හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා සිදුවෙන කෑදර ඉඩම් පරිභෝජනයේ ප්‍රතිඵලයක් ලෙස කැලෑවල සිටි වන අලින් අද වන විට ගම් හා නගරවලටද පැමිණීමට පටන්ගෙන තිබේ. වන අලි ගැටලු පිළිබඳව කොතෙකුත් වූ පුවත් ලංකාවේ සතර දෙසින් නිරන්තර අපට අසන්නට දකින්නට ලැබෙන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද එවැනි පුවත් දවස ගාණේ ඕනෑතරම් අසන්නට ලැබේ. කොතරම් දුරට වන අලි උවදුර ඔඩුදුවා ඇතත් තවමත් වගකිවයුතු පාර්ශ්ව ඊට විසඳුම් ලබාදීමක් පෙනෙන තෙක් මානයකවත් නොමැත.
මීට මාසයකට පමණ පෙරද සූරියවැව මදුනාගල රක්ෂිතයේ සිටි වන අලි දෙදෙනකු වලස්මුල්ල, වීරකැටිය ඇතුළු ප්‍රධාන නගර කිහිපයක් පසු කරමින් ජනතාව භීතියට පත් කරමින් දරුණු ලෙස හැසිරුණු පුවත අමතක වීමටත් පෙර තවත් එවැනිම සිදුවීමක් අපට අසන්නට ලැබුණේ පසුගිය 14 වැනි දින අම්බලන්තොට හා ඒ අවට පෙදෙසිනි.
ඉකුත් 14 වැනි දින සවස් වන විට අම්බලන්තොට හා ඒ අවට ගම් නියංගම්වල ජනයා අතර දැඩි කසුකුසුවක් පැතිර ගියේ ලැව්ගින්නක් මෙනි. ඉන් කියැවුණේ වන අලි සිව්දෙනකු අම්බලන්තොට හා ඒ අවට ගම්වලට වැදී ඇති බවයි. වන අලි සිදුකරන හානි පිළිබඳව කොතෙකුත් අසා ඇතත් වන අලි හා සම්බන්ධ කිසිදු අත්දැකීමක් නොතිබුණු මෙම ගම්වල ජනතාවට වන අලි සිව්දෙනාගේ ආගමනය භීතියක් දනවන්නට විය. ගමක් ගමක් පාසා නිවෙස්වල ගිනිමැල පත්තු කර එළිවෙන තුරා දරුමල්ලන් ද තුරුලු කරගත් මව්පියෝ තැන තැන නිදිවර්ජිතව පසු වූයේ වන අලි කොයි මොහොතක සිය නිවෙස් වෙත කඩාවදීවිද යන්නටතිබූ බිය නිසාවෙනි.
14 වැනි දින අම්බලන්තොට වාදුරුප්පුව ප්‍රදේශයට පැමිණි මෙම වන අලි සිව්දෙනා සිතූ සිතූ පරිද්දෙන් ගමින් ගමට මාරුවෙමින් ඒ මේ අත සැරිසරන්නට වූයේ නිවෙස්වල සිටි ජනතාව ද එලවා දමමිනි. මෙලෙස හිටි හැටියේ ගම්වැදුණු මෙම වන අලි සිව්දෙනාට හරියට අවුරුදු ලැබුවා මෙන් විය. ඒ අන් කිසිවක් නිසා නොව ගොවියන් වී අස්වනු නෙලා ගෙට ගෙනත් දමා තිබූ කාලය නිසාවෙනි. ගම් වැදුණු වන අලි සිව්දෙනා සිතූ සේ ගමින් ගමට පැන වී ඇතුළු ධාන්‍ය එක හුස්මට කා දමන්නට වූහ. මේ සියල්ල හමුවේ ගම්මුන්ගෙන් වනජීවී නිලධාරීන්ට ද චෝදනා පිට චෝදනා එල්ලවන්නට වූයේ වන අලි ගම්වැදීම නිසාය. නමුත් ගමේ ගොඩේ දැනඋගතුන් මෙන්ම වැඩිහිටියන් ද පැවසුවේ වනජීවි නිලධාරීන්ට දොස් කීමෙන් පලක් නොවන බවත්, වන අලින්ගේ නිජබිම් ලෙස පැවති කැලෑ මිනිස්සු විසින් ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස වන අලි ගම් වදින බවත්ය.
