2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

පොල් පැලෙන කතා!

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 351

පසුගිය දිනෙක, මැරූටි සයිමන් පොල් ගෙඩියක්ද අතැතිව වේගයෙන් ගමන් කරමින් සිටිනු දුටු මම, ගේට්ටුව අසල සිටම ඔහුට කතා කළෙමි. සයිමන් පවසා ඇති අන්දමට ඔහුට යකා ඇවිස්සුණු අවස්ථාවල, කපුටෙකුවත් ඒ අසලින් පියාඹන්නේ නැත.

කොහෙද සයිමන් අයියා කලබලෙන් වගේ යන්නෙ? මා දුටු සයිමන් මොහොතකට නැවතුණේය.

මං යනව සෑර් ගංහතේ දේවාලෙට. පොලයක් ගහන්ඩ.

අපොයි සයිමන් අයියා, මේ කාලෙ පොල් ගහන එක නං ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි නේද? පොල්වල ගණන් ඇහුවම එලෝ පොල් පේනවනෙ.

ඒකම තමයි සෑර් කාරණේ. මං පොලේ ගහන්ඩ යන්නෙ පොල් ගෙඩිය රුපියල් සීයට නග්ගපු එවුංට කෙළවිලා යන්ඩ කියලා.

සයිමන් එක අතක තිබූ පොල් ගෙඩිය, ඉහළ දමා අනිත් අතින් ගෙන ඉක්මණින් යන්නට ගියේය. බොහෝ දෙනෙකු මෙන්ම මාද සිතුවේ පොල් ගණන් යන්නට ඇත්තේ පසුගිය කාලේ පැවති නියඟය නිසා බවය. පොල් ගසටත් ජලය අවශ්‍යය. එසේ නැතිව විට ඵලදාව අඩුවෙයි.

සාමාන්‍යයෙන්, වසරකදී රටේ පොල් ඵලදාව ගෙඩි මිලියන 3000ක් පමණ වන බවත්, මෙවර ඉන් 12%ක් අඩුවූ බවත් පුවත්පත්වලින් දැනගන්නට ලැබුණි. එහෙත්, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා යකාගෙම කතාවක් කියා තිබුණි. එනම්, පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ යාමට වගකිවයුත්තේ කළු කඩකාරයන් බවය. එය සැබෑවක් නම් මැරූටි සයිමන්ට යකා නැගීමද සාධාරණය.

අසාධාරණයට, දූෂණ වංචාවන්ට විරුද්ධව පාරට බසින්නට බලා සිටින පිරිස් බහුල මේ රටේ කළු-පොල් කාරයන්ට විරුද්ධව නැගී නොසිටීම කනගාටුදායකය. පොල්තෙල් හා කොලෙස්ටරෝල් ගැන කොතෙක් කයි කතන්දර තිබුණද, ලංකාවේ අපිට පොල් නැතුවම බැරිය. පොල් ගෙඩියක්ම මිලදී ගැනීමට නොහැකි අය පොල් බෑයක් හෝ ගෙන, එළවළු මල්ලේ අඩියට දමාගෙන යන්නේද එහෙයිනි.

පොල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන බැවින්, එහි මිල ඉහළයාම ආර්ථික උද්ධමනයටද හේතුවෙයි. පොල් ගැසුවත් නැතත්, පොල් මිල දිගින් දිගටම වැඩිවුණොත් සම්මුති ආණ්ඩුව පෙරළෙන්නටද බැරි නැත.

ප්‍රජාතන්ත්‍රවාදයේ ඔස්තාද් කෙනෙකු ලෙස සැලකුණු ජනාධිපතිවරයකුගේ පාලන කාලයේ මේ රටේ හොඳම පොල්වතු, තමන්ගේ දන්ත වෛද්‍යවරයා, ලේකම්වරයා ඇතුළු සහචරයන්ට තුට්ටුවට දෙකට බෙදාදුන් බව ප්‍රසිද්ධ රහසකි. තවත් සමහරු, තමන්ගේ නිසරු ඉඩම්, රජයේ බලතල යොදාගෙන සාරවත් පොල් ඉඩම්වලට හුවමාරු කරගත්හ.

ඒ කාලේ FCID නොතිබුණු බැවින් ඒ පොල් හොරු තවමත් නිරුපද්‍රිතය. දැන් තිබෙන්නේ එම කොල්ලකෑ පොල් ඉඩම් හඳුනාගෙන, ඒවායේ ගොඩගසා ඇති පොල් මුර, ජනතාවට බෙදාදීමය. එළවළු ගිනි ගණන් කාලේ පහසු මිලට එළවළු බෙදූ හමුදා මහත්වරුන්ට මෙය බාරදිය හැකිය.

