2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

එලොවපොල් පේන කොන්දෙ අමාරුව

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1432

ආයුර්වේද වෛද්‍ය විශේෂඥ එච්.එම්. තෙන්නකෝන්

අස්ථි ආශ්‍රිත රෝග බොහෝ දෙනාට මහා කරදර ගෙන දෙයි. අස්ථි බිඳීම්, පැලීම්, දුර්වලවීම් හේතුවෙන් බොහෝ රෝග තත්ත්ව හට ගනී. මේ අතරින් කොඳු ඇට පෙළෙහි රෝග වඩාත් අනතුරුදායකය. 

අස්ථි පද්ධතියට ශරීරයේ බොහෝ කොටස් අයත් වන අතර කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග ඉතා වේදනාකාරී රෝග තත්ත්වයක් වේ. මෙය බෝනොවන රෝග ගණයට ඇතුළත් වන රෝගී තත්ත්වයකි. එමෙන්ම මෙය විශාල ලෙසින් වර්තමාන සමාජයේ දක්නට ලැබේ. කොඳු ඇට පෙළට අස්ථි තිස් තුනක් පමණ සංඛ්‍යාවක් ඇතුළත් වේ. එයින් ගෙල ආශ්‍රිතව හතක් පිහිටා ඇත.

සුෂුම්නාව ගමන් කරනු ලබන්නේ මෙම කොඳු ඇට පෙළ මැද්දෙනි. එමෙන්ම ස්නායු ශරීරය පුරා විහිදී තිබේ. ස්නායු සුෂුම්නාවෙන් හටගෙන එය පිටතට ගමන් කරනු ලබන්නේ කශේරුකා අතරිනි. එම කශේරුකා අතරින් ගමන් කරද්දී එම කුඩා හිඩැස් වලින් එළියට ඒමක් සිදු වේ. එලෙස පිටතට එන ස්නායු කශේරුකාවේ යම් දෝෂ තත්ත්වයක් හේතුවෙන් තෙරපීමක් සිදුවුවහොත් එහිදී මෙම රෝග තත්ත්වය හට ගනී. තෙරපීම් නිසා කශේරුකා එකිනෙක ගැටීමක් ද සිදු වේ. එබැවින් එම සුෂුම්නාවේ කොටස් ඉදිමී පිටතට නෙරා ඒමක් ද විය හැක. එවැනි අවස්ථාවකදී ද ස්නායු අපහසුකම් ඇතිවිය හැක.

කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග ඇතිවීමට හේතු 

  • කෙනකු වැටීමකින් යම් තැලීමකින් කොඳු ඇට පෙළ වේදනා දිය හැක. 
  • හිසෙහි බර ඉසිලීම් මගින් ගෙල ප්‍රදේශය ආශ්‍රිත වේදනා ඇති වේ.  
  • නිතර නිතර අත්වලින් බර ඉසිලීම.
  • කිවිසුම් යාම, කැස්ස වැනි තදබල ලෙස කොන්දේ ගැස්සීමක් මගින්.
  • ඇවිදීමේ දී සමබරතාවය නැතිවීමෙන් යම් ආබාධයක් ඇතිවීම.
  • නුසුදුසු ඉරියව්වලින් නිදාගැනීම.
  • වාඩිවීමේ දී නිවැරදි ලෙස නිසි ඉරියව්වෙන් වාඩිනොවීම.
රෝග ලක්ෂණ
  • ගෙල ප්‍රදේශය පුරා හටගන්නා අධික වේදනාව
  • ක්ලාන්ත ගතිය
  • අත්වල ඇතිවන හිරි ගතිය
  • හුස්ම ගැනීමේ අපහසුව
  • කොන්ද කැක්කුම ඇතිවීම
  • කකුල්වල වේදනාව ඇතිවීම
කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවන රෝග බොහෝමයකට ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිඵල ඇත. බටහිර වෛද්‍ය ක්‍රමයේ දී මෙයට ශල්‍ය ප්‍රතිකාර කරනු ලැබේ. නමුත් ශල්‍යකර්මවලට නොගොස් ආයුර්වේද ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුවකර ගැනීමේ හැකියාව ඇත. නමුත් මෙම ප්‍රතිකාර කළ ද එම රෝගයට හේතු වූ මූලික හේතුවලින් වැළකී සිටීම ඉතා වැදගත් වේ.
 
 
විශේෂයෙන් බර ඉසිලීම සහ වැරදි ඉරියව් පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.
 
කොඳු ඇට පෙළ රෝග ආශ්‍රිතව තවත් රෝග කීපයක්ම ඇති වේ. හන්දි අමාරුව ගත් කල එය තවත් එක් රෝග ලක්ෂණයකි. ආතරයිටීස් ලෙසින් හැඳින්වීමේ දී මෙය ආහාර පාන පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.
 
විශාල සිරුරක් ඇති තරබාරු අයට ඇවිදීම හා වැඩ කිරීමේ අපහසුතා නිසාවෙන් තවත් ආතරයිටීස් රෝගයක් ඇති වේ. එය බටහිර වෛද්‍ය විද්‍යාවේ “ඔස්ට්‍රි ආතරයිටීස්” ලෙසින් හැඳින්වේ. විශේෂයෙන් කාන්තාවන්ගේ උරහිස්වල, වැළමිටවල ද මෙම “ඔස්ට්‍රි ආතරයිටීස්” ඇතිවිය හැක. එය නිතරම කරනු ලබන රුකියාව සහ කරන වැඩ අනුව තීරණය වේ.
 
ප්‍රතිකාර
  • මේ සඳහා ප්‍රධානතම ප්‍රතිකාරය වන්නේ විවේකයයි.
  • ආයුර්වේදයේ මේ සඳහා කසාය, කල්ක, චූර්ණ වැනි ක්‍රම මගින් ප්‍රතිකාර ලබා දිය හැක. ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගත යුතුය.
  • ආත්‍රොකෙයා තෙල මේ සඳහා ඉතා ගුණදායක තෙලකි. ආත්‍රොකෙයා තෙල ස්වල්පයක් ගෙන මඳ වශයෙන් රත්කර සන්ධිය මත ආලේප කරන්න.
  • තෙල් වර්ග ආලේප කරද්දී වක්‍රාකාරයට තෙල් ආලේප කර වක්‍රාකාරව සම්බාහනය කරන්න. කිසිවිටකවත් පහළට තෙල් ආලේප කරන්න එපා.
  •  තෙල් ආලේප කර ඇදීමක් කරන්න එපා. විනාඩි පහක් දහයක් අතර කාලයක් ශරීරයට උරාගන්නා තුරු මෘදුව සම්බාහනය කරන්න.
  • කොඳු ඇට පේළියේ වේදනාවක දී තෙලක් ආලේප කර මඳ උණුසුම් ජලයෙන් තැවීමක් ද කළ හැක.
 
දිශානි