නව මුදල් අමාත්‍ය මංගල සමරවීර 2018 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැය ලේඛනයට අදාළ වියදම් ඇස්තමේන්තු ඇතුළත් අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන 9දා පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට නියමිතය. මෙදින වියදම් ඇස්තමේන්තු පිළිබඳ පාර්ලිමේන්තුව සලකා බලනු ඇත. 2018 වසරට අදාළ අයවැය ලේඛනය විසර්ජන පනත ඉදිරිපත් කර මසකට පසු එනම් නොවැම්බර් 9දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
නොවැම්බර් 10 වැනිදා ආරම්භ වන අයවැය විවාදය 15 වෙනිදා දක්වා පැවැත්වෙන අතර එම දෙවැනිවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතය. එසේම අයවැය තුන්වන වර කියැවීම හෙවත් කාරක සභා විවාදය නොවැම්බර් 16දා සිට දෙසැම්බර් 9 දින දක්වා දින 19ක් තුළ පැවැත්වීමට දින වෙන්කර ගෙන තිබේ. අයවැයට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීම කාරක සභා අවස්ථාවේදී සිදුකරනු ඇත.
අයවැය විසර්ජන පනතට අනුව නව මුදල් ඇමැතිගේ මංගල අයවැයේ 2018 රජයේ මුළු සේවා වියදම රුපියල් දහනම දහස් හත්සිය හැත්තෑ දෙකෝටි හැට හතර ලක්ෂ හැටතුන් දහසක් (19,772,64,63,000) වෙයි. මෙම මුළු වියදම අදාළ අමාත්‍යංශ අතර බෙදී ගොස් ඇති ආකාරය විසර්ජන පනතින් දැක්වේ. ඇතැම් අමාත්‍යංශවලට 2017 වසරට වඩා වැඩි මුදලක්ද තවත් ඒවාට එයට අඩු මුදලක්ද වෙන්කර තිබේ. සෑම අමාත්‍යංශයකටම ඊළඟ වසරට අවශ්‍ය වියදම් පිළිබඳ ඇස්තමේන්තුවක් මුදල් අමාත්‍යංශය විසින් වසර මැදදී ඉල්ලා සිටිනු ලැබීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙතය. අමාත්‍යංශවල ලේකම්වරුන් නිල බලයෙන්ම එම අමාත්‍යංශවල ප්‍රධාන ගිණුම් නිලධාරීන් වන අතර ඔවුන් විසින් ඊළඟ වර්ෂය සඳහා අවශ්‍ය වන මුදල් පිළිබඳ ඇස්තමේන්තු සකස් කර මුදල් අමාත්‍යංශයට එවීම සිදුකෙරේ. අමාත්‍යංශවල නව ව්‍යාපෘති ආරම්භ කරන අවස්ථාවල ඒවාට අවශ්‍ය මුදල්ද ඉල්ලා සිටින අතර ඒ අනුව ඉල්ලන මුදල වැඩිවනවා ඇත. අයවැය විසර්ජන පනත අනුව අමාත්‍යංශවල වැය සඳහන් කරන්නේ එම විස්තර පදනම් කරගෙනය.
මෙවර අයවැය විසර්ජන පනත අනුව වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයටය. එය රුපියල් කෝටි විසිනම දහස් හැත්තෑ එකකට (29,071) අධිකය. 2017 වසර සඳහා ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කර තිබූ මුදල රුපියල් කෝටි විසි අට දහස් හාරසිය හතරකට (28,404) කට ආසන්නය. මේ අනුව පෙනී යන්නේ 2018 සඳහා ආරක්ෂක අමාත්‍යංශ ඇස්තමේන්තුව රුපියල් කෝටි 700කට ආසන්න ප්‍රමාණයකින් වැඩිකර තිබෙන බවය.
