ලංකාවේ ආදිවාසීන් ගැන බොහෝ කතා ඇත. ඒ ඔවුන්ගේ භාෂාව අපෙන් මඳක් බැහැර වන නිසාය. බොහෝ කතා විහිළුවට හදන ඒවාය. ආදිවාසීන් සිටින්නේ ලංකාවේ පමණක් නොවේ. කොලොම්බස් අයියා අමෙරිකාව හොයාගන්නා විට එහි රතු ඉන්දියානුවෝ සිටියහ. කොලොම්බස් මිනිසුන් ජීවත්වන රටක් හොයාගෙන උදම් අනා ලෝකයට දෙඩවීමෙන් පසුව මෙච්චර කල් එහි සිටි මිනිස්සු ආදිවාසීන් වූහ. කොලොම්බස්ලා නවීන ජනයා වූහ. නමුත් සියැටල් වැනි ගහකොළ, සතා සීපාවාට ආදරය කරන මිනිස්සු එක්ක බලද්දී කොලොම්බස් නොදියුණු ම්ලේච්ඡ ගෝත්‍රිකවාදියෙකි.
පසුකාලීනව සියැටල්ලා සහ ඔහුගේ ජනයා අමෙරිකන් ඉංග්‍රීසි කතා කළහ. ඔවුන් ආදිවාසීන් වුවත් නවීනත්වයට හැඩගැසුණහ.
ඔස්ට්‍රේලියාවේ ද ඇබොරිජියන්වරු සිටිති. ඔවුන් ද සාමාන්‍ය ඉංග්‍රීසි බස කතා කරයි. චාලීස් කන්ට්‍රි යනු ඇබොරිජියන්වරුන් ගැන ඇති සිනමා සිත්තමකි. එහි චාලි ද හොඳින් ඉංග්‍රීසිවලට හුරු වී ඇත.
අමෙරිකාවේ රෙඩ් ඉන්ඩියන්ලා මෙන් ඔස්ට්‍රේලියාවේ ඇබොරිජියන්ස්ලා මෙන් ඉතින් ලංකාවේ සිටින ආදිවාසීන් වැද්දාහ් යන නමින් ඉංග්‍රීසියෙන් අමතති. ඉංග්‍රීසියෙන් මොන මඟුල වුණත් අපි ඔවුන් ‘වැද්දෝ’ යන ආදර නාමයෙන් අමතමු.
මේ වැද්දන්ගේ අවුල ඔවුන්ගේ බාසාව අපිට ටිකක් දිරවාගත නොහැකි වීමයි. වසර 25කට පමණ ප්‍රථම සුනිල් පෙරේරා ගැයූ ඔජායේ ගීතයෙන් වැදි බස්වහර ගැන යම් අවබෝධයක් නාගරිකයන් තුළ විය. ඉන්පසු රැල්ලට තැනුණු වැදි ජනයා රඟන නාට්‍යය හා ගීත වලින් වැදි ජනයාට හානියක් වූවා මිස ඔවුන්ගේ භාෂාව අප අතර ප්‍රචලිත වීමක් සිදුවුණේ නැත.
කැකුලී, පොජ්ජ, මන්ද කරනවා, කොටා බානවා, ඇන්න යනවා, හදි කරනවා වැනි වචන පමණක් භාවිත කර අපි වැද්දන් සමඟ කතා කරන්නට පටන් ගත් නමුත් ඒවා වැද්දන්ටත් ඔවුන් කියන දේ අපිටත් තේරැම් කර ගැනීමට නොහැකි විය.
මා මේ කියන්නේ අනිත් රටවල වැද්දන්ට මෙන් අපේ වැද්දෝ සිංහල ඉගෙන ගත යුතුය කියන එක නොවේය. නමුත් සිංහල මිනිසුන් එක්ක කතා කර අදහස් දැනගැනීමට මොඩර්න් වැද්දෝ සිංහල ඉගෙනගෙන සිටිති. එහෙම බැරි වැද්දන් සමඟ කතා කරන්නට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් සිටිය යුතුය.
මේ විහිළු කතාව මට මතක හැටියට මා කිය වූයේ එක්තරා තීරු ලිපියකය. දඹානේ ඉස්කෝලෙකට අලුතෙන් පත් වී ආ ගුරුවරයෙක් පත්වීම බාරගැනීමට පැමිණි දින රෑ විය. අන්තිම බසයෙන් බැස්ස පසු යන්න එළියක් නැති හන්දා ළඟ ඇති පැලකට ගිහින් කතා කලාම වැද්දෙක් මතු වුණාලු. ඉතින් මේ ගුරුවරයා දන්න කියන වැදි භාෂාවෙන් කියල එළියක් ඉල්ලුවලු. ටිකක් වෙලා ගියාට පස්සෙ වැද්දට තේරුණාලු මේ ගුරුතුමා කිවුව එක. වැද්දා තමන්ගෙ දුවට කතා කළාලු.
චූටි දූ මේ සර්ට යන්න ටෝච් එකක් ගෙනත් දෙන්න
අපි පොෂ් වෙන්න වෙන්න වැද්දන් ඔවුන්ව මාකට් කරගැනීම ආරම්භ කළෝය. අපි කොළඹින් ගොස් දඹාන බලන විට ඔවුහු දුන්නෙන් ඊතලයක් මුදාහැරීමට මුදලක් අය කළෝය. ෆොටෝ ගැනීමට මුදල් අය කළෝය. දැන්නම් සෙල්ෆිවලට කොහොමද දන්නේ නැත.
මීට වසර කිහිපයකට කලින් එක්තරා පළාතක තිබූ මියුසික් ෆෙස්ටිවල් එකකට වැදි ජනයා නියෝජනය කරමින් පිරිසක් සහභාගී වූහ. ඔවුහු ඒ සඳහා අංගයක් ඉදිරිපත් කළෝය. ඊට අමතරව ඔවුන්ගෙන් අංගයක් අවශ්‍ය වූ නිසා සංවිධායක කෙනෙක් වූ මගේ මිත්‍රයෙක් භාෂා පරිවර්තකයෙකුගේ සහයෝගය ඇතුව ඔවුන්ගේ නායකයාට කතා කොට කිරිකොරහ නටන්නට පුළුවන්දැයි ඇසීය. ඔවුන් ඒ සඳහා 6500/- (ඒ කාලයේ හැටියට) ඉල්ලූහ. විශාල මුදලක් බැවින් හෙට්ටු කිරීම් කේවල් කිරීම් බොහොමයක් සිදු විය.
අවසානයේ මගේ මිත්‍රයා එය 3500/-කට කළ හැකිදැයි විමසීය.
මෙතෙක් වෙලා භාෂා පරිවර්තකයෙක් සමඟ වැඩ කළ ආදිවාසියාට මලපැන පැහැදිලි සිංහලෙන් මගේ මිත්‍රයාට බැණ තිබේ.
“මේ මහත්තයා ඩීල්නම් ඩීල්. මේවා මෙහෙම කරන්න බෑ. 5000ට අඩුව මේ වැඩේ කෙරෙන්න නෑ“
ඒ ඔහුගේ අවසන් තීරණයයි.
“ඔය ටික කලින් කිව්වානම් ට්‍රාන්ස්ලේටර්ට ගෙවන ගාණ නොගෙවා ඉන්න තිබ්බා”.
ඔබත් මීළඟ වැදි හමුවේදී ප්‍රවේසම් වන්න
I අචිර ලියනගේ