මාකටින් විතරක් දන්න හැබැයි සංගීතඥයෙක් කියලා තමන්ව හඳුන්වගන්න මනුස්සයෙක් කරපු වීඩියෝවක් ගැන (සින්දුවක් නෙමේ) පහුගිය සතිය දෙක පුරා මිනිස්සු කතාවෙනවා. සමහරු කියන විදිහට මේ මනුස්සයා ලංකාව ඇතුළෙ සෙක්ස් මාකටින් කරන්න උපන් හපනෙක්. ඒත් ඉතින් කෙල්ලෙක්ගෙ දණිහෙන් උඩ දකිද්දි උතුර දකුණ මාරුවෙන පිරිමි ඉන්න රටක සෙක්ස් මාකටින් කියන්නෙ මහ ලොකු දැවැන්ත වැඩකුත් නෙමේ.
මේ විදිහෙ වීඩියෝ හැදෙන්නෙ ලංකාව ඇතුළෙ සෙක්ස්වලට තියෙන ඉල්ලුම හින්දා කියල කියන ගොඩක් අය ලංකාව ඇතුළෙ ඇත්තටම තියෙන්නෙ සෙක්ස් ඇරියස් එකක් කියලා කියන්න දිව නමන්නෙ නෑ.
සෙක්ස් කියන්නෙ ගෑනියෙකුයි මිනිහෙකුයි බැන්දට පස්සෙ කරන ගනුදෙනුවක් කියලයි ලංකාවෙ සමාජෙ ගොඩක් දෙනෙක්ගෙ මතය. අඩුම ගාණෙ එහෙම හිතන බවක් පෙන්නනවා. ඒකට විරුද්ධව මොකක් හරි කිව්වොත් දෙදාස් පන්සීයක සංස්කෘතියක් ගැන කියනවා. (ඒ වෙලාවට උඩරට මිනිස්සු එකගෙයි කාපුවා මතක නෑ)
මිනිස්සුන්ට කෑමබීම වගේම සෙක්ස් කියන්නෙත් මූලික අවශ්‍යතාවයක්. ඒත් අපේ රටේදි සෙක්ස් කියන්නෙ මහ අමුතු ගුප්ත එකක්. ඒ හින්දම තමා මේ සේරම කතන්දර.
පහුගියදා දවසක ළඟම මිතුරියක් එක්ක පොඩි කතාවකට වැටුණා. කතාව ගොඩක් මාතෘකා දිගේ ගලාගෙන ගිහින් අන්තිමේදි වර්ජිනිටි කියන මාතෘකාවට ආවා. ඒ කෙල්ල බැන්දෙ මීට මාස කිහිපයකට උඩදියි. වෙඩින් එක දවසෙ කපල් එක වාහනේ නැගලා හනිමූන් එකට යන්න හදද්දි කොල්ලගෙ අම්මා, ඒ කියන්නෙ කෙල්ලගෙ නැන්දම්මා කෙල්ල අතට බ්රවුන්පේපරේකින් ඔතපු පාර්සලයක් දීලා. මොනවා ඇතුළෙ තියෙනවද කියල දන්නෙත් නැතුව කෙල්ල ඒක බාරඅරන් ඇවිත් තියෙන්නෙ නැන්දම්මව බදාගෙන උම්මා එකකුත් දීලයි.
හෝටලේට ගියාට පස්සෙ පාර්සලේ ලිහලා බලද්දි ඒකෙ තිබිලා තියෙන්නෙ සුදු රෙද්දකුයි පොඩි ලියුමකුයි. ‘මේ ගැන වැඩිය හිතන්නෙපා දුවේ. මේක අපේ පවුලෙ චාරිත්‍රයක් විතරයි. නැන්දම්මාගෙ අකුරු ඒ ලියුමෙ තිබ්බා. අපේ සමාජ සෙක්ස් කියන කාරණෙන් කොච්චර පල්ලෙහායින්ද ඉන්නෙ කියන එකට ඊට වඩා සාක්ෂි ඕනද?
කෙල්ලගෙ කන්යාභාවෙ තියෙනවද කියලා හාරවුස්සන නැන්දම්මලා තමන්ගෙ කොල්ලා කෙල්ලො කීයක් එක්ක බුදියං තියෙනවද කියලා කීයටවත් හොයන්නෙ නෑ. ජීව විද්‍යාත්මක කරැමයක් තමන්ගෙ උරුමෙ කරගත්තු කෙල්ලන්ට නම් බඳින්න කලින් සෙක්ස් ජීවිතයක් තිබුණද කියල නැන්දම්මලාට බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. කොල්ලොන්ට තමයි ඔය බැරියර් මුකුත් නැත්තෙ. කොල්ලන්ගේ පිරිසිදුකම හොයන ජීව විද්‍යාත්මක ක්‍රමයක් තිබුණත් ලෝකයේ එක කොල්ලෙක්වත් ඒ පරිණයට ලක්වෙලා නැතුව අැති.
හැබැයි ඔය නැන්දම්මලා දන්නෙ නැද්ද දන්නෑ සෙක්ස් නොකර වුණත් කන්‍යාපටලයට හානිවෙන්න පුළුවන් බව. උදාහරණෙකට ජිම්නාස්ටික්, පා පැදි පැදීම වගේම බැලේ නර්තනය වගේ විවිධ හේතු නිසා කෙල්ලෙක්ගෙ කන්‍යා පටලෙට හානි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර කෙල්ලොන්ට උපතින්ම කන්‍යා පටලයක් අහිමියි. ඒ හින්දා සුදු රෙද්දෙ පරික්ෂාවෙ ලොකු ලොකු හිල් තියෙනවා කියල නැන්දම්මලා තේරුම් ගන්න ඕනෙ.
මේ ළඟදි මිත්‍ර ගයිඩ් කෙනෙක් මුණගැසුණා.
“මචං දන්නවද වැඩක්? අපේ රටට ටුවරිස්ට්ලා විදිහට එන කෙල්ලන්ට එයාලගෙ එම්බසි, ට්‍රැවල් ඒජන්සිවලින් දැන් අමුතු අමුතු වෝර්නින්ස් දෙනවලු”. ගයිඩ් මිත්‍රයා කතාවකට මුලපිරුවා.
“ඒ මොනාද ඒ?”
“ඒකනෙ කියන්නෙ. ලංකාවෙ බීච් එකේ බිකිනියෙන් ඉන්න එපාලු. කොටට ඇඳන් ලංකාවෙ පාරවල්වල යන්න එපාලු. රෑට ටැක්සිවල යන්න එපාලු. ඔය වගේ ටිප්ස් දෙනවා. මට කිව්වෙත් සුද්දියක්. කාරණේ මොකක්ද කියල තේරුණත් මම ඒකිගෙන් ඇහුවා හේතුව මොකක්ද කියලා”.
“ඉතින්?”
“ලංකාවෙ මිනිස්සු වැඩිහරියක් ඉන්නෙ අසහනෙන්ලු. ඉතින් ලංකාවෙදි ගොඩක් පරිස්සම් වෙන්න කියලා අපිට කිව්වා කියලා ඒකි කිව්වා”.
අපි ආසියාවේ ආශ්චර්යය කරා බඩගාමින් සිටින්නෙමු.