අපගේ අවන්හල් සගයකු වන සමරේ කියන හැටියට නම්, පොල් මිල ඉහළ යාමට හේතුව, රටේ පුන්නක්කු නිෂ්පාදනය වැඩිවීමය. බත් වෙනුවට පුන්නක්කු කන අය ශීඝ්‍රයෙන් ඉහළ යාම ඊට හේතුවය.

බෝ ගස හැරුණු විට පොල් ගසද ශ්‍රී ලංකාවේ සංස්කෘතික වෘක්ෂයකි. පොල් ගස නිසා දිවි රැක ගන්නේ පොල් මණ්ඩලවල අය පමණක් නොවේ. ගස් නගින්නා, මදින්නා, විකුණන්නා, වවන්නා ආදී වශයෙන් විශාල පිරිසක් සිටිති.

පොල් ගසේ මුදුනේ සිට මුල දක්වාම අපට ප්‍රයෝජනවත් වන බව, දෙකේ තුනේ පංතිවලදී රචනා ලියන කාලයේ සිටම අපි දනිමු. පොල් ගස වනාහි තාල වර්ගයේ ගසකි යනු එම රචනා ආරම්භ කළ සුප්‍රසිද්ධ වාක්‍යයයි.

පොල් ගස කලාවටද සම්බන්ධ වන්නේය. ගොක් කලාව ඉන් එකකි. ඒ හැරුණු විට පොල් කටු, පොල් කූරු, ඉරටු යොදා ගනිමින් කෙරෙන විවිධ කලා නිර්මාණ බොහෝය. මානව විද්‍යාවේදී කොකනට් කල්චර් හා පීච් කල්චර් (Coconut Culture, Peach Culture) යනුවෙන් යෙදුම් දෙකක් භාවිතා වේ. පුදුමයකට මෙන් ඒ පොල් නොවැවෙන රටවල් සම්බන්ධයෙනි.

කොකනට් කල්චර් නොහොත් පොල් සංස්කෘතියක් ඇති රුසියාව, ජර්මනිය වැනි රටවල ජනතාව පොල් ගෙඩිය මෙන් තදය. අමුත්තන් හා ලෙහෙසියෙන් මිතුරැ නොවෙති. සිනා නොවෙති. විවෘත නොවෙති.

පීච් සංස්කෘතිය ඇති රටවල (නිදසුන්: ජපානය, අමෙරිකාව) ජනයා අමුත්තන් කෙරෙහි මිත්‍රශීලිය, සුහදය. පොල් ගෙඩිය වටා මෙන්ම පීච් පළතුර වටාද ගෙතුණු රසවත් කතන්දර බොහෝය. එහෙත් පොල් පැලෙන කතා ගැන මිස පීච් පැලෙන කතා ගැන නම් අසන්නට නොලැබේ.

පොල් රා නිසා ලක්ෂපතියන් වූ රේන්දරාළලා සිටි මේ ශ්‍රී ලංකාවේ, රා මැදීමට බදු ගැසීමට ගිය රත්තරන් මොළකාරයින්ට, පෙරේ-රා යැයි කියමින් එළව එළවා පහරදුන් විත්තියද අප මතකයට නැඟෙයි. ඒ කෙසේ වෙතත් රා කළ ගණන් බිව් යෝධයින් සිටි මේ රටේ රා බෝතල් වී,  සීල් - රා නම් යෙදුමක් උපන් සැටිද වැදගත්ය.

පොල් ඉඩම් වෙන්දේසියද පහුගිය කාලේ නිතර අසන්නට දකින්නට ලැබුණු දෙයකි. තම පුතෙකුට පැවරූ පොල් වත්තක් කැබලි කර විකිණීමට දැමූ බව ඇසූ පියෙකු හෘදයාබාධයකින් මියගිය පුවතක්ද ඒ දිනවලම අසන්නට ලැබුණි. පොල් මිල ඇසීමෙන් හාට් ඇටෑක් හැදෙන පොඩි සිංඤෝලා ගැනද නුදුරු අනාගතයේදීම අසන්නට ලැබෙනු ඇත.

මැරූටි සයිමන් ආපසු එන අතරද, මට මුණගැසුණි. ඔහු අතේ ලොකු මල්ලකි.

දේවාලෙට ගියාද සයිමන් අයියා?

ඒ පැත්තෙ කිට්ටු කරන්ඩ බෑ සර්. සෙනඟ පෝලිම් ගැහිලා.

හැබෑට? පොල් ගහන්ඩද?

නෑ සර්. ගහපු පොල් ඇහිඳින්ඩ. මාත් පොල් බෑ විස්සක් තිහක් එකතු කර ගත්තා සෑර්ටත් ඕන නං දෙන්නං. ඉස්සරහට කන්ඩ වෙන්නෙ දේවාල පොල් තමයි

 කපිල කුමාර කාලිංග