වන අලින්ගේ පැමිණීමත් සමඟ හම්බන්තොට වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ජේ.ඒ.පී. විජය කුමාර මහතාගේ නායකත්වයෙන් යුතුව හම්බන්තොට හා කළමැටිය වනජීවි නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වන අලි සිව්දෙනා අල්ලා ගැනීමේ මෙහෙයුම ආරම්භ කෙරුණි. ජීවත් වීමට තරම් වූ කැලයක් නොමැති වන අලි දැන් දැන් කැලයෙන් එළියට විත් ගම්වලට වැදීමට පටන් ගෙන ඇත්තේ ද මිනිස් ක්‍රියාකාරකම්වලම ප්‍රතිඵලයක් ලෙසය. සූරියවැව මදුනාගල කැලයේ සිට අම්බලන්තොට නගරය හා ඒ අවට ඇති රිදියගම, ගොඩවාය, බෙලිගාල්ගොඩ, පුහුජූල්ගොඩ, වැලිපටන්විල, ලුණම, උස්සන්ගොඩ හා කළමැටිය යන ගම්මානවලට මාරුවෙමින් දින තුනක් තිස්සේ ජන ජීවිත අවුල් කරමින් සිටි මෙම වන අලි සිව්දෙනා වනජීවි නිලධාරීන්ගේ දැඩි පරිශ්‍රමයකින් පසුව 17 වැනි දින රාත්‍රියේ දී නැවතත් රිදියගම හරහා මදුනාගල කැලයට පන්නා දැමීමට කටයුතු කෙරිණි.
වන අලියකු දිනකට කිලෝමීටර් 25 ක් 30 ක් පමණ ඇවිද යන නමුත් හම්බන්තොට සිටින වන අලින්ට ඇවිද යාම සඳහා වූ කැලෑ කොටස ඉතා සීමිත වී තිබේ. ඒ කැලෑ හොරුන්ගේ විවිධ ජාවාරම් නිසා සහ විවිධ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලට යැයි පවසමින් කැලෑ මහා පරිමාණ ලෙස බුල්ඩෝසර් දමා හෙළිකිරීමත් නිසාවෙනි.
හම්බන්තොට වන අලින් වෙනුවෙන් යැයි පවසමින් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයක් බෝඩ් ලෑලි ගසා වෙන්කර තිබුණ ද එය නමට පමණක් සීමා වූ සුදු අලියෙක් බවට පත් වී තිබේ. හම්බන්තොට පිහිටි කැලෑ ඉඩම් මේ වන විට සීමාව ඉක්මවා හෙළිපෙහෙළි කර තිබේ. මහ පාරවල්වල සිට බලන විට මහ කැලෑ ලෙස පෙනෙන සියලුම කැලෑ ඇතුළට වන්නට සුද්ද කර විවිධ කටයුතුවලට යොදාගෙන තිබේ. මේ අතරේ ඇතැම් දේශපාලනඥයන්ගේ අනුගාමිකයන්ට ද හම්බන්තොට කැලෑ අක්කර සිය ගණනින් ඔප්පු තිරප්පු ද සකස් කර පඬුරු පාක්කුඩම් ලෙස දී ඇති බව ද නොරහසකි. එහි ප්‍රතිඵලයක් ලෙස වන අලින්ට කෑමට ප්‍රමාණවත් ආහාර නොමැති වීම නිසා වන අලි ඇතුළු වන සතුන් ද වියරු වී තිබේ. මේ හේතූන් නිසාම වන අලි කැලයෙන් එළියට පැමිණ ගම්වලට වැදීමට පටන් ගෙන තිබේ.
වන අලි මෙහෙයුම භාරව කටයුතු කළ හම්බන්තොට වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ජේ.ඒ.පී. විජය කුමාර මහතා පැවසුවේ ඉදිරියේ දී අනෙකුත් නගරවලට ද වන අලින්ගේ පැමිණීම බලාපොරොත්තු විය යුතු බවයි. වන අලි සඳහා කැලය සීමිත වීම මේ තත්ත්වය උග්‍රවීමට මූලිකම හේතුව වී ඇති බවයි විජය කුමාර මහතා පැවසුවේ. ගම්වල සිටින මිනිස්සු කැලය කපා කැලයට යන විට කැලයේ සිටින වන අලි ගම්වලට පැමිණීම සාමාන්‍ය දෙයකි. මේ සඳහා වන එක් විසඳුමක් ලෙස විජය කුමාර මහතා පැවසුවේ වනය තුළ සිදුවෙන විවිධ ජාවාරම් වහා නතර කර වන සතුන්ට කැලයේ හිමිකම ලබාදිය යුතු බවයි. අම්බලන්තොටට වන අලි ඒම සම්බන්ධයෙන් සිදුකළ මෙහෙයුම පිළිබඳව ද ඒ මහතා මෙසේ අදහස් පළ කළේය.