මුදල් වෙන්කිරීම අනුව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය දෙවැනි තැනට පත්වී ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි විසි දෙදහස් හත්සිය පනස් හතක් (22,757) වෙන්කර තිබේ. රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යංශය සඳහා ලබාදී ඇති මුදල රුපියල් කෝටි දහ අට දහස් පන්සිය හැටදෙක (18,562)ක් වේ. එසේම උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යංශයට රුපියල් කෝටි දහඅට දහස් දෙසීය හැත්තෑපහ (18,275) ක්ද, අධ්‍යාපන අමාත්‍යංශයට රුපියල් කෝටි දස දහස් දෙසීය අසූඅටත් (10,288)ද වෙන්කර තිබේ. විශාලතම අමාත්‍යංශයක් වන සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයට රුපියල් කෝටි දහහත් දහස් අටසිය හතළිහක් (17,840) සහ අධ්‍යාපන අමාත්‍යංශයට කෝටි දහ දහස් දෙසීය අසූ අටක් (10,288)ද වෙන්කර ඇත.
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයට රුපියල් කෝටි දෙදහස් පන්සිය හැත්තෑ තුනක් (2573) ද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා රුපියල් කෝටි දෙදහස් තුන්සිය හැත්තෑ නමයක් (2379)ද ලබාදී තිබෙන බව අයවැය විසර්ජන පනතේ දැක්වේ. ලබන වසරේදී විවිධ මැතිවරණ සඳහා වැය කිරීමට මැතිවරණ කොමිසමට සිදුවන අතර ඒ සඳහා රුපියල් කෝටි හයසිය තිස් එකක් (631) වෙන්කර ඇත. මෙය 2017 වසරට වඩා කෝටි එකසිය අසූ අටක (188) වැඩිපුර ඇස්තමේන්තු කිරීමකි.
ජනාධිපතිවරයා සඳහා මෙහෙයුම් වැඩ සටහන සහ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් පිළිවෙළින් පුනරාවර්තන හා මූල්‍යමය වැය ඇස්තමේන්තුව රුපියල් කෝටි නවදහස් නවසිය අසූ දෙකක් (9982) වෙයි. අගමැතිවරයාගේ මෙහෙයුම් වැඩ සටහන වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් කෝටි එකසිය හැත්තෑ හතර (174) ක් වේ.
මෙම අයවැය ඇස්තමේන්තු අනුව කැපී පෙනෙන සිද්ධියක් වන්නේ 2018 වර්ෂය සඳහා 2017ට වඩා රුපියල් කෝටි 224කින් ප්‍රාග්ධන වැය පහත හෙලා තිබීමයි. 2017ට ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් කෝටි 3224ක් වෙන්කර ගෙන තිබූ නමුත් 2018 සඳහා ඇස්තමේන්තු කර ඇත්තේ කෝටි 3000කට ආසන්න මුදලකි. විශාලතම මුදලක් වන රුපියල් කෝටි විසිහය දහස (26,000) කට අධික මුදලක් පුනරාවර්තන වියදම් ලෙස ඇස්තමේන්තු කර ඇත. පුනරාවර්තන වියදම් යනු එදිනෙදා රජයට අවශ්‍ය වන වියදම්ය. මෙලෙස පුනරාවර්තන වියදම් වැඩිවී ප්‍රාග්ධන වියදම් කපා දැමීමෙන් පෙනෙන්නේ රටේ සංවර්ධන වැඩකටයුතු 2018 වසරේදී පසුගාමීත්වයට පත්වීම බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වෙයි.
2018 වසරේ අයවැය විසර්ජන පනත පිළිබඳ අදහස් දක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ මෙසේ කියයි.
අයවැය විසර්ජන පනත යනු ඊළඟ වසර සඳහා රාජ්‍ය වියදම් දැක්වෙන ඇස්තමේන්තුවක්. අත්‍යවශ්‍ය සේවා, රටේ සංවර්ධනය, රාජ්‍ය නිලධාරීන්ට වැටුප් සහ වේතන මෙන්ම විශ්‍රාම වැටුප් ගෙවීම ආදිය සඳහා මුදල් අවශ්‍ය ප්‍රමාණය මෙම පනතේ දැක්වෙනවා. රාජ්‍ය ආදායම වැයකරනු ලබන්නේ විවිධ අමාත්‍යංශ මගින්. අමාත්‍යංශ යටතේ ඇති විවිධ ආයතන සඳහා අවශ්‍ය වන වියදම්ද එම අමාත්‍යංශවල වැය ශීර්ෂවලට අඩංගු වෙනවා.
