෂ්පාදනය යළි ආරම්භ කරනවා. එතකොට කසළ ගොඩගැසීමක් සිදුවන්නෙ නැහැ. දැනට තියෙන කසළ තුනී කරලා එයට උඩින් පස් දමන්න ක‍්‍රියාකරලා තියෙනවා. ලබන සතිය වෙද්දී මේක විසඳෙයි.
සේයාරූ සහ සටහන:
මහේෂ් මලවරආරච්චි