වන අලි නිතර නිතර කඩාපනින ගම්වලට වන අලි ගියාම එම අලි එළවීම අපට පහසුයි. මොකද ඒ ගම්වල මිනිස්සුන්ට වන අලි පුරුදු නිසා. අලි පලවා හැරීමට පවා ඒ ගම්වල ජනතාවගෙන් සහායක් හිමි වෙනවා. නමුත් වන අලි පිළිබඳව කිසිදු අත්දැකීමක් නැති ගම්වලට මෙලෙස වන අලි කඩා වැදීමේ දී වනජීවී නිලධාරීන්ට පවා මුහුණ දෙන්නට වන්නේ දැඩි ගැටලුවකටයි. මීට සති කිහිපයකට පෙරත් වන අලි දෙදෙනකු මේ විදියටම වලස්මුල්ලට ගියා. ඒ අවස්ථාවත් මේ අවස්ථාවත් දෙකම සමානයි. මොකද මේ මිනිස්සුන්ට වන අලි පිළිබඳව කිසිදු අත්දැකීමක් නෑ. ඉතින් එහෙම වුණාම අපිට වන අලි ගමින් පලවාහැරීමට කලින් ගම්වල ජනතාව පාලනය කරන්න වෙනවා. අම්බලන්තොටට වන අලි සිව්දෙනාගේ පැමිණීමත් සමඟ ජනතාව විශාල ලෙස කලබල වුණා. මිනිස්සු ඒ මේ අත දුවමින් කෑකොස්සන් ගහන්න වුණා. එහෙම වුණාම වන අලි ගමින් පන්නා දැමීම පවා සිදුකරන්න අමාරුයි. මොකද වන අලි කුලප්පු වීම ඉතා භයානකයි. එහෙම වුණොත් සිදුවෙන හානිය ඉතා විශාල වෙන්න පුළුවන්. ඒ නිසා මේ කටයුත්තේ දී අපිට අම්බලන්තොට පොලීසියේ සහාය පවා ලබාගන්න සිද්ධ වුණා මිනිස්සු පාලනය කරන්න.
කොහොම හරි දින තුනක දැඩි පරිශ්‍රමයකින් පසුව වන අලි සිව්දෙනා මදුනාගල කැලයට පන්නා දැමීමට අපට හැකි වුණා. නමුත් අපිට ස්ථිරවම කියන්න බෑ නැවත වන අලි මේ පෙදෙස්වලට නොපැමිණේවි කියලා. මොකද වන අලි මේ වන විට ඉන්නේ පුංචි කැලෑ කොටසකට සීමාවෙලා. අපි අපිට පුළුවන් උපරිමයෙන් උත්සාහ දරන්නේ වන අලි ගම්වදින එක නතර කරගන්නයි. මිනිස්සුත් පුරුදුවෙලා තියෙන්නේ අලියෙක් ගමට ආව ගමන්ම වනජීවි එකට දොස් කියන්න. අලි ඉන්න කැලෑ කපන්නේ අපි නෙමේ, ගම්වල ඉන්න මිනිස්සුමයි. ඒ අය කැලෑ හෙළිකරන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ වන අලින්ගේ චර්යා රටාව පිළිබඳව. වන අලි අද ඊයේ හම්බන්තොටට ආවා නෙමේ. ඉස්සරත් මේ කැලේ වන අලි සිටියා. නමුත් අද වගේ වන අලි කරදර ඉස්සර තිබුණේ නෑ. මොකද ඒ කාලේ මිනිස්සු හේනක් කළත් එහි යම් ක්‍රමවේදයක් තිබුණා. ඒ නිසා වන අලි ගම්වැදීම පිළිබඳව වනජීවී නිලධාරින්ටම ඇඟිල්ල දිගු කිරීම ඉතා වැරුදියි යැයි පැවසීය.
සූරියවැව නුවන් ජයසේකර