රජයේ වියදම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ නම් ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම්, ප්‍රාග්ධන වියදම්වලට අඩංගු වන්නේ අභිනව සංවර්ධන ව්‍යාපෘති සහ තිබෙන ව්‍යාපෘති වැඩිදියුණු කිරීමට අවශ්‍ය වන මුදල්. යටිතල පහසුකම් සංවර්ධනයට සහ නඩත්තුවට අවශ්‍ය මුදල්ද මෙයට අඩංගුයි. අනිත් වියදම් වන්නේ පුනරාවර්තන වියදම්. පුනරාවර්තන වියදම් යනු රාජ්‍ය සේවකයන්ට වැටුප් සහ වේතන විශ්‍රාම වැටුප් දීමනා, ප්‍රවාහන, ගොඩනැගිලි පවත්වාගෙන යාමේ වියදම් ආදියයි. රජය ජාතික ආදායමෙන් වැඩි කොටස වැය වන්නේ පුනරාවර්තන වැය සඳහායි. එයට හේතුව විශාල රාජ්‍ය සේවක සංඛ්‍යාවක් සහ කාර්යාල වියදම් ආදී වියදම් රැසක් මේ මගින් ගෙවීමට සිදුවීමයි. රාජ්‍ය සේවයට විශාල ලෙස බඳවා ගැනීම් ඉහළ යනවිට මෙම පුනරාවර්තන වැයද ඉහළ යනවා.
මහාචාර්යවරිය පවසන්නේ විශාලතම අමාත්‍ය මණ්ඩලයක් නඩත්තු කිරීමටද, ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඳහා කාර්යාලවලටද ඔවුන්ගේ වාහන ගෙන්වීම හා ඒවා නඩත්තුවටද විශාල පුනරාවර්තන මුදලක් වැයවන බවයි. පසුගිය සමයේ අමාත්‍ය මණ්ඩල වැටුප් සහ දීමනා විශාල ලෙස වැඩිකළ බවද ඇය සිහිපත් කරයි. මෙම තත්ත්වය මත සමස්ත රාජ්‍ය ආදායමෙන් සියයට 75-80 පමණ ප්‍රමාණයක් වැයවන්නේ යටකී පුනරාවර්තන සඳහායි. මෙම තත්ත්වය වසරින් වසර ඉහළ නගින අතර, ඇතැම් අවස්ථාවල ප්‍රාග්ධන වැය අඩුකර එම මුදල් පුනරාවර්තනයට එකතු කරයි. 2018 අයවැයේදී ප්‍රාග්ධන වැය අඩුකර පුනරාවර්තන වැය වැඩිකර තිබේ. රුපියල් කෝටි 3224ක් වූ පුනරාවර්තන වියදම කෝටි 3000 දක්වා අඩු කිරීමට සිදුව තිබේ. ඇය පවසන්නේ මෙම තත්ත්වය රටේ සංවර්ධනයට බාධාගෙන දෙන බවය.
අලුත් ව්‍යාපෘති යෝජනා ආරම්භ කිරීම හා තිබෙන ඒවා සංවර්ධනය කිරීමටද මෙයින් බාධා ඇතිවේ. ඒ නිසා රටේ දියුණුව ඇණ හිටී. මෙතෙක් කල් පැවැති බොහෝ ආණ්ඩු සිදු කළේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ජාතික ආදායම නොයොදා ජාත්‍යන්තර ණයවලින් ඒවා ආරම්භ කිරීමයි. දේශීය වශයෙන් ණය ගැනීම සීමාසහිත නිසා යැපෙන්නට සිදුව ඇත්තේ ජාත්‍යන්තර ණය මතයි. පසුගිය සමයේ මත්තල ගුවන් තොටුපොළ හම්බන්තොට වරාය, ආදී විශාල ව්‍යාපෘති සඳහා වැඩි පොලියට විශාල ලෙස ණය ගෙන අප අමාරුවේ වැටී සිටින බව ඇය කියයි. එම ව්‍යාපෘතිවලින් ලබන ආදායමෙන් ණය වාරික ගෙවීමට නොහැකිවීම නිසා ණය ගෙවීමට තවත් ණය ලබාගැනීමට සිදුව ඇත.
