2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

මරණය නියතය ගැලවීමට කිසිවකුට බැරිය

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

ඒදණ්ඩ            

බරණැස් නුවර බමුණු ගමක් තිබුණා. ඒ ගම ඇදුරෙක් උන්නා. ඔහු වේද වේදාන්ත පරතෙරටම උගතෙක්. මුළු බමුණුගම පමණක් නොවේ. අසල් ගම් පවා ඔහුට ගරු කළා.
මේ බමුණාට බිලි පූජාවක් තබන්න හිතුණා. ඒ සඳහා එළුවෙක් සොයා ගත්තා. ඌ හොඳට පිරිසුදු කරන්න හිතුණා. සේවකයකුට අඬගැසුවා.

මේ එළුවා ගඟට ගෙනියන්න. හොඳට නාවා පිරිසුදු කරගෙන එන්න. කිව්වා.
ඔහු එළුවා අරන් ගියා. නෑව්වා. ගං ඉවුරට ගෙන ආවා. එතැන ගසක බැන්දා. වෙනත් වැඩකට ගියා.
වැඩි වෙලා ගියේ නෑ. එළුවට පෙර පිනක් පල දුන්නා. ජාතිස්මරණ නැණස පහළ වුණා. ඌ පෙර භවයක දී කළ එක් අකුසල කර්මයක් නිසා සිදු වූ අකල් මරණ ගණන පෙනුණා. මේ සිදුවන්නේ උගේ අන්තිම අකල් මරණය බව ද දුටුවා.
එළුවා ප්‍රීතියට පත් වුණා. මහා හයියෙන් සිනහ වුණා. ඒ එක්කම ඇදුරු බමුණාත් මතක් වුණා. ඔහු ගැන කරුණාවක් ඇති වුණා.
අනේ මා මැරීම නිසා මේ බමුණා මා වාගේම අකල් මරණ කොපමණ සිද්ධ කර ගනීද? යැයි කල්පනා වුණා. ඔහු ගැන දුක හිතුණා. මහ හඬින් ඇඬුවා.
එළුවා සිනහ වුණ හැටියි අඬන හැටියි සේවකයා දුටුවා. ළඟට ආවා.
එළුව, තොප බොහෝ සේ සිනාසුණා. දැන් අඬනවා. ඒ ඇයි?
ඒ ගැන මම ඔබට උත්තර දෙන්නේ නෑ.
ඒ ඇයි?
ඉන් ඔබට පලක් නෑ.
පලක් ඇත්තේ කාටද?
ඔබගේ හාම්පුතාට. බමුණු ඇදුරුට.
සේවකයා නිහඬ වුණා. එළුවා ලිහා ගත්තා. බමුණා ළඟට ගෙන ගියා.
එළුවා හොඳට නාවා පිරිසුදු කළාද? බමුණා ඇසුවා.
එසේය. කියා එළුවා කළ කාර්යය හා ඌ කී දේද කිව්වා.
බමුණා එළුවා ළඟට ආවා.
එළුව, ඔබ කුමක් සඳහා සිනාසුණේද?
බමුණාණෙනි! පූරුවේ එක් ආත්මභවයක මම ද ඔබ වගේ වේදත්‍රය උගතෙක්. බමුණු ඇදුරෙක්. ඔබ අද කරන්න හදන දේ එදා මම එළුවකුට කළා. පූජාවක් දුන්නා. ඉන්පසු ඒ අකුසල කර්මයට මම සංසාර ගමනේ අපමණ දුක් වින්දා. පන්සිය වාරයක් මගේ බෙල්ල කපා මරා දැමුවා. ඉන් මම ඉමහත් දුක් වින්ඳා. මරණ වේදනා වින්දා. මේ මගේ හිස කපන අන්තිම වාරයයි. යළිත් මම මතු කිසිම අකල් මරණයකට පත්වෙන්නේ නෑ. අකුසල කර්මය ඉවරයි. පින් පල දෙනවා. ඒ නිසා සතුටක් ඇති වුණා. හඬනඟා සිනහසුණා.
එතකොට ඇඬුවේ ඇයි?
ඔබ ගැන සිතා.
මොනවද මා ගැන හිතුවේ.
එදා මා කළ දෙය ඔබ අද කරන නිසා.
ඒ කුමක්ද?
ඔබ මා මරා පූජාව තබන නිසා.
ඒක දෙවියන්ට කරන පිදීමක්.
පිදීම කෙසේ වෙතත් ආත්ම ගණනක් ඔබ මා මෙන් ඉස් කපා ගන්නවා. එය වළක්වන්න බැරිව යනවා. ඒ මරණ වේදනා දුක මම හොඳින් දන්න නිසා මට ඔබ ගැන දුකක් ඇති වුණා. ඒ හින්දා ඇඬුණා.
එළුව, මම ඔබ මරන්නේ නෑ. අභය දානය දෙනවා.
එළුවා යළිත් සිනහ වුණා.
ඇයි ඔබ සිනාසුණේ අභය දානය දුන්නාටද?
නෑ. ඔබ මා නොමැරුවත් කෙසේ හෝ මා අද මැරෙනවා.
ඊට බියවන්න එපා. මැරෙන්න ඉඩ දෙන්නේම නෑ. 
ඒ කෙසේද?
මම ඔබට දැඩි රැකවල් දමනවා. ඔබ යන යන තැන එනවා.
බමුණානෙණි! ඔබගේ යහපත් අදහසට මම ගරු කරනවා. එහෙත් ඔබගේ ආරක්ෂාව පලක් නෑ. එය ඉතා සුළුයි. බල රහිතයි. මා කළ අකුසලය බොහෝ ලොකුයි. බලවත්. පල දිය යුතුයි.
එළුව! අපි ඒ බලවත් බව දුබල කරමු.
බමුණානෙණි! අකුසල් බලය දුබල කිරීමට පහසු නෑ.
කුමන ක්‍රමයකින්වත් මම ඔබ නසන්න ඉඩ නොතබමි. බමුණා කිව්වා. සේවකයන් කැඳෙව්වා. ඔවුන් සමඟ එළුවා වටකරගෙන ඇවිද්දා.
ඌ තණ කකා ගියා.
බමුණා සහ පිරිස ඌ ළඟම හිටියා.
එළුවා ගල්තලාවක් උඩ පස් ගොඩක සරුවට හැදුණු තණ දැක්කා. බෙල්ල දික්කර තණ කන්න හැදුවා.
එකෙණිහිම ගලට අකුණක් ගැසුවා. ඉන් ගල් පතුරක් ගැලවුණා. එය එළුවාගේ දික් කරගෙන උන් බෙල්ලට වැදුණා. බෙල්ල කැපී වෙන් වුණා.
එළුවා මියගියා. බමුණා පුදුම වුණා.

(මතක භක්ත ජාතකය ඇසුරින්)