2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ඉතිහාසයක් වැඳ වැඳ අපිත්...

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

අපේ රට අවුරුදු දෙදාස් පන්සීයක ඉතිහාසයක් තියෙන රටක්. අපි එහෙමයි කතාවට කියන්නෙ. ඇත්තටම බුද්ධාගමත් එක්ක ගැටගැහුණු වටපිටාවක් එක්ක ඒ අවුරුදු දෙදාස් පන්සීයක කාලෙදි අපේ මුතුන් මිත්තො කරපු කියපු දේවල් හිතාගන්න බැරි තරම් පුදුමයි. මේ හින්දම තමා අතීතයට අයිති දේවල් අලුතින් හොයාගන්නත් එහෙම හොයාගත්තු ඒවා ආරක්ෂා කරන්නත් පුරා විද්‍යාව කියල එකක් බිහිවෙලා තියෙන්නෙත්. 

අතීතයට අයිති දේවල් අපි එකතු කරන නිසා එක අතකින් ඒවා සුද්දන්ට මාකට් කරන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා. සීගිරිය, අනුරාධපුරය, පොළොන්නරුව වගේ පැතිවලට සුද්දෝ බුරුතු පිටින් එන්නෙ අතීත ලංකාවෙ තිබ්බ ඒ දේවල් දැකගන්නයි. 

හැබැයි අපේ රටේ දේවල් දකින්න සුද්දො මෙහාට එනවා දැක්කම අපේ උන්දැලා හිතන්නෙ මේ ලෝකෙ ඉතිහාසයක් තියෙන එකම රට ලංකාව කියලයි. හෝමෝ සේපියන්ලා බිහිවෙච්ච ඉතියෝපියාව, ඊජිප්තුවෙ පිරමීඩ ගැන, චීනයේ ඉන්දු නිම්නයේ මෙසපොතේමියාවේ ශිෂ්ටාචාර ගැන, පේරු රටේ මාචු පීචු ගැන අපි දැන දැනත් නොදන්නවා වගේ රඟනවා. 

අපේ රට ඇතුළෙ ගොඩක් ජනප්‍රිය පාඨයක් තමයි ‘සිය රට දේ සිරි සැප දේ’ කියන එක. බැලූ බැල්මටම මේක හරි දේශානුරාගී කියමනක් වගේ පෙනුණට ඒකෙන් ඇත්තටම කියන්නෙ, ‘දිගටම ළිං මැඩියෝ වාගේ හිටපන් කියලයි. මොකද ඇත්තටම අපේ රටේ තියෙන අවුලත් වෙන රටක් දිහා ඇහැක් ඇරලා බලලා එතැනින් ගන්න පුළුවන් හොඳ දේවල් අගය කිරීමක් එක්ක නොගන්න එකයි. ඒකටත් එක්ක වෙන රටක තියෙන නරක දෙයක් නම් ඔක්කෝටම ඉස්සරවෙලා අපේ අය වැළඳගනීවි. 

ලංකාවෙ ගො‍ඩ දෙනෙක් වර්තමාන කාලේ මුළුමනින්ම මිඩංගු කරන්නෙ ඈත අතීතයේ වෙච්ච දේවල් ඔප්පු කරන්නයි. හොඳම උදාහරණෙ තමා, එක පිරිසක් බුදු හාමුදුරුවෝ උපන්නේ ජීවත් වුණේ ලංකාවේ කියලා කියන්න හදන එක. බුදු හාමුදුරුවෝ ජීවත් වුණේ කොයි රටේ ද කියන හොයන්න නැහෙන උන් එකෙක් වත් බුද්ධ දර්ශනේ හරියට පිළිපදිනව ද කියන එක ගැන සැකයි. අපි බෞද්ධයෝ කියලා කෑ ගහන කීයෙන් කීදෙනා ද භාවනාවක් කරන්න පුරුදු වෙලා ඉන්නෙ. 

ඉතින් රුවන්මැලි සෑය හරි බසවක්කුලම වැව හරි ගැන කියන කරන කතාත් එහෙම්මමයි. අපි ඒවා ගැන කතා කරන්නෙ, ‘අපි එහෙව් ජාතියක් බොලව්’ කියන හැඟීමෙන්. එහෙම කියන එකෙක්වත් එහෙව් ජාතියකට අද වෙලා තියෙන දේ මොකක්ද කියලා එක තත්පරේකටවත් හිතනවද මන්දා?

අද අපේ රටේ අධිවේග මාර්ග හදන්නෙ චීන්නු නැත්නම් ජපන්නු. ඇල වේලි හදන්නෙ කැනඩාවෙන්, එංගලන්තෙන්. අපේමයි කියලා කියන්න පුළුවන් තනි නිර්මාණ තියෙන්නෙ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. අර තාක්ෂණය මේ තාක්ෂණය වෙනුවෙන් රට රටවල් එක්ක ගිවිසුම් ගහලා හිඟාකන්න, ජාතියක් විදිහට අපිට සිද්ධ වෙලා. 

ඇත්තටම කිව්වොත් අපිට වගේ අතීතකාමයක් නැති ගොඩක් රටවල් අද දියුණුවෙන් දියුණුවට පත්වෙලා. අවුරුදු දෙසිය ගාණක ඉතිහාසයක් තියෙන අමෙරිකන්කාරයා මේ රේස් එකේදි අපිව පහුකරලා ආලෝක වර්ෂ ගාණක් ඉස්සරහට ගිහින්. එයාලා අඟහරුවලට ගොඩබහින්න හදද්දි අපිට තාමත් හයිවේ ‘මැජික්’ වෙන්නෙ ඒකයි. 

කොච්චර වුණත් අපේ රටේ මිනිස්සුන්ට අතීතකාමය කියන්නෙ ජානවලටම බද්ධ වෙච්ච දෙයක්. එදා හිටපු මිනිස්සු කරපු දේවල්වලින්ම සුද්දට අභියෝග කරන්න වෙනුවට අද දෙයක් කරලා සුද්දට ‘චැලේන්ජ්’ කරන්න කොන්දක් හදාගන්න එකයි වැදගත්.  

කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමයට බොහොම අපූරු තේමා ගීතයක් තියෙනවා. ඒකෙ එක තැනක මෙහෙම සඳහන් වෙනවා. 

තිර අනාගතයක් නැති දැයක
ඉතිහාසයක් කුමටද පුදා...
ඉතිහාසයක් වැඳ වැඳ අපිත්
ඉමු අනාගතයක් පසෙක ලා.
..