මහාචාර්යවරිය මෙසේද කියයි.
මෙවර ආරක්ෂක වියදම් 2017ට වඩා රුපියල් කෝටි 700කට අධික ප්‍රමාණයක් පමණ වැඩි වී ඇති බව පෙනෙනවා. රටේ යුද්ධයක් නොමැති වාතාවරණයකදී මෙලෙස ආරක්ෂක වැය වැඩිවීම ගැටලු සහගතයි. තිස් අවුරුදු යුද්ධයේදී ජනතාවට පටි තදකර ගන්න යැයි කියමින් ඔවුන්ගේ පරිහරණයට තිබූ මුදල් ආරක්ෂක වියදම් පියවා ගැනීමට යොදාගත්තා අපට මතකයි. යුද්ධය අවම වෙමින් පවතින විට ආරක්ෂක වැයද ක්‍රමයෙන් අඩුවිය යුතුයි. එහෙත් එලෙස පේන්නට නැහැ. මේ පිළිබඳ රජය විවිධ නිදහසට කරුණු කියන්නට පුළුවන්. එහෙත් අවශ්‍ය වන්නේ නිදහසට කරුණු නොව පවතින අයහපත් තත්ත්වය අවම කර ගැනීමයි.
අනික් අතට රාජ්‍ය වැය වැඩිවන්නේ රජයේ නාස්තිකාර වියදම් නිසයි. මහජන මුදල් ලෙස නොසලකා තම තමාගේ මුදල් ලෙස කටයුතු කිරීමයි මෙහිදී සිදුව ඇත්තේ. ඇතැම් අමාත්‍යංශවලට විශාල කාර්යාල කුලියට ලබා ගැනීම, වාහන, ලී බඩු ආදිය සඳහා අසීමිත ලෙස වැයකිරීම සිදුවෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශ කාර්යාලය හිස්ව තබාගෙන තවමත් කුලී ගෙවනවා. ඇමැතිවරුන්ගේ කුලී හා දීමනා, වාහන හා ඉන්ධන ආදී ප්‍රවාහන වැයද ඉහළ යනවා. උත්සව සඳහා සංග්‍රහ වියදම් ප්‍රචාරක වියදම් ආදිය අහස උසයි. කිසිම පිරිමැස්මක් නැහැ. දූෂණ සහ වංචාද තවමත් වැඩි මිසක අඩු නැහැ.
ඇය පවසන්නේ අයවැය විසර්ජන පනත සම්ප්‍රදායානුකූලව නමට පමණක් ඉදිරිපත් කරනවා විනා වසර පුරාම පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ මුදල් සම්මත කිරීම සිදුවීම දැන් සාමාන්‍ය ක්‍රියා පටිපාටියක් බවට පත්ව ඇති බවයි. ඇතැම්විට අයවැයෙන් වෙන්කරන මුදලට වඩා දෙතුන් ගුණයක් මුදල් මෙලෙස පරිපූරක වැය ශීර්ෂවලින් ලබාගැනීම දක්නට ලැබේ.
මහාචාර්යවරිය පෙන්වා දෙන තවත් වැදගත් කාරණයක් වන්නේ අමාත්‍යංශවලට අයවැයෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදන වසර පුරාවට වැය නොකර වසර අවසානයේ මහා භාණ්ඩාගාරයට ආපසු යන්නට සැලැස්වීමයි. මෙය ඉතාම අයහපත් තත්ත්වයකි. වසරට වෙන්කර මුදල වැයකිරීම පිළිබඳ සැලසුමක් අමාත්‍යංශවලට තිබිය යුතු අතර එසේ තිබෙනවා නම් වසර අවසන් වනතුරු වැය නොකිරීමට හේතුවක් නොවේ. පසුගිය දිනවල අධ්‍යාපන සහ සෞඛ්‍ය ආදී අමාත්‍යංශවල මෙලෙස සියයට 20කට වැඩි මුදල් ප්‍රමාණයක් වැය නොකර භාණ්ඩාගාරයට ආපසු ගිය බවට දැනගන්නට ලැබුණු බවද ඇය පෙන්වා දෙයි.
යසවර්ධන රුද්රිගු