2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

මරාගෙන මැරෙන කෑම පුරුදු

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 593

විවිධාකාරයේ මිනිසුන් ජීවත්වන අප රටෙහි ආහාර සංස්කෘතිය තුළ දැකගත හැක්කේද අපූරු විවිධත්වයකි. ලොව පුරා සිදුවන සෑම මරණ පහකින්ම එක් මරණයක් වැරදි ආහාර පුරුදු හේතුවෙන් සිදුවන බවට අධ්‍යනයක් මගින් හෙළිවීම මේ අපූර්වත්වය කියාපාන්නකි. අප ගන්නා ආහාර රටාව පිළිබඳ දෙවරක් සිතිය යුතු කාලයක් මේ වනවිට උදාවී ඇති බව එම අධ්‍යනය පෙන්වා දෙයි.

අමෙරිකාවේ වොෂිංටන් විද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍යය හා තක්සේරැ පිළිබඳ ආයතනය මගින් සිදුකරන ලද නවතම මෙම පුළුල් අධ්‍යයනයට අනුව පෙනී යන්නේ ලොව පුරා මිලියන ගණනක් වූ ජනතාව යහපත් සෞඛ්‍යයක් සඳහා යැයි පවසමින් වැරදි ආහාර වර්ග අනුභව කිරීමට පෙළඹී සිටිනා බවයි.

තෙල් වර්ග, සීනි, ලුණු, මේදය අධික ආහාර ගැනීමට අද ලොව පුරා බොහෝ දෙනකු පෙළඹී සිටින අතර බොහෝ පිරිසකගේ නිදන්ගත රෝගී තත්ත්වයට මෙය අඩිතාලම දමන කරුණක් වී තිබේ. එමෙන්ම ඇතැම් පිටි සහිත ධාන්‍ය වර්ග, සීනි අධිකව අඩංගු පළතුරු මෙන්ම කබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රමාණයක් සහිත යම් ඇට වර්ග ආහාරයට ගැනීම තුළින් ද මෙලෙස ලොව පුරා මරණ සිදුවිය හැකිබව සෑම රටක්ම ආනාවරණය වන පරිදි සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී හෙළිවී ඇත.

ජාත්‍යන්තර සෞඛ්‍යය දත්ත අනාවරණය කරන ආකාරයට ලෝකයේ නිතිපතා සිදුවන මරණවලින් සියයට හැට අටක්ම ආහාර සම්බන්ධ හේතු බලපෑමෙන් සිදුවෙයි. එය මිලියන තිස් අටක් බව දැක්වෙයි. මෙරට තුළද එම තත්ත්වය සුළුකොට තැකිය නොහැක. නරක ආහාර පුරුදු මෙන්ම වැරදි ආහාර රටාවලින්ද අප රට සිටින්නේද ප්‍රමුඛ ස්ථානයකය.

දුර්වල ආහාර රටාව හේතුවෙන් වසර 2016 වනවිට ලෝක ජනගහනයෙන් සියයට 11ක් මන්දපෝෂණයෙන් පෙළෙමින් සිටි බව අනාවරණය වී ඇති අතර ලොව පුරා සිදුවන බොහෝ ලෙඩ රෝගවලට මූලික අඩිතාලම දමන්නේද මෙම වැරදි ආහාර රටා බව බොහෝ වෛද්‍යවරුන් පවා පිළිගෙන ඇත.

වැරදි ආහාර පුරුදු ක්‍රියාකාරීත්වය (ව්‍යායාම) අඩුවීම, මත්ද්‍රව්‍ය භාවිතය සහ දුම්බීම යනාදි කරුණු බෝ නොවන එහෙත් මාරාන්තික වූ ලෙඩ රෝග රැසකට මුල්වන අතර වෛද්‍ය වාර්තාවන්ට අනුව බෝ නොවන රෝගවලින් ලොව පුරා දිනකට මිය යන සංඛ්‍යාව 300ක් පමණ වනු ඇත. 

ලොව පුරා උද්ගත වී ඇති මෙම තත්ත්වය හමුවේ 2050 වසර වනවිට වැරදි ආහාර රටාවන් නිසා මරණයට පත්වන පිරිස අඩුකර ගැනීමට වෛද්‍යවරුන් එක්වී පරීක්ෂණ පවත්වා ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග කිහිපයකින් ජනතාව දැනුම්වත් කර ඇත.

1. ලොව ආහාර නිර්දේශවලට අනුව සීනි, මේදය සහ තෙල් අධික ආහාර අඩුකිරීම හා එළවළු හා පළතුරැ වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම.

2. ආහාර නිර්දේශවලට අනුගත (මස්, කිරි, බිත්තර හා වෙනත් සත්ත්ව ආහාර නොමැති.) ආහාර ක්‍රමය.

මෙම ආහාර නිර්දේශවලට අනුමක ක්‍රම පිළිපැදීමෙන් 2050 වසර වනවිට වසරින් වසර සිදුවන මරණ මිලියන 5.1ක් වැළැක්විය හැකිබව ඔවුන් සොයාගෙන ඇත.

මෙම වැරදි ආහාර පුරුදු සහ මේ මගින් ආරක්ෂා වන ආකාරය පිළිබඳව පෝෂණ සම්බන්ධීකරණ ඒකකයේ ප්‍රකාශිකාවක් මෙසේ පැවැසුවාය.

වැරදි ආහාර රටාවන් නිසා ලෝකයේ බොහෝ පිරිස් මිය යෑම් සහ ලෙඩ වීම් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ වැරදි ආහාර රටාවන් නිසා ඇතිවෙන්නේ අධිපෝෂණය කියන තත්ත්වය. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වැඩිපුර ගැනීම, තෙල්, සීනි, ලුණු අධික ආහාර ගැනීම නිසා තමයි මේ විදිහට ලොව පුරා මිය යෑම් සහ රෝගී තත්ත්වයට පත්වීම් වාර්තා වෙන්නේ. ඒවගේම බොහෝ පිරිස් අද වෙනකොට පෙළඹිලා ඉන්නවා. වැඩිපුර ආහාර ගන්න. එළවළු සහ පළතුරු ආහාරයට ගන්නවා අඩුයි. මේ තත්ත්වය තුළද බොහෝ පිරිස් රෝගී වීමේ ප්‍රතිශතය වැඩියි. මේ වැරදි ආහාර රටාවන් නිසා දියවැඩියාව, හෘදයාබාධ වගේ රෝග ඇති වීමට ඉඩකඩ තියෙනවා. ඒවගේ බෝනොවන රෝග මෙන්ම වැරදි ආහාර පුරුදු නිසා මරණයට පත්වීම් තියනවා. සීනි භාවිතය අඩු කිරීම, අප ගන්නා ලුණු, තෙල් ආදිය පාවිච්චි නොකරනවානම් වඩාත් හොඳයි. මොකද ලංකාවේ සීනි සහ ලුණු භාවිතය ඉතාමත් වැඩියි මෙම ආහාර පාලනය කරන්න කාටවත් බැහැ. තමන් විසින්ම තමයි මෙය පාලනය කරගත යුත්තේ.

සෑම රටක්ම ආවරණය වන පරිදි සිදුකර ඇති අධ්‍යනය මෙතෙක් ලොව සිදුකරගෙන යන දැවැන්තම ජත්‍යන්තර රෝග පිළිබඳ අධ්‍යනයේ නම් දරා ඇත.

 හසිත් අංජන

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00